සතුට තුරුලු කරගෙන ජීවත්වෙන අවුරුදු 115 අත්තම්මා

0

ඇය වයස අවුරුදු 115ක් වන ජ්‍යෙෂ්ඨ පුරවැසි කාන්තාවකි. ඇය ඉපදුණේ අකුරැස්ස අතුරලිය ගම්මානයේ ය. ඇයගේ නම කන්කානම් ගමගේ ඩිංගිහාමිය. මේ මාතාවගේ උපන් දිනය 1906.01.11 වැනිදාය. තවමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන ඇය දැන් ජීවත් වන්නේ වාහල කනංකේ, පාළුවත්ත ගම්මානයේ ය.

සිය බාල පුතුගේ නිවසේ මිදුලේ අඹ ගස් සෙවණේ විවේකීව පුටුවක අසුන්ගෙන සිටින කන්කානම් ගමගේ ඩිංගිහාමි මාතාව සුන්දරය.කන්කානම් ගමගේ ඩිංගිහාමි මතාව අප සමග ඇගේ සුන්දර කතාන්දරය මෙසේ කීවාය.

මම ඉපදුනේ අතුරලිය ගමේ. අකුරැස්සේ තමයි ගම තියෙන්නේ. සහෝදර සහෝදරියන් හතරයි. මාත් එක්ක පහයි. මම තමයි පවුලේ බාලයා. මගේ සහෝදර සහෝදරියෝ මේවන විට සියලු‍ දෙනා මිය ගිහිල්ලා. මම තමයි තවම ජීවත්ව ඉන්නේ.

ඒ කාලයේ අතුරලිය ගම හරිම සුන්දරයි. ගහකොළ සතා සීපාවා දිය කඩිති මහා ගස්වැල් වලින් ගම සුන්දරවයි තිබුණේ. මහ පාර තිබුණා. තාර පාරවල් තිබුණේ නෑ. කරත්තයක් දෙකක් ඉඳහිට සතියකට දෙකකට ගමන් කරනවා. ගමේ වැඩි හරියක් ගියේ පයින් තමයි. ගම්මු කදමළු අරගෙන කර තියාගෙන ගියා. බඩු කඳවල් කරේ තියාගෙන තමයි ගමේ ඈයෝ ගමන් ගියේ. අපේ ගම් පළාතේ ගොවිතැන තමයි වැඩි දෙනෙක් කළේ. ගමේ ඈතට වෙන්න කඩ මණ්ඩියක් තිබුණා මතකයි.

මම පවුලේ බාලයා නිසා මට කවුරුත් ආදරෙයි. මම ඉස්කෝලේ ගියේ අතුරලිය නාරංකැටිය ඉස්කෝලයට. එදා ගුරුවරු හරිම සැරයි. ඉස්කෝලේ යන්නේ නැති ළමයි බලන්න ලොකු ගුරුතුමා ගෙවල්වලට එනවා. ඇවිත් නඩු දමනවා කියනවා. ළමයි පාසල් එව්වේ නැතිනම්. ඒ නිසා කෑම නොකෑවා කෑවා කියලා බලන්නේ නැතුව, තියන ඇඳුමක් ඇඳගෙන අපිට ඉස්කෝලේ යන්න සිදුවුණා.

ගෙවතු වැඩ, අත්කම් වැඩ, අකුරු ලියන එක, ගණන් හදන එක, පොත් කඩ පාඩම් කරලා හයියෙන් කියන එක, කවි, සිංදු කියන එක වගේ දේවල්, දුවන පනින වගේ දේවල් තමයි ඉස්කෝලයේ කළේ අපි ගෙදර වාගේම පාසලේත් වගා කළා. මල් වැව්වා. ඒවාට පොහොර දැම්මා කොළපොතක් අරගෙන අපි කෙල්ලෝ ටික ගොම ගේන්න පාසලේ ඉඳලා ගමේ කරත්ත පාරවල් දිගේ ගියා මට අද වගේ මතකයි. ඇය තම සොඳුරු වූ පාසල් කාලය සිහිපත් කරන්නේ හරිම සතුටිනි.

එදා වැඩිදුර අධ්‍යාපනය කරන්න පාසලට ගියේ අඩුවෙන්. වත්තේ කුඹුරේ ගෙදර වැඩ කරන්න තමයි අම්මලා අපිට ඉගැන්නුවේ. පොල් ලෙලි තැලු‍වා. වත්තේ පිටියේ වගා කළා. වී ගොවිතැන කළා. එව්වට මහ ඈයෝ එක්ක පිරිමි අපේ සහෝදරයන් උදව් කළා. මැහුම් ගෙතුම් කළා. බීරළු රේන්ද වියනවා. පැඳුරු වියනවා. මටත් අම්මා තමයි පැඳුරු වියන්න ඉගැන්නුවේ, අපේ නැද්දටත් රටා දමලා පන් මළු, පන් පැඳුරු වියන්න හැකියි ඇය කියන්නීය.

