අනූවසරක අතීතයේ සිට ලංකාව ගත් ණය කන්ද

0

දශක ගණනාවක සිටම ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගැනීම නිසා මේ වන විට රට ඉසිලිය නොහැකි ණය කන්දකට යට වී තිබේ. බලයට පැමිණෙන සෑම රජයක්ම රට ණයවීම පිළිබඳව පෙර පැවැති රජයට චෝ’දනා එල්ල කිරීම සිරිත වී ඇත. එහෙත් බලයට පැමිණීමෙන් පසු විවිධ කටයුතු සඳහා විදේශ ණය ලබා ගැනීම නිසා ලබාගත් ණය මුදල්වලට පොලී ගෙවාගත නොහැකි තත්ත්වයක් ද දැන් උද‌ා වී තිබේ.

ශ්‍රී ලංකාව මේ වන විට දැරිය නොහැකි ණය කන්දකට යට වී තිබේ. වසර ගණනාවක් තිස්සේ වරින්වර ලබාගෙන ඇති විදේශ මුදල්වලට පොලිය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් ද දැන් උද‌ා වී ඇත. විවිධ රටවල් සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (INTERNATIONAL MONETARY FUND) මගින් ණය ලබා ගැනීම සාමාන්‍ය සිරිත වී ඇත.

විශේෂයෙන් ණය ලබා ගැනීමේ ප්‍රධාන රටක් ලෙස ශ්‍රී ලංකාව මහත් ප්‍රසිද්ධියට පත් වී තිබේ. රට සංවර්ධනය කිරීමට ණය මුදල් ලබා ගැනීමේ ඉතිහාසය වසර අනූවකටත් වැඩි බැව් ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති ආකාරය විමර්ශනය කිරීමේ දී දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ණය මුදලක් ඉල්ලුම් කරන ලද්දේ 1863 වසරේදීය. ලංකාව සංවර්ධනය කිරීම සඳහා තේ සහ කෝපි වගා කිරීමටත් ඒවා ප්‍රවාහනය සඳහාත් දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහාත් එම ණය මුදල ලබා ගැනීමට තීරණය විය. ඒ අනුව ඉල්ලුම් කළ මුදල පවුම් මිලියනයක් බැව් කියති.

එද‌ා එම ණය මුදල ලබාදීම සඳහා බ්‍රිතාන්‍යය අනුගමනය කළ ක්‍රියා මාර්ගය පැහැදිලිව දක්වා තිබිණි. කිසියම් ව්‍යාපෘතියක් සඳහා ගනු ලබන ණය මුදල් එම ව්‍යාපෘතිය මගින්ම ආපසු ගෙවිය යුතු බවය. ඒ සමගම එය වසර පහකින් ගෙවා නිම කළ යුතු බව ද දන්වා තිබිණ. ඒ අයුරින්ම එම ණය මුදල හරියටම වසර පහකින් ගෙවා නිම කිරීමට ද ලංකාණ්ඩුව ක්‍රියා කළේය. එය කළ හැකි වූයේ ණය මුදල ඉල්ලුම් කිරීමත් සමගම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමය. දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පළමු පස් පිඩැල්ල කැපීම සිදුවූයේ 1858 අගෝස්තු 3 වනද‌ා බැව් ද සඳහන් වී ඇත.

ඒ වන විට උඩරට තේ සහ කෝපි වගාවන් ආරම්භ කිරීමට කටයුතු යොද‌ා තිබිණි. 1837 සහ 1841 වසරවල දී ඒ සඳහා ඉඩම් ලබා දීම ද සිදුකර තිබිණි. ශ්‍රී ලංකාවේ එම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා විදේශීය සමාගමක් පවුම් විසිලක්ෂයක් පමණ ඉල්ලා තිබිණ. එහෙත් එය ආණ්ඩුවේ පාලනය යටතේ සිදු කිරීමට පවුම් දහතුන් ලක්ෂයකින් පමණ ඉදිකර ගැනීමට හැකි වූ බව ද කියති.

