ඉන්දියාවේ ලොකුම ධනවතා වූ අදානිගේ ව්‍යාපාර

0

ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යවසායකයකු වන ගෞතම් අදානි ගැන, ශ්‍රී ලාංකීය ජනතාව අතර වැඩි අවධානයක් යොමු වූයේ කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය නිසාය. අදානි ගෲප් හෙවත් අදානිගේ ව්‍යාපාර ජාලයට අදාළව මෙම කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ ව්‍යාපෘතියෙහි මෙහෙයුම් කටයුතු සිදු කිරීමට යන හේතු කාරණා මුල් කරගෙන විවිධ මතවාද-විවාද පසුගිය දිනවල අපට අසන්නට ලැබුණි. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අප කරුණු විස්තර කිරීමට සූදානම් වන්නේ 2021 නොවැම්බරයේදී ආසියාවේ අංක එකට පැමිණි ‘ගෞතම් අදානි’ නම් වූ මේ ප්‍රකෝටිපතියා ගැන මෙන්ම ඔහුගේ ව්‍යාපාර ගැනය.

‘අදානි’ පෙරට ඒමත් සමග මුකේෂ් අම්බානිට මොකද වෙන්නෙ? එතකොට ආසියාවේ අංක එකේ පොහොසතා කවුද? බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ විස්තර යාවත්කාලීන කෙරෙන දර්ශකයට අනුව ආසියාවේ අංක එකේ ධනවතා ලෙස පසුවූ මුකේෂ් අම්බානි අභිබවා යමින් මේ අදානි පෙරට ආ බව සඳහන් වේ. වාර්තාවලට අනුව 2021 දී අදානිගේ ධනය ඩොලර් බිලියන 55.3කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්ය. ආසියාවේ ධනවත්ම පුද්ගලයින් අතරින් චීනයේ අංක එකේ පසුවන ෂොන් ෂන්ෂාන් පවා අභිබවා යමින් පෙරමුණට ආ මේ අදානි කවුද? මොනවද කරන්නෙ?

ගෞතම් ශාන්තිලාල් අදානි   

ගෞතම් ශාන්තිලාල් අදානි උපත ලැබුවේ 1962 ජුනි 24දා ගුජරාටි පළාතේ අහමදාබාද් නුවරදීය. ඒ මධ්‍යම පාංතික ජෛන පවුලකට අයත් දරුවකු ලෙසය. ගෞතම්ගේ කුඩා කාලයේදීම ඔහු සහ ඔහුගේ සහෝදර සහෝදරියන් සමග අහමදාබාද් නුවර අතැර ගුජරාටයේ උතුරු පෙදෙසේ තාරද් (Tharad) වෙත යාමට සිවූයේ මව්පියන් පදිංචිය වෙනස් කළ නිසාවෙනි. ‘අදානි’ පවුලේ ගෘහමූලිකයා වූ ඔවුනගේ පියා එවකට කළේ සාමාන්‍ය රෙදිපිළි වෙළඳාමකි. ගෞතම් මුලින්ම පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ අහමදාබාද්හි ෂෙක් චිමන්ලාල් නාගින්දාස් විද්‍යාලයෙනි.

ඉනික්බිතිව ගුජරාටි සරසවියට ඔහු ඇතුළත්වී සිටියේ වාණිජ අංශයේ උපාධිය ලබා ගැනීම වෙනුවෙනි. නමුදු දෙවැනි වසරේදී ඔහු සරසවි අධ්‍යාපනය හැර ගියේ ව්‍යාපාර කෙරෙහි සිත යොමුව තිබූ බැවිනි. එහෙත් ඒ තාත්තා කළ ව්‍යාපාරය කෙරෙහි නම් නොවීය. බොහෝ විට පුතුන් කරන්නේ තම පියා කරගෙන ගිය බිස්නස් එක කරගෙන යාම වුවද ‘ගෞතම්’ ගේ දැක්ම එලෙසින් නොවීය. වයස 18 දී ඉලක්කයක් අරමුණු කරගෙන ඔහු අහමදාබාදය අතැර මුම්බායි (එවකට බොම්බේ) වෙත ආයේය. ඒ එනවිට ඔහු අත තිබුණේ රුපියල් ‘සියයක්’ යැයි වාර්තාවල සඳහන්වේ.

