කුරුවිට නගරයට ආසන්න ගම්මානයකි. මේ ගමේ ගෙදරක හැඩකාර තරුණියක පිළිබඳ හිතක් ඇතිකරගත් තරුණයකු ඇගේ ආදරය දිනාගැනීමට දැ’ඩි උත්සාහයක නිරත විය.
මේ බව ඇය දැන සිටියේ නැත. මෙකී තරුණිය විනෝදාංශයක් ලෙස කළේ කෘතිම මල් සෑදීමය. මෙලෙස සාදන මල් අලෙවිකර ගැනීමට සිතූ ඇය ඒ ගැන හංදියේ කඩේ මුදලාලි සමග කතාකර ගත්තාය.
මුල්ම දිනයේ ඇය කඩේ විකිණීමට තැබුවේ අලංකාර මල් සහිත එක මල්පෝච්චියකි. එදින දහවල් කඩමණ්ඩියට පැමිණි පෙර කී තරුණයා මෙම මල්පෝචිචිය දැක එය ටවුමෙන් ගෙනාවාදැයි විමසද්දි මුදලාලි තොරතුරු කීවේය. තරුණයා මල්පෝච්චිය මිලට ගත්තේය.
දෙවැනි දිනයේද තවත් මල් පෝච්චියක් තිබෙනු දුටු තරුණයා එයද මිලට ගත්තේය. ඔහු මුදලාලිට කීවේ ඇය ගෙනෙන මල්පෝච්චි සියල්ලම තමා මිලදී ගන්නා බවත් ඒවා වෙනත් කෙනෙකුට නොවිකුණන ලෙසත්ය.
මින් යමක් කමක් වටින් ගොඩින් මුදලාලිට තේරුම් ගියේය. මුදලාලිට හිතූ මිලට එවා අලෙවිකර ගැනීමට හැකිවිය.
මෙම තරුණයා හැම මල්කිනිත්තකම ආදරය දැක්වෙන කවිපදයක් ලියා එල්ලා තැබුවේය. මල් ආදරයෙන් පිරිමැද්දේය. ටික දිනක් ගතවෙද්දි මුදලාලිට අපූරු අදහසක් පහළ විය. තම බිරිඳටද මෙලෙස කෘත්රිම මල් සෑදීමට හැකිබව ඔහු දැන සිටියේය. ඔහු බිරිඳ සමග කථාකර ඇයට එම රාජකාරිය පවරා පෙර කී තරුණියගේ මල් ගැනීම නැවැත්වීය.
මේ කිසිවක් තරුණයා දැනසිටියේ නැත. මල් සියල්ලම මිලට ගන්නා බැවින් මල්වල අලංකාරය ගැනද ඔහු සෙව්වේ නැත. මෙසේ ටික දිනක් ගතවෙද්දී මෙම තරුණිය මුණගැසුනු තරුණයා ඇය සමග කථාබහ කරමින් ඇගේ මල්වල අලංකාරය ගැනද වර්ණනාකර තමා ඊයේ වනතුරු මල් මිලට ගත් බව ඇයට පවසද්දී ඇය කීවේ තමා දැනට මසක පමණ සිට කඩයට මල් නොදමන බවයි.
මෙය සැ’කහැර දැනගත් තරුණයා මුදලාලි හමුවී මේගැන විමසද්දී හොරේ එළිවිය. ඔහු සමග ඇතිකරගත් බ’හින්බ’ස්වීමෙන් පසු තරුණයා එම කඩයට යාමද නවතා තිබේ.