මේ අයුරින් මහනුවර සහ කොළඹ අතර දුම්රිය මාර්ගය ඉදිකර ගැනීමෙන් පසු ආර්ථිකයට නව නැම්මක් ඇතිකර ගැනීමට පාලක පක්ෂයට හැකියාව ලැබිණි. පසුව මහනුවර සිට ගම්පොළ දක්වාත් දුම්රිය මාර්ගය දිගුකර ගැනීමට කටයුතු යෙදීය. ඒ වන විට විදේශිකයන් විසින් වගාකර තිබූ තේ සහ කෝපි අක්කර ලක්ෂයකට ආසන්න විය. එහෙත් 1877 සිට 1883 දක්වා කාල පරිච්ඡේදය තරමක දුෂ්කර කාලයක් උදාවිය. එනම් කෝපි වගාවට දරුණු රෝගයක් වැලඳීමය. මේ නිසා කෝපි වගාව අ’ඩපණ වී යන විට විදේශිකයෝ කොකෝවා වගාව ද ආරම්භ කර එමගින් සංවර්ධනයක් ඇති කර ගැනීමට කටයුතු කළේය.

කෙසේ හෝ සේවා නිදහස ලබන විට විදේශවලින් ශ්‍රී ලංකාව ලබා ගෙන තිබූ ණය ප්‍රමාණය රුපියල් දශලක්ෂ 125 ක් වූ අතර එය ඒ වන විට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 17කට සීමා වී තිබිණි.

ශ්‍රී ලංකාවට ණය ආධාර ලැබීම සීඝ්‍රයෙන් ඉහළ ගියේ 1958 වසරෙන් පසුවය. චීනය, ඇමරිකාව, සෝවියට් දේශය සහ කැනඩාව වැනි රටවලින් ද වැඩි වශයෙන් ණය ආධාර ලැබිණි. 1950 සිට 1977 අතර කාලය තුළ දී විදේශ ණය ආධාර වර්ධනය වී 1976 වන විට රජයේ නොපියවූ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 16 ක් වූ බවත් ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 362 ක් පමණ වූ බවත් මහ බැංකු වාර්තාවලින් දක්නට ලැබිණි. 1977 න් පසුව විදේශ ණය ප්‍රමාණය අති සීඝ්‍රයෙන් තවත් ඉහළ ගියේය.

වාරිමාර්ග කෘෂිකර්ම සහ විදුලිබල ව්‍යාපෘති සඳහා වන විට ණය ප්‍රමාණය ඉහළ ගොස් ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 19648 විය. 1997 ජූනි මාසය වන විට ලෝක බැංකුව මගින් විවිධ අංශ යටතේ ණය මුදල් ප්‍රදානය කළ කළ අතර එය ඇමරිකානු ඩොලර් දශලක්ෂ එක්දහස් නමසීයයක් පමණ වූ බැව් ද වාර්තා විය. 2000 වසර වන විට එය රුපියල් දශලක්ෂ 676045 ක් වූ අතර 2004 වන විට රුපියල් දශලක්ෂ 1119090 ක් බවට පත්වී ඇත. මේ අයුරින් රජය දැන් මුහුණ දී සිටින විදේශ ණය පිළිබඳව පසුගිය මහ බැංකු වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙසේය.

2020 වසර අගවන විට නොපිය වූ විදේශීය සහනදායි ණය ප්‍රමාණය 2019 වසර අගවන විට පැවැති රුපියල් බිලියන 2967.5 සිට රුපියල් බිලියන 2988.1 දක්වා සියයට 8 කින් වැඩි වූ අතර එය සමස්ත විදේශීය ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 2019 වසර අගවන විට පැවැති සියයට 44.6 සාපේක්ෂව 2020 වසර අගවන විට සියයට 49.4 ක් විය’ යනුවෙනි.

මේ අතර විවිධ ව්‍යාපෘති අතරමග නතර කිරීම නිසා ඩොලර් මිලියන 500 ක් ගෙවීමට සිදුවී ඇති බවක් පසුගිය ඉරිද‌ා ලංකාදීපය මගින් අනාවරණය කර තිබිණ.