මුදල කුඩා වුවද ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය ඉතා විශාල වූවක් විය. බොම්බෙට ඇවිත් රස්සාවක් නොකර ජීවත්වීම කළ හැකි දෙයක් නොවූ බැවින් ඔහු වහාම රස්සාවක් හොයා ගත්තේය. මුම්බායි නුවර ජුවලරි සාප්පුවක දියමන්ති තෝරන්නෙකු ලෙස ඉතාම සුළුවෙන් රස්සාවකට අවතීර්ණ වී සිටියේය. ‘මහේන්ද්‍රා බ්‍රදර්ස්’ යනු එම ජුවලරි සාප්පුවය. මැණික් ගල් අතරින් දියමන්ති ​තෝරමින් සිටි මේ නව යොවුන් තරුණයා, දියමන්ති මෙන්ම ස්වර්ණාභරණ ගැන බොහෝ දේ දැන ගත්තේ ඔහු හට තිබූ ඉගෙනීමේ උනන්දුව නිසාය.

සැබැවින්ම දියමන්ති තෝරමින් සිටි මේ ‘කොල්ලා’ හට වසරක් දෙකක් යාමට මත්තෙන් තමාගේ තරුණ ජීවිතය දීප්තිමත් කර ගැනීමට හැකිවූයේ දියමන්ති අලෙවි කිරීමේ බ්‍රෝකර්වරයකු ලෙස ඔහුගේම බිස්නස් එකකට අවතීර්ණ වීමත් සමගය. ඔහු ඒ ව්‍යාපාරික කටයුතු කරගෙන ගියේ මුම්බායි නුවර ප්‍රකටව ඇති ‘Zavar Bazaar’ හිදීය. ගෞතම්ගේ ‘දියමන්ති’ වැ​ඩේ එන්න එන්නම සාර්ථක විය.

මේ වනවිට ගෞතම්ගේ වැඩිමහල් සහෝදරයා වන ‘මන්සුඛ්භායි’ පුංචි ප්ලාස්ටික් කම්හලක් පවත්වාගෙන යමින් සිටියේය. මල්ලිගේ ශූර ව්‍යාපාරික ඥාණය ගැන ඉවක් තිබූ අයියා මේ වැඩේ සාර්ථක කර ගැනීමට මල්ලී සිටියොත් හොඳ යැයි විශ්වාස කළේය.

මල්ලි ඔයා මගේ ෆැක්ටරි එක කළමනාකරණය කර දෙන්න අහමදාබාද්වලට එන්නකො’ යැයි අය්යා මුම්බායි සිටි මල්ලි හට කීවේය. අවුරුදු 20 පසුවු ‘ගෞතම්’ තුරුණු ව්‍යාපාරිකයා ඒ වනවිටත් මිලියනපතියකු වී සිටියේ දියමන්ති අලෙවි බිස්නස් එක නිසාය. අයියාගේ කීම පිළිගෙන අහමදාබාද් නුවරට ආ ‘ගෞතම්’ හට අයියාගේ ප්ලාස්ටික් ෆැක්ටරියට නව ප්‍රාණයක් ලබාදීමට හැකිවූයේ අලුත් සංකල්පයකට ගිය නිසාය. ‘මේ වැඩේ සාර්ථක කර ගන්න නම්, රට ඇතුළෙම හිරවෙලා ඉඳල වැඩක් නැහැ’ යැයි ගෞතම් විශ්වාස කළේය. ප්ලාස්ටික් (PVC) අමු ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගත්තේ එහි ඵලයක් ලෙසය. ඒ වෙනුවෙන් ඔහු දකුණු කොරියාවටද ගියේය.

මිඩාස් සමානයි අදානි   

ග්‍රීක පුරාවෘත්තයේ එන මිඩාස් රජු ගැන ඔබ අසා තිබේද? මිඩාස් රජු යනු අත තැබූ සියල්ල රන් බවට හැරවූවෙකු යැයි ග්‍රීක පුරාවෘත්තයන්හි සඳහන්වේ. එය වාසනාව ගෙන දෙන්නක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරති. මේ ‘අදානි’ත් එකතකට ‘මිඩාස්’ මෙනි. අත තැබූ සියල්ල එනම් ඔහු පටන් ගත් සියල්ල සාර්ථක වුණි. 1985 වනවිට ‘අදානි’ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙමින් සිටියේ කුඩා ප්‍රමාණයේ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා අමු ද්‍රව්‍ය ආනයනය කරදීමේ ව්‍යාපාරය නිසාය. මේ වැඩේද ඉතා සාර්ථක වුණි. තවත් වසර තුනක් ඉක්මවූ පසු ‘ගෞතම් අදානි’ තම රටේ නිෂ්පාදන පිටරටට යවන සමාගම පටන් ගත්තේ ලෝකයෙන් විදේශ විනිමය ගලා එන ව්‍යාපාරයක් බවට පත් කරවමිනි. එය නම් කළේ අදානි එක්ස්පෝර්ට් නමිනි.

