ජපාන රජ පවුලේ කුමරියක වන මාකෝ සාමාන්‍ය පුරවැසියකු වන කී කොමුරෝ සමග ඊයේ (26 වැනිදා) විවාහ විය. වසර කිහිපයක් තිස්සේ පැවැති ඔවුන්ගේ මෙම ප්‍රේම සම්බන්ධය පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇති කළ කාරණයක් වූයේය.
ඇතැමුන් මොවුන්ගේ සම්බන්ධය සමාන කළේ බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමරිකානු ජාතික මෙගන් මාර්කල් අතර ඇති වූ සම්බන්ධයටයි. හැරී – මෙගන් දෙදෙනාගේ සම්බන්ධයට මෙන්ම මාකෝ – කොමුරෝ සම්බන්ධයටද විශාල මාධ්‍ය අවධානයක් යොමු විය. එමෙන්ම දැඩි විරෝධතාද එල්ල විය.
මේ හේතුවෙන් ඇති වූ පීඩනය නිසා මාකෝ කුමරිය මානසික ආබාධයකට පවා ගොදුරු වී තිබුණාය. කෙසේ හෝ වේවා, ඇය ඊයේ සිය දිගු කාලීන ආදරවන්තයා සමග යුගදිවියට එළැඹුණාය. විවාහයෙන් පසු හැරී – මෙගන් මෙන්ම මාකෝ සහ කොමුරෝද ඇමරිකාවේ පදිංචියට යනු ඇති බව සඳහන් වේ.
කොමුරෝ එහි නීතිඥයකු ලෙස කටයුතු කරන්නෙකි. මාකෝ කුමරියගේ පියා වන ෆුමිහිතෝ කුමරු ජපානයේ වත්මන් අධිරාජයා වන නරුහිතෝගේ සහෝදරයායි. කිරුළ හිමි අයගේ ලැයිස්තුවේ ඊළඟට සිටින්නේද ඔහුයි.
මාකෝ කුමරිය සාමාන්‍ය පුරවැසියකු විවාහ කර ගැනීම නිසා ඇයගේ රාජකීය තත්ත්වය අහිමි විය. එමෙන්ම රජ පවුලේ විවාහයකදී ඉටු කරන රාජකීය චාරිත්‍රද ඇය ප්‍රතික්ෂේප කර තිබූ බව සඳහන් වේ. රජ පවුලේ කාන්තාවන් විවාහ වී යනවිට යෙන් මිලියන 150ක පමණ (ලංකා රුපියල් මිලියන 270 ක පමණ) මුදලක් ඔවුන්ට ලබා දෙයි. නමුත් මාකෝ එයද ප්‍රතික්ෂේප කර තිබුණාය.
මාකෝ සහ කොමුරෝ මුලින්ම මුණගැසී තිබුණේ ඔවුන් ටෝකියෝ නුවර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටි කාලයේයි. ඒ 2012 වසරේය. 2017 වසරේ විවාහ ගිවිසගත් ඔවුන් 2018 වසරේ විවාහ උත්සවය ගැනීමට නියමිතව සිටියත් එය සිදු වූයේ නැත. එයට හේතු වූයේ කොමුරෝගේ පවුලේ ඇති වූ මූල්‍ය ගැටලුවක් බවටද අදහස් පළ විය.
ඔවුන්ගේ විවාහයට එරෙහිව අඟහරුවාදා ඇතැම් පිරිස් විරෝධතාවක්ද පවත්වා තිබිණි.කොමුරෝගේ ඇතැම් විලාසිතා රජ පවුල සමග සම්බන්ධ වීමට යන කෙනකුට නොගැළපෙන බවටද පසුගිය කාලයේ පුවත්පත්වලින් සහ සමාජ මාධ්‍ය තුළින් විවේචන එල්ල වී තිබූ බව සඳහන් වේ.
විවාහයෙන් පසු මාකෝ සහ කොමුරෝ දෙදෙනා මාධ්‍ය හමුවක්ද පවත්වා තිබූ අතර එහිදී මාකෝ තම විවාහය නිසා ජනතාව අපහසුතාවට පත් වීම ගැන සමාව ඉල්ලා තිබුණාය. ‘කෙසේ නමුත් හැමදාමත් මා සමග සිටිමින් මට සහාය දැක් වූ අයට මා ස්තුතිවන්ත වෙනවා.
මට කොමුරෝ කියන්නේ අත්හැරිය හැකි කෙනෙක් නොවෙයි. විවාහය අප දෙදෙනාටම අවශ්‍ය වූ තෝරා ගැනීමක්’ යැයිද ඇය පවසා තිබේ.