නුවරඑළිය ලස්සන කරන්නට වෙහෙසෙන මිනිසුන්ගේ අවලස්සන කතාවක්

0

ඔබ පැල්පත්වාසීන් මේ මිහිපිට ඕනෑවටත් වඩා දැක තිබෙන බව මම දනිමි… අපේ රටේ අගනගරය, සුරපුරයක් යැයි පුරසාරම් දොඩවන කොළඹ නගරයේ මතුපිටින් පෙනෙන පරිසරයට පිටින් ඇති ඇතුළාන්තයට ගොස් මදක් විමසා බලන විට පැල්පත්වාසීන් සොයා ගැනීම අසීරු නොවේ.

වනාතමුල්ල, දෙමටගොඩ, හැටේවත්ත, ස්ටේස්වත්ත, බ්ලූමැන්ඩල් කුණු කන්ද ආදී තැන්වල ඇතුළාන්තයට ගොස් වටපිට බලන විට අදටත් සිය ගණනක් පැල්පත් මේ මහා කොළඹින් පවා අපට දැක බලා ගත හැකිය.

කොටින්ම කිවහොත් කොටුව ස්ටේෂමෙන් කැලණිවැලි දුම්රියට නැගී හෝමාගම දෙසට යන විට මහරගමට ළං වන තුරුම පාර දෙපස ඇත්තේ නානාවිධ පැල්පත්ය. මේවායේ අදටත් ජීවත් වන්නේ ඌරන් කුකුළන් එළුවන් නොව, දෙපයින් ඇවිදින මිනිසුන්ය.

එහෙත් මා මේ කෙටි සටහනින් පෙන්වන පැල්පත් වූකලී ඒවාට වඩා ඉඳුරාම වෙනස් පැල්පත් සමූහයකි. මන්ද ඒවා ඇත්තේ අපේ රටේ පරිසර පද්ධතියේ හදවත ලෙස හඳුන්වන නුවරඑළිය නගර මධ්‍යයේ අධි සංවේදී පරිසර කලාපවල වන නිසාය.

‘‘අපිත් නුවරඑළියෙ… අපිත් නුවරඑළි යනවා. ඔය හැම තැනම ඇවිදලා තියෙනවා… ඒත් ඔය වගේ පැල්පත් නම් නුවරඑළියෙ කිසිම තැනක අපි දැකලා නෑ….” මේවා දැක යම්කිසිවෙකු එසේ මැසිවිලි වන්නේ නැත…

නුවරෑළිය ලස්සන කරන්නට වෙහෙසෙන මිනිසුන්ගේ අවලස්සන කතාවක්

මන්ද… නුවරඑළියෙ ලස්සන බලන්නට, සැප විඳින්නට හිතාගෙන දවසක් දෙකක් නුවරඑළි යන දෙස් විදෙස් සංචාරකයෝ කිසිදිනක නුවරඑළියෙ මතුපිටින් පෙනෙන ලස්සනට වැසී ගිය ඇතුළාන්තයේ ඇති මේ අවලස්සන දකින්නේ නැත. ඔවුන්ට ඒවා පෙනෙන්නේම නැත.

හේතුව… නෙත් පිනවන සිත් නිවන ගත සනහන නුවරඑළියෙ මතුපිට පෙනෙන ඇදහිය නොහැකි විචිත‍්‍රත්වය හා ශාන්ත සුන්දර සුවදායක බව විසින් නුවරඑළියේම පහළ පන්තියේ ජනතාවගේ දුක සදාකල් වසා තබා ගන්නා නිසාය. සැබවින්ම මේ නිවාස ඇත්තේ අපි කවුරුත් යන එන නුවරඑළිය නගරයේ ඇස ගැටෙන මායිමේය. සංචාරක පාරාදීසයක් වී පෙනෙන සංචාරක හෝටල් බහුල ප‍්‍රදේශයකය. යුනික් විව් සිංගල් ටී‍්‍ර (single tree) කඳුපාමුල බෑවුමේ ඉදිකර ඇති මේ පැල්පත් සමූහය දෙස බලන්න. මේ අවිධිමත් අනවසර නිවාස ඉදිකර ඇත්තේ අවදානම් කඳු බෑවුමක ය. එය සංවේදී ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙසද නම් කර ඇත.

