සොහොයුරාගේ කරේ ගිහින් සාමාන්‍ය පෙළ සමත් වූ දරුවා.

0

කොඳුඇට පේළියේ අසාමාන්‍ය වෙනස් වීම හා මාංශ පේශී දියවීම යන රෝග ලක්ෂණ පෙන්වන ජානමය රෝගයක් වන ‘මයෝපති’ නම් වූ රෝගී තත්ත්වයෙන් පෙළෙන එම්. කීර්ති චන්ද්‍රසිරි දරුවා 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්ව ඇති අතර හෙතෙම මප/ හැටන් කැලණිගම මහ විද්‍යාලයේ ඉගෙනුම ලබයි. ඔහු දහසය හැවිරිදිය.

කායිකව හා මානසිකව කෙතරම් පීඩාවට ලක් වුවත් තමන් මුහුණ දුන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන සාමාර්ථ තුනක් සමගින් විෂයන් නවයම සමත්වෙමින් කීර්ති චන්ද්‍රසිරි දරුවා සමස්ත සමාජයට දුන් ආදර්ශය මෙතරම් කියා ගැණිය නොහැකිය.

ගිනිගත්හේන කොළඹ පාරේ කලුගල මංසන්ධියෙන් කිලෝමීටර් 03ක පමණ දුරක් පැමිණි පසු පොල්පිටිය මංසන්ධිය හමුවේ. එතැණින් වම්පසට දිවෙන ලක්ෂපාන මාර්ගයේ ටික දුරක් පැමිණි පසු හමුවන පල්ලේවත්ත උප තැපැල් කාර්යාලය අසලින් වම්පසට කිලෝමීටරයක පමණ දුරක් පැමිණි පසු හමුවන නීලවත්ත ගම්මානය දුටුවන් මන බඳින කුඩා ගම්මානයකි. ගව් ගාණක් උසට දිවෙන කඳු පන්ති නීලවත්ත ගම්මානය රකින මහා පවුරු වැනිය.

නීලවත්ත මංසන්ධියෙන් වම් දෙසින් දරුණු බෑවුමකට දිවෙන ගල් පඩිපෙළක් දිගේ මීටර් හාරසියයකට වඩා පහළට ගමන් කළ පසු හමුවන කුඩා නිවස කීර්ති චන්ද්‍රසිරි දරුවාගේ නිවහනයි. කුඩා නිවහනට ගොඩවත්ම අසාමාන්‍ය ශරීරයක් හෙබි කුඩා දරුවකු මා ඉදිරියේ අසුන් ගත්තේ තවත් දහසක් දේ මට සිතන්නට ඉඩ හරිමිනි. උදරය දෙසින් ඉදිරියට නෙරා ආ ශරීරය උරහිස් දෙසින් පිටුපසට නෙරා ගොස් ඇත. ඔහුගේ අසාමාන්‍ය ශරීරය හේතුවෙන් ඔහුට අද වනවිට විනාඩියකට වඩා වැඩි කාලයක් සිටගෙන සිටීමට හෝ නොහැකි තරමට ඔහු දුර්වල වී සිටී. සිහින් හඬින් සිය හඬ අවදි කළ කීර්ති සිසුවා තම ජීවිතය පිළිබඳව කතා කළේ මේ අයුරිනි.

“මම ඉස්කෝලේ අටේ පන්තියට විතර යනකම් හොඳින් සාමාන්‍ය දරුවකු විදියට හිටියා. ඒ කාලේ මම පන්තියේ පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා වගේ වුණා. එක් දවසක් මගේ කකුලේ කටුවක් ඇනිලා වගේ වේදනාවක් දැනුණා. ඉන් පස්සේ කකුල කොර ගැහෙන්න ගත්තා. ඉන් පස්සේ ඒ කකුල තියලා ඇවිද යන්න බැරි තැනට පත්වුණා.”

කීර්ති චන්ද්‍රසිරි දරුවා ඒ විදිහට කියාගෙන යන විට ඔහුට දැනුන අසාමාන්‍ය විඩාව හේතුවෙන් ඔහුගේ පියා සිය  දරුවා පිළිබඳව හඬ අවදි කළේ මෙලෙසිනි.