පසුව එය අදානි එන්ටර්ප්‍රයිසස් ලෙස වෙනස් විය. අදානිගේ ව්‍යාපාරය සමූහයක් නොඑසේ නම් ජාලයක් බවට පත්වීමේ මුල එය වූ බව සඳහන් කළ හැකිය. කෘෂිකාර්මික භාණ්ඩ හා බලශක්ති මත මෙය මුලදී ස්ථාවරව තිබී පසුව තව තවත් අංශ කරා විහිදී පැතිරී ගිය සමාගමක් බවට පත්වී ‘අදානි ගෲප්’ බවට පත්විණි.

‘1991’ මහා ධන ස්ථාවරයක් ළඟාකර ගැනීම   

1991 දී නිදහස් ආර්ථික ප්‍රතිසංස්කරණ ව්‍යුහයක් ඉන්දියාවේ ඇතිවීමත් සමග අදානිගේ ව්‍යාපාර ජාලයට ලැබුණේ සුවිශාල සහනයකි. මෙම ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ඔහුගේ ව්‍යාපාර ජාලය වඩාත් ලාබ ලැබීමේ සමූහයක් බවට හැරවුණි.

මුන්ද්‍රා වරාය ඇල්ලීම   

‘ගෞතම් අදානි’ යනු එකතකට දේශ ගවේෂකයකු මෙනි. දේශගවේෂකයා රටින්-රට තොටින් තොටට ගොස් නව ස්ථාන සොයා ගනී. අදානි රටින්-රටට තොටින්-තොටට ගියේ නගර සොයා ගැනීමට නොවේය. ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් නගර ඇල්ලීමටය. 1993 දී ගුජරාටි රජය විසින් මුන්ද්‍රා වරාය පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික සමාගම්වලට ආරාධනා කර තිබිණි. එම කොන්ත්‍රාත්තුවට අදානි ගෲප් තරග කළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මහ බල කණු සමගය. ඒ සියලු දෙනා අතරින් මුන්ද්‍රා වරායේ ජැටිය කළමනාකරණය කිරීමේ සහ මෙහෙයුම් කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණේ අදානි සමූහය වෙතය.

පසුව මේ වරායෙහි සියලු කළමනාකරණ කටයුතු සඳහා වගකීම පැවරුණේ අදානි වරාය කටයුතු සහ විශේෂ ආර්ථික කලාපය ලෙස ස්ථාපිත වූ අදානිගේ (APSEZ) වෙතය. වරාය කටයුතු යනු රටක හදවත යැයි කියා කියන්නේ එමගින් සුවිශාල ධනයක් ඉපයිය හැකි නිසාය. එනයින් මුන්ද්‍රා වරායේ ජැටියක් තම ව්‍යාපාරයට නතුකර ගැනීමට හැකිවීම මගින් ‘අදානි’ හට ගලා ආවේ මුදල් සාගරයකි.

