මම අම්මව දැක්කෙ කටහඬින්..ඇය මට සලකණ විදියෙන් – බ්‍රයන්

0

ලෝකය කළුද සුදුද කියන්නටවත්, කළු-සුදු මොන වගේද කියන්නටවත් බ්‍රයන් කිංස්ටන් පුතු දන්නේ නැත.

මල්වල පාට, ගහකොළවල පාට, මිනිසුන්ගේ රූපය කෙබඳුදැයි හිතින් මවා ගන්නවාට වඩා අද හරි අපූරුවට ඔහු මනසින් ලෝකය හඳුනාගත් පුතෙකු වී ඇත. ඒ නිකම්ම නොව ආදරණීය හදවතක්ද එක්කය.

‘‘මම අම්මව දැක්කේ කටහඬින්. ඇය මට කතා කරන විදිහෙනුයි, සළකන විදිහෙනුයි මම ඇයව හඳුනගත්තා. ඇයගේ ආදරය හරිම අපූරුයි. අම්මා තමයි මං කියන චරිතය හැඩගැස්සුවේ.’’බ්‍රයන් සිනාමුසුව කීවේය.

තවමත් දාහත්වන වියේ පසුවන බ්‍රයන් ගැන රටම කතා කරන්නට වූයේ මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ නවයක් ලබා ගනිමින් විභාගය ඉහළින්ම සමත් වූ නිසාය.

ලෝකය දකින්නට නොහැකි නමුත්, ලෝකය දිනන හැටි, ඔහු ලෝකයාට කියාදෙන අපූරුව හරිම ලස්සනය. සිරස ලක්ෂපති හරහා මිලියනපතියෙකු වීමේ කඩඉම අභියස සිටින බ්‍රයන්, පොතපත කියවන්නටත් ලෝකය ගැන දැනුම සොයා යන්නටත් උපන් හපන්කම් ඇත්තෙකි. ඒ ගමන ලස්සන කරන්නට වෙහෙසුණේ බ්‍රයන්ගේ ආදරණීය අම්මා වන අමල්ප්‍රියා මහත්මියයි. බ්‍රයනුත් මවත් දෙදෙනෙකු නොව එක්කෙනෙකු තරමටම ඒ බැඳීම ළඟය.

‘‘පුතා ඉප‍දුණේ කාසල් වීදියේ කාන්තා රෝහලේ. මාස හතෙන් ඉපදුණු නිසා එයාගේ බර ග්‍රෑම් නවසිය පනහයි. හරිම පුංචියි. ඒත් මට මතකයි පුතා ඉපදුණු වෙලේ ඇස් ඇරලා බැලුවා. එයාගේ බර අඩු නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. එයා ඉපදෙද්දි නිල්පාට වෙලා හිටිය නිසා උපත් සටහනේ තිබුණෙත් Death of Birth (උපත් මරණයක්) කියලයි.

කොහොමහරි දැ ඩි සත්කාර ඒකකයේ ඉඳිද්දී කිහිපවතාවක් ලේසර් ප්‍රතිකාරවලට යොමු කරන්න සිදුවෙලා මාස දෙකක් වෙද්දි ඇහේ ආබාධය ආවා නිසා දරුවා ඉන්දියාවෙ අරන් ගියා.

ඇහේ පටලයට සම්බන්ධ වන දෘෂ්ඨික ස්නායුව වි’නාශයට පත්වෙලා කියලා අපි දැනගත්තා. ඒ ජර්මන් සරසවියකින් කළ පර්යේෂණයකදී. ඒත් අපට දරුවට තවදුරටත් ප්‍රතිකාර ලබාදෙන්න ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. අම්මා කෙනෙක් විදිහට එය දරාගන්න හරිම අමාරු මොහොතක්. ඉන්පස්සේ මං තීරණය කළා පුතාට ප්‍රතිකාර හොයමින් යනවට වඩා එයාගේ අනාගතය වෙනුවෙන් මට කළ හැකි දේ කරන්න ඕන කියලා.’’

අමල්ප්‍රියා මහත්මිය ‘ධරණී’ හා කතාබහට මුලපිරුවේ එසේයි.

ඔවුන් පදිංචිව සිටින්නේ මෝදර මට්ටක්කුලියේ ඇයගේ මවට අයත් නිවසේය. බ්‍රයන්ගේ රෝගයට මුදල් වියදම් කරන්නට සිදුවූයෙන් ඔහුගේ පියාට විදේශගත රැකියාවකට යාමටද සිදුවිය.