නුවරඑළිය තුරඟතරඟ පිටිය ආසන්නයේ සංචාරක මධ්‍යස්ථානයට යාබද තවත් පැල්පත් සමූහයක් ඉදිකර ඇත. ඒ හැරුණු විට නුවරඑළිය නගරයට පිවිසෙන බඹරකැලේ පී, ඩබ්ලිව්. ඞී. (P’W’D) ලී ගෙවල් සමූහයද nuwaraeliye නුවරඑළියෙ ලස්සන අවතක්සේරු කරවන තවත් පැල්පත් ගණයේ නිවාස සමූහයකි.

ඡායාරූපවලින් පෙන්වන මෙබඳු නිවාස 600ත් 800ත් අතර ප‍්‍රමාණයක් නුවරඑළියෙ තැනින් තැන විසිර තිබේ. ගොඩනැගිලිවලින් ඉවත් කරන ලද ලී දඬු පිටපලූ ලෑලි එකට අමුණා සැකිලි සකස් කොට තාර ෂීට්වලින් හෝ ඉටිරෙදිවලින් හෝ තාර බැරල් තහඩුවලින් ආවරණය කර මෙම නිවාස ඉදිකර ඇත. ටකරං හෝ ඇස්බැස්ටස් කෑලි වහලට හෙවිල්ලූ මෙබඳු පැල්පත් ද නැතුවා නොවේ.

ඉතා කුඩා ප‍්‍රමාණයේ මෙවන් පුංචි පැල්පතක පවුල් දෙක තුනක්් ජීවත් වීම කොතරම් පුදුමයක් ද. නුවරඑළියට හොඳින් හිරු පායන විටක මෙම නිවාසවල රාත‍්‍රී කාලයේ එකට ගුළි වී ජීවත්වීම පුදුමයක් නොවූවත් මෙබඳු වැසි සමයක එවන් පැල්පතක හිරවී රැයක් පහන් කිරීම කෙබඳු පවක් පලදීමෙන් සිදුවිය හැකි යැයි සිතිය හැකිද…

සීතලට ගිනිමැලයක් ගසා ගන්නට තබා හාල් මිටක් පරිප්පු ඇටයක් උයා පිහා ගන්නට ලිපක් පත්තු කිරීම පවා මේ තෙතබරියන් පැල්පත් ඇතුලේ මහත් විස්මයජනක කාරණාවකි. උයා පිහා ගන්නට බැරි තැන කඩෙන් ගේන පාන් කෑල්ල පොඟවාගෙන කන්නට කහට ඩිංගක් රත්කර ගැනීම පවා වැසි කාලේ මේ පැල්පත්වලට වෙනමම අභියෝගයකි. ඌරන් කුකුලන් ඇතිකරන්නට පවා නොහැකි මේ භයානක පැල්පත්වල වැසි දිනවල පවා මිනිසුන් ජීවත්වන බව ඔබ දන්නෙහිද … වැසි දිනවල නායයෑම් සුලං වැසි බහුල නුවරඑළියේ මෙබඳු පැල්පත් වාසීන්ගේ ජීවිත ඇත්තේ මොන තරම් අවදානමකද..

ඇතැම් විට මේ නිවාසවල ජීවත්වෙන්නේ මහනගර සභාවේ කුණු කරත්ත තල්ලූකරන, පාර අතුගාන කම්කරුවන්ය. රෝහල්වල වැසිකිළි කැසිකිළි පිරිසුදු කරන අනියම් සුළු සේවකයන්ය. නුවරඑළියේ එළවළු පලතුරු මල්වතුවල දවසේ කුලී වැඩ කරන කම්කරුවන්ය. උයන් වතුවල පැය ගානට සේවය කරන ශ‍්‍රමිකයන්ය.