බලශක්ති ව්‍යාපාරය  

වරායේ බිස්නස් එකෙන් නොනැවතුණු ‘අදානි’ ඊළඟට අත ගැසුවේ බලශක්ති ව්‍යාපාරයටය. අදානි සමූහයට අයත්ව, අදානි පවර් ලිමිටඩ් එනයින් ස්ථාපිත කළේ 1996 වසරේදිය. එතැනින්ද නොනැවතී පෙරට ගිය අදානි පතල් කැණීම් ව්‍යාපාරයද ස්ථාපිත කළේය. ඒ අනුව අදානි ගෲප් (සමූහය) යටතේ අදානි එන්ටප්‍රයිසස් අදානි වරාය නගර කටයුතු (SEZ) හරිත බලශක්ති, විදුලි සම්ප්‍රේෂණ, ගෑස්, යන විවිධ අංශ කරා පැතිරී විහිදී ගිය ව්‍යාපාර ජාලයට අමතරව ‘අදානි’ ඔස්ට්‍රේලියාව ඇල්ලුවේ උතුරු ක්වීන්ස්ලන්තයේ අපනයන කටයුතු සඳහා භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් ඉදිවූ ගුවන් පර්යන්තයේ මෙහෙයුම් සියතට ගැනීමත් සමඟය. ‘ඉතින් එහෙව් එකේ අදානි හට ලංකාවේ කොළඹ වරායේ ජැටියක් ඇල්ලීම මහ කජ්ජක්ද කියා යමෙකුට සිතිය හැකිය.’ නමුදු ප්‍රශ්නය වන්නේ රටට මුදල් සම්භාරයක් ගෙන දෙන කොළඹ වරායේ ස්ථානයක් පෞද්ගලික අංශයකට දිය යුතුද යන කාරණය නිසාය. එය ආර්ථික විශේෂඥයින් හට විසඳීමට ඉඩ තබා අදානිගේ පෞද්ගලික ජීවිතය මොන වගේද කියා අපි බලමු.

අදානි කවුද? 

ගෞතම් අදානිගේ මෙතෙක් ගෙවූ ජීවිතය දිහා විපරම් කර බලද්දි දෙවතාවකදීම ඔහුගේ ජීවිතය බේරුණේ වාසනාවකට මෙනි. දිනෙන් දින ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පෙරට එමින් සිටියදී ඔහුට ඊර්ෂා කළ අයද නොසිටියාම නොවේ. 1997 දිනෙක එක්තරා කණ්ඩායමක් අදානිව පැහැරගෙන ගොස් ඉන්දීය රුපියල් කෝටි 11ක පමණ කප්පමක් ඉල්ලා ඔහු ප්‍රාණ ඇපයට තබාගෙන සිටි බව සඳහන්වේ.

‘මගේ ජීවිතයේ ඉතා අවාසනාවන්ත සිදුවීම් දෙක තුනකටම මුහුණදී තිබෙනවා. ඉන් එකක් වන්නේ මා පැහැරගන යාමයි.’

එදා පා’තාලයකු විසින් ඔහු පැ”හැරගෙන ගිය මොහොත ඔහු හට ගෙන දුන්නේ භී’තියකි. ඔහු ඒ ගැන ලන්ඩන් ෆයිනෑන්ෂියල් පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ එලෙසිනි. කෙසේ වුවද එදා කොල්ලකරුවන්ට සතයක් හෝ නොගෙවා ඔහුට ජීවිතය ගලවා ගැනීමට හැකිවිණි.

2008 නොවැම්බර් 26 දා මුම්බායිහි සිදුවූ ත්‍”රස්ත ප්‍”රහාරය ඔබට මතකද? එදින සුප්‍රකට ටාජ් හෝටලයේ සිට තවත් ව්‍යාපාරික හිතවතකු සමග රාත්‍රි ආහාරය ගනිමින් සිටියේය. ත්‍ර’ස්තයින් වෙ’ඩි තබන අයුරු ඒ මොහොතේ ඔහුට සියැසින්ම දැකගත හැකිවිය. එය කෙතරම් නම් භ’යංකර අවස්ථාවක් වීද යත් හෝටලයේ සිටි පිරිස ජීවිත බේරා ගැනීම වෙනුවෙන් හිස් ලූ ලූ අත දිව ගියේ සැඟවෙන්නට තැනක් සොයමිනි. අදානි ද එලෙසින් ඒ සිදුවීමට මුහුණ දුන් අතර පසුදා උදෑසන කොමාන්ඩෝ භට පිරිස විසින් මුම්බායි හෝටලයේ සිරවී සිටි පිරිස බේරා ගන්නා තෙක් ‘අදානි’ හට සිදුවූයේ දෙවියන් හට යාඥා කරමින් සිටීමට පමණය. එදා සැබැවින්ම ඔහුගේ ජීවිතය බේරුණේ තව දුරටත් ජීවත්වීමට තිබූ පෙර පින නිසාමය. ‘මම එදා අඩි 15ක් දුරින් ම’රණය දුටුවෙමි’. පසුව අදානි පවසා තිබුණේ එලෙසිනි.

