කුලියාපිටියේ වොක්ස්වැ­ගන් ෆැක්ට­රි­යට අත්වූ ඉරණම

0

පැවති ‘යහපාලන’ රජය විසින් ජර්මනියේ වොක්ස්වැගන් කර්මාන්තශාලාව අතර ඇතිකරගත් එකඟතාවකට අනුව පිහිටවනු ලැබූ වොක්ස්වැගන් කර්මාන්තශාලාව පිළිබඳව පසුගිය වසර පහ පුරාවටම දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වුණු විශේෂ මාතෘකාවක් විය.

මෙරට කර්මාන්ත අතරට එකතු වන වොක්ස්වැගන් කර්මාන්තශාලාව පිළිබඳව විවිධ විවේචන සහ විචාර මැද්දේ කතා කරන්නට සිදුව ඇත්තේ දැවැන්ත ගොඩනැගිලි ඉදි වී හමාර වී ඇති බැවිනි.2017 ජනවාරි තුන්වන දින වර්ග මීටර් 60,000 භූමි ප්‍රමාණයක අදාළ කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබුණේ එවකට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතිනි .

ආර්. ඩී. පීටර් නමැති අයකු විසින් පොල්ගස් 3500 ක් සහිත අක්කර 55 ක ඉඩම මහා භාණ්ඩාගාරයට පවරා ඇත්තේ ඉන් ලබන ආදායමෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් මාසිකව කුලියාපිටිය රෝහලේ අක්ෂි රෝගීන් හට ලබා දීමටය. එහෙත් එම අක්කර 55න් අක්කර විසි දෙකයි දශම ගණනක කොටසක් කුලියාපිටිය පීඨයට ඉදිකිරීමට වෙන් කළ බව අදාළ කොටසක් ඉදිකිරීම සඳහා වෙන් කර ඇති බවට වාර්තා වෙයි.

ජර්මනියේ වොක්ස්වැගන් මවු ශාඛාව අතර ඇතිකරගත් එකගතාවය පිළිබඳ ගැටලු මතු වීමෙන් පසු සෙනොක් ඔටෝමොබයිල් සමාගම මෙහි ආයෝජකයා වශයෙන් ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකාවට audi සහ subaru වාහන ගෙන්වන නියෝජිත ආයතනයක් ලෙස සෙනොක් ඔටෝමොබයිල් සමාගම යටතේ western automobile assembly යන නමින් කර්මාන්තශාලාවේ වැඩ කටයුතු කෙරෙමින් පවතී. වාහන එකලස් කිරීමට අමතරව තරුණ තරුණියන් සඳහා වාහන එකලස් කිරීම පිළිබඳ පිළිබඳව පුහුණුව ලබා දීම මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමේ අරමුණ වී තිබේ.

මෙම කර්මාන්ත ආයතනයේ ඩීසල් මෝටර් රථ දහදාහේ සිට පහළොස් දාහකට ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් වී තිබූ අතර, ආයතනයේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහයෝගය ඇතිව එවකට සිටි සභාපති උපුල් ජයසූරියගේ උපදෙස් පරිදි සිදු කර ඇත. ඒ අනුව පළමු වසර තුළදී දේශීය වෙළෙඳපළට නිෂ්පාදන යොමු කිරීමට නියමිතව තිබිණි.

2019 වන විටත් එහි ඉදිකිරීම් පිළිබඳව අනාවරණය නොවීම හේතුවෙන් එහි නිවැරදි තොරතුරු දැනගැනීම සඳහා හිටපු කැබිනට් අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවේය. ඒ සම්බන්ධව හිටපු ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම කියා සිටියේ,මේ වන විට western automobile assembly පෞද්ගලික සමාගම නමින් මෙහි වැඩ කටයුතු සිදුවෙමින් පවතින බවත් වර්ගමීටර් හැටදාහක් භූමියක ඉදි කිරීම් කටයුතු සිදුවෙන බවත් ය.

කුලියාපිටිය ලබුයාය මහ මූකලන් වතුයායේ අක්කර 29.5 ක ඉඩමට අමතරව ගංවතුර ත’ර්ජන ඇති වේ යැයි සලකා තවත් අක්කර පහක 5 ක කොටසක් ආයෝජකයා විසින් එකතු කරගෙන කර්මාන්ත ආයතනයේ ගොඩනගමින් පවතින බවත්, එය ඉදිකිරීම සඳහා සමස්ත ආයෝජන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 5.7 කි. එනම් රුපියල් බිලියන එකක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

2015 සිට එවකට සිටි රජයේ හෝ අදාළ රජයේ දේශපාලකයන් මේ පිළිබඳව අවස්ථා ගණනාවක දී කතා කොට ඇත. සියල්ල මාධ්‍ය මගින් වාර්තා කිරීම සිදුකළද එහි සම්පූර්ණ වාර්තාවක් කිසිදු මාධ්‍යයක් මගින් ප්‍රචාරය වී නොමැත.