‘‘ඇත්තටම මොන දු’ෂ්කරතා තිබුණත් මගේ එකම හීනේ වුණේ දරුවෝ දෙන්නට උගන්වන එක. බ්‍රයන් පුතා පවුලේ දෙවැනියා. ලොකු පුතා රැම්ස්ටන් ක්ලෙමන්ට් එතකොට පුංචියි. අම්මත් එක්ක අපි හිටිය නිසා මම ලොකු පුතාගේ වැඩ රාජකාරි අම්මට පවරලා බ්‍රයන් පුතා වෙනුවෙන් කැපවුණා.

අපි දමිළ කතෝලික පවුලක්. දරුවා මාස දෙකක් විතර ගියේ මට්ටක්කුලිය ශාන්ත මේරි පල්ලියට. කොහොමහරි පුතාට අවුරුදු හය වෙද්දි රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් කළා.

මට්ටක්කුලියෙන් පාන්දර හතර හමාරට මොරටුව බස් එකක් යනවා. මම උයලා පිහලා පුතාවත් ලෑස්ති කරගෙන ඒ බස් එකේ රත්මලානට යනවා. ඉස්කෝලේ ඇරෙනකම්ම මමත් ඉන්නවා. පාන්දරම යන නිසා පුතාට මහන්සියි. හවසට ගෙදර අවාම ඒ මහන්සියට පුතා පැයක් දෙකක් නිදාගන්නවා. ඉන්පස්සේ පාඩම් වැඩ කරනවා.’’

බ්‍රයන් අන්ධ විද්‍යාලයේදී බේල් ක්‍රමයට ඉගෙනුම් කටයුතු අරඹන්නේ එසේයි.කඩිනමින් එම ක්‍රමය ග්‍රහණය කරගැනීමට වූ දක්ෂතාව හේතුවෙන් පළමු වසරේදීම හොඳ ලකුණු ලබාගන්නට සමත් වූ බ්‍රයන් එකේ පන්තියේ සිට එකවරම තුනේ පන්තියට උසස් කළේය.

‘‘පුතාට ඩබල් ප්‍රමෝෂන් එකක් ලැබුණා. ඒ විදිහට එයා දස්කම් දක්වද්දී ඇත්තටම මට දැනුණේ කියාගන්න බැරි සතුටක්.මගේ හිත හැමවෙලාවෙම වැළපුණා දරුවගේ ඇස් දෙකට වුණු දේ නිසා. ටිකෙන් ටික එයා විවිධ දස්කම් පෙන්වන දරුවෙක් බවට පත්වුණා.

එයාට අන්ධ විද්‍යාලයට ඇතුළත් වෙද්දි සිංහලෙන් කියන්න පුළුවන් වෙලා හිටියේ ‘මට වතුර තිබහයි’ කියලා විතරයි. එයා පහ වසර දක්වා සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත්තා. ඉන්පසුව පහ වසර ශිෂ්‍යත්වයට දෙමළ මාධ්‍යයෙන් පෙනී ඉඳලා ලකුණු 155ක් අරගෙන සමත් වුණා.’’

ඉගෙනුම් කඩඉම කෙමෙන් කෙමෙන් ජය මාවතට යොමුවෙනු දකිද්දී අමල්ප්‍රියා මහත්මියට දැනුණේ පුතුගේ අනාගතය පිළිබඳ නොනිමි සතුටකි. කුඩා වියේ පටන් තම තුරුලේ නිදාගන්නා පුතුට ඇය නෙයෙකුත් කතාන්දර කියා දෙන්නීය.බ්‍රයන් ඒවා අසා සිටින්නේ සතුටිනි. ඒ වාගේම ඔහු පොතපතේ දැනුමට පමණක් සීමා වූ දරුවෙකුද නොවේ.

රත්මලාන අන්ධ විද්‍යාලයේ විදුහල්පතිනි, රොසානා කුලේන්ද්‍රන් මෙනවිය බ්‍රයන් ගැන කීවේ මෙවන් කතාවකි.

‘‘බ්‍රයන් පුතා ඇත්තටම පොතට පමණක් සීමාවුණ අයෙක් නෙවෙයි. සමහර දරුවෝ ගත්තම පොතටම විතරයි සීමාවෙන්නේ. මොහු ක්‍රීඩාවට දක්ෂයි. විවිධ තරඟවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා.

