සඳ ගමනක්, හෙලිකොප්ටර් යානා ඇතුළු ඉටු කිරීමට අසීරු ඡන්ද පොරොන්දු ලබාදුන් ඡන්ද අපේක්ෂකයෙක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
“තුලාම් සරවනන්” නමැති ඔහු මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මෙතෙක් කිසිදු මැතිවරණ අපේක්ෂකයෙකු විසින් ලබානොදුන් පොරොන්දු සිය මැතිවරණ ප්රකාශනයෙන් ඉදිරිපත් කිරීම හේතුවෙන් සරවනන් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.
සඳ ගමනක්, හෙලිකොප්ටර් යානයක්, සෑම නිවසකටම වාර්ෂිකව කෝටියක තැන්පතුවක්, මංගල උත්සව සඳහා රන් ආභරණ, තෙමහල් නිවාස ආදිය ඔහුගේ මැතිවරණ පොරොන්දු අතර වෙයි.
කෙසේවෙතත් තම දිළිඳු වයෝවෘද්ධ මව්පියන් සමග වෙසෙන 33 හැවිරිදි තුලාම් සරවනන් ප්‍රාන්ත මැතිවරණයට නාමයෝජනා භාරදීමට අවශ්‍ය මුදල ගෙවා ඇත්තේ පොලී පදනම මත ලබාගත් ණය මුදලකින් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.