ගාල්ලෙ අතුර පාරක යන රියදුරු නැති වාහනයක්

0

මේ ගාල්ල ප්‍රධාන නගරයට සැතපුම් හතළිහක් පමණ දුරින් පිහිටි තරමක් හුදෙකලා ප්‍රදේශයකි. වේලාව රාත්‍රී දහය පසුවී විනාඩි 32ක් ගතවී තිබිණි.පරිසරය මුළුමනින්ම අඳුරුය. හතරමං හන්දියට නුදුරින් තැනක පමණක් විදුලි එළියක් දැල්වෙමින් තිබිණි. ඒ අසලම පිහිටි බස් නැවතුමේ සිටියේ එකම එක පුද්ගලයෙකි. හෙතෙම මාර්ගයේ දකුණු දිශාවට නිතර නිතර දෙනෙත් යොමුකර බැලුවේ වාහනයක සේයාවක් හෝ මතුවේදැයි සැකයෙනි.

වි’ඩාබර බවකුත්, අවිනිශ්චිත බවකුත් ඒ මුහුණ මත ඇඳී තිබිණි. අත රැඳි ඔරලෝසුවේ මුහුණත පරීක්ෂා කළ ඔහු අදහස අත්හළ අයකු සේ මාර්ගයට බැස ගත්තේ පාගමනින් අරමුණට යනවා යැයි සිතාගෙනය.

හතරමං හන්දිය පසුකරන්නට ඔහුට ගතවූයේ විනාඩි කිහිපයකි. කෙමෙන් කෙමෙන් තමන් සිටි ස්ථානය දුරස් වෙද්දී විදුලි එළියද දුරස් වී අඳුරින් පිරි පරිසරය ඔහුට හමුවිය. ඒ අඳුර අතරේ බොහෝ දුරක් සෝදිසියෙන් ගමන් කළ ඔහුට යළිත් ඈතින් පෙනෙන විදුලි ආලෝකයක් නෙත ගැ’ටිණි.

ඒ මාර්ගයේ ඈත කෙළවරිනි. එම ස්ථානයට යන්නට තවත් සෑහෙන කාලයක් ගතවේ යැයි සිතමින් හෙතෙම පය ඉක්මන් කළේය. එහෙත් ඒ ඇසිල්ලේ තමාට පිටුපසින් මාර්ගයට වැටුණු විදුලි එළිය වාහනයක බව හඳුනාගත් ඔහුගේ මුහුණේ සිනාවක් ඇඳුණේය. ඔහු සීරුවට නතරවී ආපසු හැරී මාර්ගය දෙසට අත දිගු කළේය.

වාහනය ඔහු අසලම නැවතිණි. ඉදිරිපස වීදුරු වසා තිබුණද පිටුපස දොර ඉබේටම ඇරුණේය. වෑන් රථය ඇතුළත සිටියකු එම දොර අරින්නට හෝ නැතහොත් ස්වයංක්‍රීයව ඇරෙන්නට ඇතැයි සිතූ හෙතෙම ඊට ගොඩවූයේ තමාට යන්නට ඕනෑ තැනද කියමිනි. එයින් පසු දොර යළිත් වැසී ගියේය. ඇතුළත පිටුපසට වන්න යාන්තම් ආලෝකය ඇති ලා නිල් පැහැති විදුලි පහන් එළියක් පමණක් තිබිණි. ඉන් වාහනය තුළ මහා ගු’ප්ත බවක්ද තිබුණේය.

අලුත්ම පොලිෂ් හෝ තීන්ත වර්ගයක සුවඳට සමාන සුවඳක් ඉන් වහනය වෙමින් තිබිණි. ඉදිරිපස ආවරණය කර තිබූ හෙයින් රියැදුරු අසුන හෝ ඒ අවට කිසිවක් පෙනුණේද නැත. රියැදුරු අසුන අසල කිසිදු ආලෝකයක් තිබුණේද නැත. වෙනත් වෑන් රථවල මෙන් එහි කිසිදු මීටරයක හෝ විදුලි එළියක් පෙනෙන්නට නොවීය.