නුවරඑළිය ලස්සන කරන ලස්සන මල්වතුවල, උයන්වල මල්වලට පාට ලැබෙන්නේ ඔවුන්ගේ මහන්සිය නිසාය. ජනාධිපති මන්දිරය, ගෝල්ෆ් පිටිය, නුවරඑළිය මල්වත්ත වැනි තැන්වල යෝධ තණපිටිවල හරිත පැහැය රැකෙන්නේ ඔවුන්ගේ දහඩිය කඳුළු නිසාය. නුවරඑළිය ලස්සන කරන්නටත් පිරිසුදු කරන්නටත් නිතිපතා වෙහෙසෙන මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත මේ තරම් අවලස්සන වී ඇත්තේ කවර හේතුවක් නිසාද..

සංසාරය පුරා රැස් කරගෙන පැමිණෙන අකුසල් නිසා ද… එසේ නොමැති නම් ඔවුන්ට ජීවත්වීමට ඇති අවම අයිතිවාසිකම් හා පහසුකම් පවා ලබා නොදෙන දේශපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ ඇති නොහැකියාව නිසාද.. නොසැලකිල්ල නිසාද. ඒත් නැතිනම් ඔවුන්ගේ වගකීම් විරහිත වැඩපිළිවෙළ නිසාද…?

ඒ බොහෝ වැරදිවලට ඒ බොහෝ අඩුපාඩුවලට හේතුව පක්ෂ දේශපාලනය බව අපට දැකගත හැකි විය.

නුවරඑළියේ ජීවත්වන දහසකට මදක් වැඩි වූ අනවසර පැල්පත්වාසීන්ගේ ප‍්‍රශ්නය විසඳන්නට මීට පෙර පැවති මහනගර සභාව නිවාස අධිකාරියේ ද මඟ පෙන්වීම මත ‘‘ ඕෂන් විව් නිවාස යෝජනා ක‍්‍රමය” නමින් සංවර්ධන සැලැස්මක් අනුමත කළේය. පවුල් 1200ක් සඳහා නිවාස ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. එපමණක්ද නොවේ. සංවේදී අන්තරායකාරී ස්ථානවල පැල්පත් තනාගෙන ජීවත්වන අනවසර පදිංචිකරුවන් ඒවායින් ඉවත්කර නුවරඑළිය හැබෑ හරිත නගරයක් බවට පත් කිරීම එම ව්‍යාපෘතියේ වඩාත් වැදගත්ම අරමුණ වූ බව පැහැදිලිය.

එහෙත් හැම හොඳ දෙයකටම විරුද්ධවන ප‍්‍රතිවිරුද්ධ දේශපාලනය එම ව්‍යාපෘතියට ද හරස් විය. ඉන්පසුව බලයට ආ මහනගර සභාවේ පාලනාධිකාරිය බමඅ්ර්ැකසහ් හරිත නගරයක් බවට පත් කිරීමේ එම ව්‍යාපෘතිය අතහැර දැමුවේය. ඊට අනුමතව තිබූ රුපියල් කෝටි 35කට වැඩි මුදලක් ආපසු හැරී ගියේ ඒ අනුවය.

අද වන විට මේ පිළිබඳව PC$NE$B$NEMC$2021/2 නම් අංකයෙන් යුතු පැමිණිල්ලක්ද නුවරඑළිය නාගරික කොමසාරිස් වෙත ඉදිරිපත් කර අවසන්ය.

නුවරඑළියේ ලස්සන බලන්නට එන දෙස් විදෙස් සංචාරකයන්ට ලස්සන නුවරඑළියක් පෙන්නන්නට වෙහෙසෙන සේවකයන්, කම්කරුවන් මෙලෙස අපා දුක් විඳිමින් අනාරක්ෂිත පරිසරවල ජීවත්වෙද්දී උණුසුම් කාමර ඇතුළේ ඕමාර් ඛයියාම්ගේ ‘‘රුබයියාට්” ක‍්‍රමයට ජීවත්වන පාලකයන්ට කෙසේ නම් ඒ දුක දැනෙන්නේ ද…?

විස්තර, වාර්තා හා ඡායාරූප-නාලක රත්නායක
බුලිත ප‍්‍රදීප් කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here