“ලෙඩ වුණාට පස්සේ පුතාට හැමදාම වගේ ඉස්කෝලේ යන්න බැරි වුණා. හරි විදිහට ඇවිදලා යන්න බැරි වුණා. ඒ අතරම අපි පේරාදෙණිය ළමා රෝහලට අරගෙන ගියා. විශේෂඥ වෛද්‍යවරුන් දරුවා පරීක්ෂා කළා. අවසානයේ දරුවාට ‘මයෝපති’ කියන රෝගය වැළඳී ඇති බව ඔවුන් කීවා. ඒ රෝගය ජානමය රෝගයක් බවට වෛද්‍යවරුන් නිගමනය කළා. ඉන් පස්සේ දරුවාගේ අම්මාවත් පරීක්ෂා කළා. එහිදී දරුවාගේ අම්මටත් මේ කියන ‘මයෝපති’ රෝගය වැළඳී ඇති බවත් අම්මාගෙන් දරුවාට මේ රෝගය පැමිණ ඇති බවත් අනාවරණය වුණා. පේරාදෙණිය රෝහලෙන් ප්‍රතිකාර ගත්තත් දරුවා සුව වුණේ නැහැ. ඉන් පස්සේ අපි දරුවා ‘මයෝපති’ රෝගයට ප්‍රතිකාර කරන පෞද්ගලික රෝහලකට අරගෙන ගියා. මාසෙකට හතර වතාවක් කොළඹට දරුවා අරගෙන යන්න ඕන. ඒත් දරුවා අරගෙන යන්න තියෙන අපහසුතා හින්දා දැන් මාස කිහිපයක් දරුවාව අරගෙන යන්න බැරි වුණා.

මගේ දරුවා මොන අමාරුකම් තියාගෙන හරි මාසෙට දවස් දෙක තුනක් හරි ඉස්කෝලේ ගියා. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්න අවුරුද්දේ පුතා දෙතුන් පාරක් වැටෙන්න ගත්තා. විභාගෙට මාස දෙකක් විතර තියෙද්දීත් දරුවාට සම්පූර්ණයෙන්ම ඇවිදගන්න බැරි වුණා. මෙහිදී කියන්න ඕන පුතාගේ ඉස්කෝලේ විදුහල්පතිතුමාත් පන්ති භාර ගුරුතුමියත් අනෙකුත් ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් අපට උදව් කළා. ඉස්කෝලේ සර්ලා දරුවා යම් යම් දවස්වල ගෙදරටම ඇරලවන්න ආවා.

ගෙදර ඉඳලා ප්‍රධාන පාරට මීටර් හාරසීයක් විතර පඩිපෙළේ උඩහට යන්න ඕනෑ. නමුත් පුතාට ඇවිදින්න බැරිව ගිය හින්දා මම තමයි පුතා කරේ තියාගෙන ඒ කන්ද නැග්ගේ. ඒත් මම කොස් ගහකින් පහළට වැටිලා මගේ උරහිස පැන්නා. එදා ඉඳලා මට හරි හමන් රස්සාවක් කරගන්න බැහැ. ඉන් පස්සේ ලොකු පුතා තමයි ​පොඩි පුතාව වඩාගෙන පාරට ගියේ. අපේ ගෙදරට විතරක් නෙවෙයි මේ ගම් ගොඩැල්ලේ පවුල් 18 කට විතර යන්න එන්න තියෙන්නේ මේ පඩිපෙළ. රජයේ වියදමින් මේ පාර කපලා දෙනවැයි කිව්වට පාර තවම කපලා දුන්නේ නැහැ. පාර නැතිකමින් බොහෝ අමාරුකම් විඳින්නේ අපේ ගෙදර අය බැව් කියන්න කැමතියි. මොකද අපේ ගෙදර දෙන්නෙක්ම අසාමාන්‍ය රෝගීන්.”

තමන්ගේ එකම මල්ලීගේ රෝගී තත්ත්වය පිළිබඳව කරුණු කී කිරීති චන්ද්‍රසිරි දරුවාගේ සොහොයුරා : “මල්ලී තමයි අපේ එකම බලාපොරොත්තුව වුණේ. ඒ නිසාම තමයි මගේ ඉස්කෝලේ ගමනත් නවත්වලා මල්ලිට උදව් කරන්න ගත්තේ. අප්පච්චිට මල්ලි උස්සගෙන යන්න බැරි හින්ද මල්ලි මගේ කරේ තියාගෙන මේ මහා කන්ද මම නගින්න උත්සාහ කළේ. මට දැන් මල්ලිව කරේ තියාගෙන මේ කන්ද නගින්න හොඳට හුරුයි. මල්ලි මගේ කර මතින් ගිහින් තමයි විභාගේ ලියලා පාස් වුණේ. දැන් ඉතින් මල්ලිව උසස් පෙළ විභාගෙට සූදානම් කරන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුවත් මල්ලිගෙන් ඉටු වෙයි කියන බලාපොරොත්තුව අපි හැමෝගෙම තියෙනවා.”