මෙම කර්මාන්තශාලාව කුලියාපිටියට රැගෙන ගිය හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් සිළුමිණ කළ විමසුමකදී කර්මාන්තශාලාව පිළිබඳව වර්තමාන තත්ත්වය පිළිබඳව මෙලෙස කියා සිටියේය. “දැනටමත් මෙහි වැඩකටයුතු අවසන් වෙලයි තියෙන්නේ. බිල්ඩින් එක කිලෝමීටර් කිලෝ මීටර් භාගයක් පමණ දිගයි. එය ආසියාවේ දිගම බිල්ඩින් එක කියලයි මම හිතන්නේ. යුරෝපා වල volkswagen කර්මාන්තශාලාවේ මව් ශාඛාව සමඟ ඇතිවුණු ප්‍රශ්නයක් මත මේ කර්මාන්ත ශාලාවේ නම western automobile කියන නමින් දැනට පවත්වාගෙන යන්නේ. මෙවැනි කර්මාන්ත ශාලාවක් සඳහා අපි සහයෝගය ලබා දුන්නට, මේක දැන් කරගෙන යන්නේ ඒ අදාළ ආයෝජකයා විසින්. නමුත් යම් යම් කාරණාවලට රජයේ අනුමැතිය ලැබෙන්නේ නෑ කියලයි මම දන්නෙ. මේ වගේ ව්‍යාපෘති ඉදිරියට කරගෙන යන්න රජයේ සහයෝගය නැතුව බෑ. නමුත් මෙහි වැඩ අවසන් කළොත් සෘජු සහ වක්‍ර රැකියා ගණනාවක් ඇතිවෙනවා. මේ කර්මාන්ත ශාලාව තුළින් එකවර වාහන හතරක් එළියට දාන්න හැකි ආකාරයට තමයි යන්ත්‍ර සූත්‍රය සකස් කරලා තියෙන්නේ. ඩොලර් බිලියන හයක්, හතක් විතර මේ වෙන විටත් වැය කරලා ඉවරයි.

කර්මාන්ත ශාලාව ඉදිකරන්න ඉඩම් පවරා ගැනීමේදී ඉඳලා කිසිම ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට වෙළඳපළ වටිනාකමට තමයි ආයෝජකයාට මේ පැවරීම් කරලා තියෙන්නේ. ඉඩමේ තිබුණු පොල් ගස් පිළිබඳව කතා කළත්, යම් ආයෝජකයෙක් වෙළඳපළ වටිනාකම ගෙව්වම මේ ඉඩමේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවර ගන්නවා; ඒ අනුව පොල් ගස් ටික කපන්න ඇති. නමුත් ඒ පොල් ඉඩම හොඳින් පොල් ඵලදාව තිබුණු සාර්ථක පොල් ඉඩමක් නෙවෙයි. ඒ කොහොම වුණත් ආයෝජන මණ්ඩලයේ පූර්ණ සහයෝගය ඇතිව සිදුකරන මේ කර්මාන්ත ශාලා කටයුතු ළඟදීම ආරම්භ කරන්න හැකි වෙනවා කියලයි දැනට මම දන්නෙ”.

මෙම කර්මාන්ත ශාලාව පිළිබඳව දැනගැනීම සඳහා volkswagen කර්මාන්ත ශාලාව පිළිබඳව නිතර කතා කළ ප්‍රදේශීය දේශපාලනඥයකු වන සමන්ප්‍රිය හෙරත්ට මේ සම්බන්ධව පූර්ව දැනුම් දී අවස්ථා ගණනාවක් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද, එය සාර්ථක වුයේ නැත. එමෙන්ම අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර , ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයට ද අපි කතා කළෙමු. එහෙත් ඔවුන්ද සම්බන්ධ නොවීය.