මම ගැටිස්සි කාලයේ හරිම දඟයි කියලා අම්මා නැන්දා කියනවා අපි අල, බතල, කොස් ,දෙල් කැකුළු හාල් බත් කෑවා. ගඟේ, වැවේ, ඇලේ දොලේ තමයි නෑවේ. මිරදිය මාළු තමයි කෑවේ. කරවල හොඳිත් එක්ක කොස් කන්න මම අදත් කැමැතියි. ඉඳ හිට මස්, මාළු කනවා. එදා අපේ ගමේ ප්‍රදේශයේ අවුරුදු කුමාරිය වුණේ මම.

ඒ කාලයේ එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා දේශපාලනය කරනවා මට මතකයි. ඒ මහත්තයා දැන් වාගේ හොර බොරුකාර මැති ඇමතිවරු වගේ නොවෙයි. අපිට උදව් කළා. අපේ ගෙදර සමඟ සමීප සම්බන්ධතාවයක් වික්‍රමසිංහ මහත්තයාගෙ තිබුණා.

අතුරලිය කොස්තානාගොඩ වත්තේ නිවසේ තමයි අපි හිටියේ. පසුව මම විවාහ වුණා. ඒ කපුවෙක් මාර්ගයෙන්. අම්මලාගේ කැමැත්ත මත තමයි විවාහය සිදු වුණේ.

මගේ ස්වාමියා තමයි එම්.ජී. ධනෝරිස් අප්පු. උන්දෑ එක්ක තමයි කනංකේ පාළුවත්ත ගමට ආවේ. අපිට දරුවන් තුන්දෙනෙක් හිටියා. කොල්ලෝ දෙන්නයි එක දුවයි. දුව පුංචි කාලයේදීම මිය ගියා. පසුව පුතාලා දෙන්න හදාගෙන අපි මෙහෙ හිටියා. අපේ සැමියා කුලී වැඩ තමයි කළේ. මමත් තේ දළු කැඩුවා. කුරුඳු ඉඩම් උදළු ගෑවා. මගේ සැමියා මෙයට අවුරුදු 43කට පෙර මි’ය ගියා.

මට අවුරුදු 115ක් වෙනවා. මගේ ඇස් නම් හරියට පේන්නේ නෑ. නමුත්, මට හොඳට ඇහෙනවා. රෑට නිදිය ගන්නේ පැය දෙකක් තුනක් විතරයි. රෑට නින්ද යන්නේ නෑ. දවාලට පැය කිහිපයක් නිදා ගන්නවා. සැහැල්ලු‍ ආහාර තමයි මම කන්නේ. මගේ ලොකු පුතා එම්.ජී පියදාස (82), පොඩි පුතා එම්.ජී. සිරිසේන (78), මට මුණුඹුරු මිනිබිරියන් 24ක් වගේ ඉන්නවා.

මම දැනට පොඩි පුතා එම්.ජී. සිරිසේන පුතාගේ ගෙදර තමයි ඉන්නේ. ඒ දවස්වල නම් පුත්තුන්ගේ දරුවන් හුරතල් කළා. රැක බලා කියා ගත්තා. නමුත්, දැන් නම් හයිය ශක්තිය නෑ. ඒ නිසා ඒ වැඩ දරු සුරතල් කරන්නේ නෑ. මගේ පුත්තු දෙන්නා. ලේලිලා දෙන්නා එවුන්ගේ දරුවන් මට හරිම ආදරෙයි.

මම සතුටින් ජීවත් වෙනවා. මගේ පොඩි පුතාගේ පවුල කේ. වී. කරුණාවතී (72) තමයි මාව මගේ දුවෙක් වගේ බලා කියා ගන්නේ. සාත්තු සප්පායම් කරන්නේ. ඒ ඇත්තිට පිං සිද්ධ වෙන්න ඕනෑ.

ඩිංගිහාමි මතාවට ඇය දිරි ගන්වන තිළිණ, සහතික ගණනාවක් ලැබී ඇති ආකාරයක් දැකගත හැකිය. වැලිගම වැලිවිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්, එහි නිලධාරින් මෙන්ම, දකුණු පළාත් සමාජ සේවා අමාත්‍යංශයේ ලේකම් තුමා ද ඩිංගිහාමිගේ දුක සැප නිරතුරුවම සොයා බලන බව, ඩිංගිහාමි මාතාවගේ ඥාාතිහු අප සමඟ පැවසූහ.

සටහන හා ඡායාරූප / හබරාදුව නිමල් අල්ගෙවත්ත   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here