සිරිපා බිමේදී කවුද මේ අමුත්තා…

0

කළගුණය අද වෙද්දී බොහෝ මිනිසුන් අතර දක්නට නොලැබෙන දෙයක්. කොයි තරම් හොඳ දෙයක් කළත් හොඳක් නොකියන මිනිසුන් වැහිවැහැලා. උදව්වක් උපකාරයක් කළ කෙනාට හතුරුකම් කරන, මනුස්සයාටම වළ කපන පිරිස් වැඩි වෙලා. කළගුණ අමතක කරලා තමන්ගෙ වාසියම සිතන පිරිස දෙගුණ තෙගුණ වෙලා. හැබැයි මිනිසා මෙහෙම අකාරුණික වෙද්දී අධර්මිෂ්ඨ වෙද්දී කළගුණයවත් නොහඳුනන්නන් වෙද්දී මේ අපූරු ගුණාංගය සත්ව සමාජය තුළ හරි අපූරුවට වැඩි වෙමින් පවතින ආකාරය දවසින් දවස වාර්තා වන කතා පුවත් ඇසුරෙන් පැහැදිලි වෙනවා.

තමන්ට කළ උදව්ව දවසින් දෙකෙන් අමතක කරන මිනිසුන් අතර, කළ උපකාරයට ජීවිත කාලයම කෘතගුණ සලකන සතුන් පිළිබඳ ඕනෑ තරම් වර්තමානයේ දැකගත හැකි වෙනවා. එවැනි හරි අපූරු කතාවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබුණා. අවාර සමයේ සිරිපා වන්දනාවට ගිය තරුණයකු විඳි ඒ අපූරු අත්දැකීම ‘අවාරේ ආදරේ’ නමින් නම්කර වචනවලට පෙරළා තිබුණේ මෙලෙසිනි.

මම හැමදාම වගේ සිරිපා කරුණා කළේ අවාරෙදි. ගිය අවුරුද්දෙත් මේ කාලෙදි මම තනිව සිරිපා තරණය කරමින් හිටියා. ඒ හැටන් පාරෙන්.

ඩෙල් හවුස් පාලම පහුකරලා ටිකක් ඉදිරියට යද්දි පාර අයිනෙ තිබුණු පාළුවට ගිය වෙන්දේසි කඩේක කඩපිලේ ඉන්නවා දැක්කා බලු පවුලක්. අම්මයි, පැටව් තුන්දෙනකුයි. එයාලගෙ යාළුවො, නෑයො කියලා හිතන්න පුළුවන් විදිහෙ දඩෝරියො කීප දෙනෙකුත් ඒ අසලම වගේ ගුළිවෙලා නිදාගෙන හිටියා.

මම සාමාන්‍යයෙන් ගමනක් යද්දි, පාරෙදි හමුවෙන මේ වගේ සුනඛ සුරතලුන්ට පොඩි සංග්‍රහයක් පවත්වනවා. ඉතින් මේ අයටත් මම විස්කෝතු, බනිස් වගේ දේවලින් සංග්‍රහයක් කළා. එයාලා ඒවා සතුටින් භුක්ති විඳින හැටි බලලා මම මගේ ගමන යන්න පිටත් වුණා.

ටික දුරක් ඉදිරියට ගිහින් සද්දයක් ඇහිලා මම හැරිලා බලද්දි අතන හිටපු පොඩී බලු පැටියෙක් මගෙ පිටිපස්සෙන් ඇවිත්. මට දෙලෝ රත් වුණා. ඒ වෙද්දිත් මම කිලෝමීටර් බාගයක් විතර ඇවිත්.

ලොකු බල්ලෙක් නම් මේ ගමන මා එක්ක ගියාට කමක් නෑ. එයාලට මේ පාර හුරුයි. ගමනත් හුරුයි. ඒත් මේ මාස දෙකක විතර බට්ටෙක් මේ ගමනට සුදුසු නෑ කියලයි මම හිතුවෙ.