දැනට සමගි ජනබලවේගයේ දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මෙලෙසිනි

‘මේ කර්මාන්ත කර්මාන්තශාලාවෙන් සෘජු සහ වක්‍ර රැකියා ගණනාවක් අදාළ ප්‍රදේශයේ අයට ලැබෙනවා. දැනට 80% ටත් වඩා ඉදිකිරීම් අවසන් කියලයි අපි දන්නේ. මේ සම්බන්ධව එවකට තිබුණු රජයෙන් කරපු ව්‍යාපෘතියක්. ඒ නිසා එහි සියලු තොරතුරු දන්නෙ අකිල විරාජ් කාරියවසම් මහත්මයා‘

මේ පිළිබඳව කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් දිසානායකගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම සහ ඉඩම් අත්පත් කරගැනීම ආදී කටයුතුවල දී තමා මෙහි නොසිටි බවය. මේ වෙනවිට කර්මාන්තශාලාවේ වැඩ බහුරතයක් අවසන් බවට තොරතුරු ලැබී ඇති බවත්, පසුගිය සංචාරණ සීමා පනවා තිබූ සමයේදී එහි සේවය කරන සේවකයන්ට ගමන් කිරීමේදී ඇතිවන ගැටලු නිරාකරණය කරගන්න උදව් වූ බවත් ය.

ගෙවුණු වසර පහක පමණ කාලයේ වොක්ස්වැගන් කර්මාන්තශාලාව පිළිබඳව මාධ්‍ය වාර්තා වලට අනුව වාර්තා කර තිබුණේ, අදාළ කර්මාන්ත ශාලාව කොළඹ ව්‍යාපාරිකයකු වන නොයෙල් සෙල්වනායගම් නමැති අයකුට ආයෝජනය මණ්ඩලය හරහා ලබා දී ඇති බවය.

එහෙත් නව වාහන නිෂ්පාදනයක් ආරම්භ කිරීමේදී මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවත්, ඒ අනුව එවකට සිටි මෝටරථ ප්‍රවාහන කොමසාරිස් ඒ. ඒ. එස්. ජයවීර කළ ප්‍රකාශයක් මාධ්‍ය මගින් ප්‍රචාරය කොට තිබුණේ , “දැනට වාහන නිෂ්පාදන ආයතන ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතන දෙකක් ඇති බවත් කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන ආයතනය ද මෝටරථ නිෂ්පාදන ආයතනයක් ලෙස ලියාපදිංචි කර ඇති බවත්ය. අක්කර 29.5 ක් පුරා පැතිරී ඇති මේ සා විශාල ව්‍යාපෘතියක් පිළිබඳව කරුණු වාර්තා නොවීම සහ මේ පිළිබඳව මාධ්‍ය මඟින් සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රචාරය නොවීම පිළිබඳව මහජනතාවට ඇත්තේ කුතුහලයකි .

දැනට මෙම western automobile ආයතනයේ කුලියාපිටිය කර්මාන්ත ශාලාව තුළ ගණකාධිකාරිවරයා ලෙස කටයුතු කරන අමිල දිසානායකගෙන් වර්තමාන තත්ත්වය පිළිබඳ විමසීමක් කළෙමු .

කර්මාන්ත ශාලාවේ කටයුතු ගොඩක් දුරට මේ වන විට අවසන් වී ඇති බවත්, එහෙත් තොරතුරු ලබාදීමේ හැකියාවක් නැති බව ඔහු පැවසීය.

මෙරට තුළ වාහන නිෂ්පාදනය කිරීමෙන් වාහන ආනයනකරුවන්ට සිදු වන බලපෑම පිළිබඳ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්නගේගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ

“ලංකාවේ කර්මාන්ත හැදෙන්න ඕනේ. නිෂ්පාදන ආර්ථිකයකට යද්දි මේ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් වාහන එකලස් කිරීම සම්බන්ධව නියමයන් තියෙනවා. ඒ නියමයන්ට අනුව , ඒක හරි විදිහට කිරීම තමයි වැදගත් වන්නේ. මොකද නිෂ්පාදන ආර්ථිකයකට යද්දි ලැබෙන බදු මුදල ම නොසලකා, රටක තීන්දු තීරණ ගන්නා අය මේ වගේ තීරණ ගනිද්දී ව්‍යාපාරිකයන් සමඟත් සාකච්ඡා කරලා ගත යුතුයි. එහෙම වුනොත් තමයි මේ ව්‍යාපෘති සාර්ථක වෙන්නේ .” ඔහු සඳහන් කළේය.

(කර්මාන්ත ශාලාව ඈතට දිස්වන අයුරු)

කර්මාන්ත ශාලාව ඈතට දිස්වන අයුරු

( චාන්දනී දිසානායක, ඉබ්බාගමුව – සිළුමිණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here