කීර්ති චන්ද්‍රසිරි දරුවාගේ අම්මා වන ඩබ්ලිව්.ජී. ගුණවතී මහත්මිය තමන් හා තම දරුවා ගැන කීවේ මේ අයුරිනි.

“මට අවුරුදු තිහේදී වගේ තමයි මේ රෝගය හැදු​ණේ. එතකොට මේ දරුවෝ දෙන්නම මට ලැබිලා. මේ රෝගය වැළඳෙන්නේ වයස ගතවෙන කොටයි. මම පස් දෙනෙක්ගෙන් යුත් පවුලක බාලයා. අපේ කාටවත් මේ රෝගය තිබ්බේ නැහැ. ඒත් මට ඒ රෝගය තියෙනවා. අද වෙනකොට මටයි මගේ දරුවටයි දෙන්නටම ජානවලින් වැළඳෙන මයෝපති කියන දරුණු රෝගය වැළඳිලා.”

තම කුසින් වැදූ දරුවාට තමන්ට ඇති රෝගයම වැළඳේවි කියා සිහිනෙකින්වත් ඒ අම්මාට සිතෙන්නට නැතුව ඇති. එහෙත් දෛවය ඒ අම්මා ළඟ දැවටී ඇය තම කුසින් වැදූ අහිංසක දරුවාට මෙවන් දරුණු දුකක් දී හමාරය. ඒ දෛවයට ස්වභාවධර්මයා ද කොටස්කරුවකු වී මේ ලෙසින් රිද්දීම සැබෑවට ඇට මස් ලේ නහරවලින් හැදුණු අම්මා කෙනකුට නම් දරාගත නොහැකි බව තේරුම් ගැනීමට වැඩි කල් ගතවන්නේ නැත. තම දරුවාට වැළඳුණු රෝගය සුවපත් කරගන්නටත් දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නටත් කවුරුන් හෝ උදව් කරාවි යන අනියත බලාපොරොත්තුව ඒ අම්මාගේ ඇස්වල ලියැවී ඇති බව අපට අවබෝධ කරගැනීමට පිළිවන.

දින සති මාස ගණන් පාසල් නොගියත් සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වූ කීර්ති චන්ද්‍රසිරි දරුවාගේ පන්තිභාර ආචාරිණී ස්වර්ණා අබේසේකර මහත්මිය කීර්ති චන්ද්‍රසිරි දරුවා පිළිබඳව හඬ අවදි කළේ මෙලෙසිනි.

“මම මේ පාසලට එනවිට කීර්ති ඉගෙන ගත්තේ 05 ශ්‍රේණියේ. ඒ කාලයේ මේ දරුවා හොඳින් ඉගෙන ගත්තා. ඒ අතරතුර තමයි දරුවාගේ ඇස් පෙනීම දුර්වල වෙන්​න ගත්තේ. ඉන් පස්සේ දරුවා අසනීප තත්ත්වය නිසා පාසල් එන එක ටික ටික අඩුවෙන්න ගත්තා. සාමාන්‍ය පෙළ විභාගයට පෙර තිබ්බ සිංහල පෙරහුරු විභාගයේදී කීර්ති වැටුණා. එතැන් පටන් කීර්ති පාසල් ආවේ නැහැ. මේ දරුවා අසනීප නොවන්නට මීට වඩා ඉහළ ප්‍රතිඵලයක් ගන්න තිබුණා කියන කාරණය නම් කියන්න කැමතියි.”

බුමුතුරුණු පලස් මතින් ඇවිදින තරු පහේ දිවිගෙවන දරුවන් සිටින රටක ඇවිද යන්නට හරිහමන් පාරක් හෝ නොමැති, දිවි ගෙවන්නට හරිහමන් නිවසක් හෝ නොමැති දිනක් හෝ ජීවත්වෙන්නට බලාගෙන සිටින අහිංසක, අසරණ කීර්ති චන්ද්‍රසිරි දරුවාගේ දිවිමඩල ලස්සන කරන්නට කවුරුන් හෝ කැමති නම් 0766 567993 අංකයෙන් කීර්ති චන්ද්‍රසිරි දරුවාගේ පියා වන චන්ද්‍රසිරි මහතා අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

සටහන සහ ඡායාරූප :
නාවලපිටිය – සිසිර ලලිත් කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here