වාහනයට නැඟගත් පසුව වුවද එහි එන්ජිමේ හඬ නොඇසුණු හෙයින් පෙර කී පුද්ගලයා යම් කු’තුහලයකින් වටපිට බැලුවේය. ගතට දැනුණු තද සීතල ගතිය වාහනයේ වායුසමීකරණයේ සීතල යැයි සිතුවද එතරම් තදින් සීතල වැඩි කරගෙන ඒ රාත්‍රියේ රියැදුරු කෙලෙස ඉවසා සිටිනවා දැයි ඔහු සිතුවේය.

කිසිදු කතාබහක් නැතිවම සිය ගමනාන්තයට එද්දී වාහනය අදාළ ස්ථානයේ ඉබේටම නතර විය. ඔහු දොර හරින්නට අගුලට අත තබද්දීම දොර විවර විය. බිමට බැසගත් හෙතෙම රුපියල් සීයක් සාක්කුවෙන් අතට ගෙන රියැදුරු අසුන පැත්තට යද්දී වාහනය සෙමින් ඉදිරියට ඇදී ගියේය. බිමට බැසගත් පුද්ගලයා නැවත වාහනය දෙස බැලුවද එය පෙනෙන්නට තිබුණේද නැත.

බොහෝ දුරට ඉදිරියට පෙනෙන මාර්ගයේ එතරම් ඉක්මනින් වාහනය නොපෙනී ගියේ කෙසේදැයි සිතමින් ඔහු සිය නිවෙසට ගියද එදින එළිවෙනතුරුම ඔහුගේ සිතට එම සිදුවීම ගැන යම් අමුත්තක් දැනුණේය.

පසු දින මාර්ගයට පැමිණ, අසල කඩයේ මුදලාලි සමග තමා ලද අත්දැකීම පැවසුවේ යම් විස්මයක්ද අඟවමිනි. ඔහු පැවසූ වේලාවේ තමන්ද අවදිව සිටි බව කී කඩ හිමියා එවැනි වාහනයක හඬක් හෝ නොඇසුණු බවත්, අඳුරේ කවුරුන් හෝ යනවා ඇසුණු බවත් පැවැසුවේය.

මෙලෙස එම ප්‍රදේශයේ කිහිප දෙනකුටම මෙම අ’ද්භූත වාහනය හමුවී ඇති අතර ඒ සියල්ලන්ටම ඉන් ප්‍රවාහන පහසුකම්ද ලැබී තිබිණි. ප්‍රදේශයේ බොහෝ දෙනකු අතර මේ පුවත ප්‍රසිද්ධ වූ අතර, ඇතැම් තරුණ පිරිස් එක්ව සැලසුම්සහගතව එක් තරුණයකු හෝ තරුණියක පාරේ තනිව තබා සැ’ඟවී බලා සිටියද එවන් දිනවල මෙම වාහනය පැමිණ තිබුණේද නැත.

තවත් දිනෙක මාර්ගයේ ගමන් ගනිමින් සිටි අයකුගේ රන් මාලය ක’ඩාගෙන දිව යමින් සිටි පුද්ගලයකු මෙම වාහනයට නැග තිබේ. පසුව සො’රාව රැගෙන ගිය වාහනය පොලිසිය අසල සො’රාව බස්සවා ඇති බවත්, අන්ද මන්දව ඒ මේ අත බලමින් සිටියදී එම තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත්, එහිදී සො’රකම පිළිබඳ දැනගෙන ඇති බවත් ප්‍රදේශයේ කතාබහක් පැතිර ගියේය.

කෙසේ නමුදු කාලයක් පුරා එම ප්‍රදේශයේ මම අ’ද්භූත වෑන් රථය සැරිසරා ඇති අතර, එහි රියැදුරකු නොමැති බවටත්, ඇතුළත විදුලි එළි නොමැති බවටත් කා අතරත් කතාබහක් විය. මෙය එම ප්‍රදේශයේදී කලකට ඉහතදී අ’නතුරකට ලක්ව රියැදුරු මි’යගිය වාහනයක් බවද ඇතැමුන් අතර විශ්වාසයක් විය. ඇතැම් විට අද වුවද හිටි හැටියේ මෙම අ’ද්භූත රථයේ උදව්ව කෙනකුට ලැබෙන්නට හැකියාව ඇතැයි ප්‍රදේශයේ ජනයා අතර විශ්වාසයක් වෙයි.

සත්‍ය කතාවක් ඇසුරිනි
නම්ගම් සියල්ල මනඃකල්පිතය
කුමාර රත්නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here