87 හැවිරිදි ලාංකික මිත්තණියට කැනඩාවේදි ශාස්ත්‍රපති උපාධිය

0

ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ 87 හැවිරිදි හත්දරු මිත්තණියක කැනඩාවේ යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් වයස්ගතම පුද්ගලයා බවට පත්ව ඇත.

ඇයගේ විෂයවී ඇත්තේ ‘දේශපාලන විද්‍යාවයි’. වරතා ෂන්මුගනාදන් නම් මෙම ශ්‍රී ලාංකික කාන්තාව සිය ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් සහතික ලබා ඇත්තේ පසුගිය නොවැම්බර් 02වැනිදාය.

යෝර්ක් විශ්වවිද්‍යාලයේ ප්‍රකාශිකා ග්ලෝරියා සුහාසිනි පවසන පරිදි වරතා ඔන්ටාරියෝ විශ්වවිද්‍යාලයේ වයස්ගතම ශාස්ත්‍රපති උපාධිධාරිනිය බවට පත්ව සිටින්නීය.

“මෙය සැමදා මගේ සිහිනයක් වූ අතර, දේශපාලනය හැදෑරීම සහ එයින් උසස් උපාධියක් ලබා ගැනීම, අවසානයේ එය සාක්ෂාත් කර ගැනීම ගැන මම සතුටු වෙනවා” යැයි ඇය සඳහන් කර ඇත.

මෙය වරතා ෂන්මුගනාදන්ගේ පළමු ශාස්ත්‍රපති උපාධිය නොවේ. ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසු ඇය නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දියානු ඉතිහාසය සහ ඉංග්‍රීසි ඉගැන්වීම සිදුකර තිබේ.

1990 දී ඇය දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමට ලන්ඩනයට ගිය අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික වාග් විද්‍යාව පිළිබඳ ප්‍රථම ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.

2004 දී ෂන්මුගනාදන් කැනඩාවට සංක්‍රමණය වී ඇති අතර විශ්වවිද්‍යාලය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ පැවැත්වෙන උපකාරක පන්තිවලට සහභාගී වී 2019 දී සිය අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කළ අතර 2021 නොවැම්බර් 2 වන දින තවත් සිසුන් 4,000 ක් සමග සිය උපාධිය ලබාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here