මම කවදාවත් අසරණ සතකුට ගල් කැටයක්වත් විසිකරන කෙනෙක් නෙවෙයි. ඒක මහා පව්කාර වැඩක් කියලයි මම හිතන්නෙ. කාත් කවුරුත් නැති අසරණයොනෙ. පව්…

ඉතිං මම මේ පැටියව බයකරලා, අප්පුඩි ගහලා, කලබල කරලා එයාගෙ අම්මා ළඟට එළවන්න උත්සාහ කළත් එයා ඒකට කැමැති නැති පාටයි. එතකොට බිම වැතිරිලා කකුල් හතර උඩට උස්ස ගන්නවා. දුකේ බෑ.

මම තීරණයක් ගත්තා. ‘හරි. ඔයාට දැන් යන්නනෙ ඕනෙ. යමු. ඔයාට බැරි වුණොත් මම ඔයාව උස්සන් හරි එන්නම්. ගැටලුවක් නෑ. යමු පැටියෝ…’ කියලා එයාට කිව්වම, මගේ වචන තේරුණා වගේ බොහොම උද්‍යෝගයෙන් යන්න ඉස්සර වුණා. අවදානමක් තිබ්බත්, මගේ තනියට තව යාළුවෙක් මුණගැසීම පිළිබඳ මගේ හිතේ සතුටක් තිබ්බා.

මේකා, මම හිතපු තරම් පොඩිත් නෑ බලද්දි. වැඩවලින් නම් ලොකුයි. බොහොම වේගෙන් පැනගෙන පැනගෙන පඩි නැගගෙන යනවා. ගිහින්, උඩ පඩියකට වෙලා මම එනකල් බලා ඉන්නවා. හරියටම නිකන්, ‘ආපෝ… මොකද්ද අනේ, අඩිය ඉක්මන් කරලා එන්නකො…’ කියලා මට කියනවා වගේ. මම බෑග් එකත් උස්සගෙන හෙමීට හෙමීට එතැනට කිට්ටු කරද්දි එයා ආයෙත් වේගෙන් ඉහළට යනවා.

තවත් වෙලාවක මේකෙ අනිත් පැත්ත. මේ හාදයා බිම තියෙන හැම දේම සෝදිසි කරලා, ඉව කරලා, පරීක්ෂණ පවත්වලා එනකල් මට රැඳී ඉන්න සිද්ධ වුණා. හැබැයි සුන්දර අත්දැකීමක් ඒකත්.

සාමාන්‍යයෙන් වන්දනා නඩයක් යද්දිත් එහෙමනෙ. මුලින් ගිය අය, අනිත් අය එනකල් බලන් ඉන්නවා. ඉතිං අපි දෙන්නගෙ කුඩා නඩයටත් මේ සිද්ධිය අදාළයි.
කෙසේ හෝ මේ අපූරු යාළුවා මළුවට යනකල්ම මා එක්ක ගියා. මම, ගේට්ටුවට එළියෙන් ඉඳන් වැඳලා එනකල් මෙයත් ඒ ළඟ නිදාගෙන හිටියා.

ඊට පස්සෙ, මා එක්කම පල්ලම් බහින්න පටන් ගත්තා. ගමන පුරාම මම එයාට විවිධ කෑම ජාති දුන්නා. දොළ පාරවල්වලින් වතුරත් බිව්වා.

ගමන නිමා කරමින් ඩෙල් හවුස් පාලම කිට්ටුව එයාලගෙ නවාතැනට ආවම එයාගෙ අම්මා ළඟ එයා නතර වුණා. මම ආයෙත් පාරක් ඒ හැමෝටම කෑම ජාති දීලා සමුඅරන් කොළඹ එන්න පිටත් වුණා.

ඉතින්, ඔයාලටත් මේ වගේ අවංක, ආදරණීය යාළුවො ඕනෙ තරම් හමුවෙලා ඇති සිරීපාදෙ යද්දි. පුළුවන් අය එයාලගෙ පින්තූර දාන්න. ඒ වගේම, ආයෙ යද්දි මේ අය වෙනුවෙන් කෑමට යමක් ලබා දෙන්නත් අමතක කරන්න එපා. ආදරෙන් වචනයක් කතා කරන්න. එයාලට ඒක මහමෙරක් තරම් දැනේවි…

සම්බුදු සරණයි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here