දෘෂ්‍යාබාධිත දරුවෝ අතරේ මේ දරුවා හැමදේටම උනන්දුයි, දක්ෂයි. ශිෂ්‍ය නායකයෙක් විදිහටත් හැමදේකදීම කැපී පෙනෙනවා. ඉතින් ගුරුවරුන් එයා වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා.අමතර පන්ති ගියේ නැහැ.

රට ලොක්ඩවුන් කරලා විභාගෙට මාස දෙක තුනක් තියෙද්දී තමයි ඔන්ලයින් පන්තිවලට සහභාගි වුණේ. දමිළ (කතෝලික) පවුලක දරුවෙක් වුණත් එයාගේ තිබුණු තව විශේෂත්වයක් තමයි, සිංහල සාහිත්‍යය ගැන තිබුණු දැනුම. ඔහුගේ සාමාන්‍ය පෙළ රිසාල්ට් එක විතරක්ම නෙවෙයි අපට වටින්නේ.

බ්‍රයන් පුතා ‘ඒ’ නවයක් අරගෙන විද්‍යාලයට පළමුවරට ගෙනැත් දුන් ගෞරවය සහෝදර සිසු සිසුවියන්ටත් ආදර්ශයක් ලබාදුන්නා. ඔහු විනීත දරුවෙක් වගේම ගුරුවරුන්ට මනා ගෞරවයක් දැක්වූ අයෙක්. ඒ මව්තුමියත් ඔහුගේ මේ ජය පසුපස සිටියා.’’

විදුහල්පතිනිය එසේ කියද්දී, තමා කුඩා වියේ සිට අම්මා තමා සමඟින් විඳි දුක් ගැන, තමා මේ තරම් දුරක් ගෙන එන්නට කළ කැපවීම ගැන කතා කළේය.

‘‘අම්මා මං වෙනුවෙන් හැමදේටම හිටියා. සමහරක් වෙලාවට අම්මා විඳින දුක මට උහුලගන්න බෑ. මම මුලදි හිතුවේ විද්‍යාඥයෙක් වෙනවා කියලයි. ඊටපස්සේ හිතුවා රහස් පරීක්ෂකයෙක් වෙනවා කියලා. දැන් මම කැමතියි කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරලා නීතීඥයෙක් වෙන්න. ඒ වගේම අම්මව ලස්සනට තියන්න ඕන. එයාට ලස්සන ගෙයක් හදලා දෙන සිහිනයක් මට තියෙනවා.’’

බ්‍රයන්ගේ බලාපොරොත්තු සිහින පැහැදිලිය. ඒ වාගේම ලස්සනය. කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී උසස් පෙළ හදාරන්නට බලාපොරොත්තු වන බ්‍රයන් ක්‍රිකට් ක්‍රීඩාවට මහත් සේ ඇලුම් කරන බවද දැනගන්නට ලැබුණි. ඔහු ක්‍රිකට් තරඟවල විස්තර විචාරයන් අසා සිටින්නටද ප්‍රියය. ඒ ප්‍රියකම කොතෙක්දැයි හැඟෙන්නේ පාසලේදී පුල්ස්ටොප් කියද්දී ඔහුට කියවෙන්නේම ෆුල්ටොස් කියාය.

ක්‍රීඩාවට කොතරම් දස්කම් පෑවද මුල් කාලයේ ක්‍රීඩා පිටිය හඳුනාගන්නට බ්‍රයන්ට පහසු වූයේ නැත. ඊටද බ්‍රයන් පසුපස සිටියේ ආදරණීය අම්මායි. ඔහු යගුලිය දැම්මේ ක්‍රීඩාවටද දක්ෂය. දැනුම මිනුම තරඟවලටද දක්ෂය. බොරැල්ල වෙස්ලි විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටින බ්‍රයන්ගේ එකම සොයුරා ද ඔහුගේ ගමන්මගට ශක්තියක් විය.

ලෝකය ගැන දැනුම සොයා යමින්, ඒ සියල්ල දෙනෙතින් නොව මනසින් දකිමින් බ්‍රයන් පුතු ලොවට දුන් ආදර්ශය අතිමහත්ය.

( දීපා වසන්ති එදිරිසිංහ – ධරණි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here