අදානිට ‘ආදරය’ ගෙනා ප්‍රීති අදානි  

ගෞතම් අදානි විවාහවී සිටින්නේ ප්‍රීති (Priti) අදානි සමගය. ඇය දන්ත වෛද්‍යවරියකි. මුම්බායි හි උපත ලද ඇය ගුජරාටි පවුලකට අයත් තැනැත්තියකි. 1996 දී ‘අදානි පදනම’ පිහිටුවීමත් සමග ඇය එහි සභාපතිනිය ලෙස පත් කෙරුණි. මෙම පදනම මගින් අධ්‍යාපනය, ප්‍රජා සෞඛ්‍යය, ප්‍රජා යටිතල පහසුකම්, තිරසාර ජීවනෝපාය යන අංශ මුල්කරගෙන උදවු අවැසි ඉන්දීය ප්‍රජාව වෙනුවෙන් බොහෝ සමාජ සත්කාර, උපකාර සිදුකරන බව කිව හැකිය. මුලදි මුන්ද්‍රා අවට ගම්මාන සඳහා ආධාර උපකාර සිදුකළ අතර දැන් ඉන්දියාවේ ප්‍රාන්ත 20 කට ආසන්න සංඛ්‍යාවක ගම්මාන දෙදහසකට එහා සංඛ්‍යාවක ජීවත්වන ජනතාවගේ ජීවනෝපායික මාර්ග සඳහා ප්‍රතිපාදන ලබාදෙන ලාබ නොලබන ආයතනයකි.

මේ මහා දානපති යුවළ එනම් ගෞතම් සහ ප්‍රීති අදානි යුවළට පුතුන් දෙදෙනෙකු වෙයි. කරන් (Karan) සහ ජිත් (Jeet) යනු ඒ දෙදෙනාය. ෆෝබ්ස් සඟරාව කරන්ව නම් කර ඇත්තේ අනාගත ධන කුවේරයින්ගේ ලැයිස්තුවටය. ‘ගෞතම් අදානි’ යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සමීපතමයකු ලෙස පුවත් වාර්තාවල සඳහන් වේ. අගමැති ආරක්ෂණ අරමුදල සඳහා ඉන්දීය රුපියල් කෝටි 100ක් කොරෝනා වෛරසයට එරෙහිව බොහෝ දේ සොයා ගැනීම් වෙනුවෙන් එම අරමුදල ලබා දුන් බව සඳහන් වේ. ‘අදානි’ යනු කොහොමටත් මෙලෙසින් දානපතිත්වයට මුල්වූ ඉන්දියාවේ මුල් පෙළේ ව්‍යවසායකයෙකි.

‘යහපත්කම දියුණුව සහ වර්ධනය උදෙසා අනිවාර්යය වූ ගුණයකි’ යනු ගෞතම් අදානිගේ පරමාදර්ශි අදහස වේ. අතරමගදි සරසවි ජීවිතයත් හැර දමා හයිද්‍රාබාද්හි සිට මුම්බායි වෙත එදා පලා ගිය කොලු ගැටයා ගිය දුර හරි පුදුමයක් නොවන්නේ ඔහුගේ පෙර පින වාසනාව හෝ දෛවය නිසාම නොවේය. අප්‍රතිහත ධෛර්ය හා දැක්ම නිසාය. ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පත ඇතුළු ලෝකයේ ව්‍යාපාර පුවත් පළ කරන පුවත්පත් සඳහන් කර ඇත්තේ මෙම නොවැම්බරයේදී ‘අදානි’ ආසියාවේ අංක එකේ ධනවතා වූ බවය. මෙතෙක් ඒ කිරුළ දරාගෙන සිටියේද ඉන්දියාවේ ‘මුකේෂ් අම්බානිය’. අම්බානි දෙවැනියා වීම ගැන අම්බානිට අද මොනවා හිතෙනවා ඇතිද? අදානි අංක එකට ඒම ගැන අදානිට මොනවා හිතෙනවා ඇතිද?

දකුණු ආසියානුවන් ලෙස ඔවුනට එය ආඩම්බර විය හැකි දෙයකි. යම්කිසි ලෙසකින් දකුණු ආසියානු කලාපයේ රටවල් තුන්වැනි ලෝකයේ රටවල් නොවී ආර්ථිකමය වශයෙන් ශක්තිමත් රටවල් ලෙස පවතී නම් අදානි හට අම්බානි හට සමස්ත දකුණු ආසියානුවන් සමග එක්වී ඒ සතුට රිසිසේ විඳගත හැකි නොවේද?

පරිවර්තන සටහන : සඳුන් ගමගේ ( ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියකි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here