රටට බලපා ඇති ණය වීම පිළිබඳව පැවැති සෑම රජයක්ම බලයට පත්වීමෙන් පසු පෙන්වාදීම සිරිතය. ඒ සෑම අවස්ථාවකදීම පෙර පැවැති රජයන් මගින් ගත් ණය නිසා රට ණය කන්දකට යට වී ඇති බැව් ප්‍රකාශ කරති. එහෙත් බලයට පැමිණීමෙන් පසුව නැවත නැවත ණය ගැනීම් නිසා ණය කන්ද තව තවත් විශාල වීම ද නොවැළැක්විය හැකිය.

අප රට පත්වී ඇති ණය බර පිළිබඳව ප්‍රථම වරට අනාවරණයක් සිදු කළ හිටපු මුදල් ඇමැතිවරයෙකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඔහුගේ ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේ දී අනාවරණය කළේ ණය බරින් රට බං’කොලොත් වී ඇති බවය. ඔහු එම ප්‍රකාශය කළේ ද පෙර පැවැති රජය මගින් සිදු කළ ක්‍රියා මාර්ග නිසා ඒ තත්ත්වය ඇති වූ බවය. එද‌ා 1970 ජූනි මාසයේ දී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සිදු කළ ප්‍රකාශය එවකට පැවැති දවස පුවත්පත වාර්තා කළේ මෙසේය.

මුදල් ඇමැති භාණ්ඩාගාරයේ දොර ඇර පෙන්වයි. ණය බරින් රට බංකොලොත් ජයග්‍රාහී සමගි පෙරමුණු රජයට පරාජිත රජය බංකොලොත් භාණ්ඩාගාරයක් ඉතිරි කර ගොස් ඇතැයි ද ඒ සමගම රටේ ජනතාව අඳුරු අනාගතයකට යොමුකර එම රජය චුත වී ගොස් ඇතැයි ද නව මුදල් ඇමැති ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා ප්‍රකාශ කරයි. 1969 – 70 වර්ෂය සඳහා රජයේ වියදම රුපියල් තුන්සිය හැත්තෑ හත්කෝටි පනස් ලක්ෂයක් වන අතර ආදායම් ප්‍රමාණය වී ඇත්තේ රුපියල් දෙසිය හැත්තෑකෝටි පනස්ලක්ෂයක් බැව් කී මුදල් ඇමැතිවරයා ආද‌ායමට වඩා වියදම් ප්‍රමාණය රුපියල් 107 කෝටියක් වීම උහුලන්නට බැරි බරක් යයි ද පැවැසීය.

මෙම අතිවිශාල හිග මුදල පියවීම සඳහා පසුගිය රජය අය බදු මගින්වත් පියවරක් ගෙන නැත. ගෙන ඇති එකම පියවර විදේශීය බැංකු වලින් හා වෙනත් ආයතනවලින් ණය ආධාර ගෙන පරතරය පියවන්නට උත්සාහ දැරීම පමණක් බවත් මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.’ යනුවෙන් එහි සඳහන් විය. පනස් වසරකට පෙරත් අප රට මුහුණ දී තිබුණු ණය වීම මේ වන විට රටට කෙසේවත් ඉසිලිය නොහැකි තරමේ ණය කන්දක් බවට පත්වී තිබේ.

ණය ලබා ගැනීමට විරුද්ධවීමට විරුද්ධ පාර්ශ්ව මගින් නිතර ප්‍රකාශ නිකුත් කිරීම ද සිරිතය. එහෙත් ණය ලබා ගැනීම ද නොකඩවා සිදුවන ක්‍රියාවලියක් බවට පත්වී ඇත.

ශ්‍රී ලංකාව සංවර්ධන කාර්යයන් සඳහා ණය මුදලක් ඉල්ලීම නිසා මහත් ආනෝදා්ලනයක් ඇති වූ සිදුවීමක් 1929 වසරේ දී ඇතිවිය. එම ණය මුදල ලබා ගැනීමේ යෝජනාව ඉදිරිපත් වූයේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදීය. ණය ලබා ගැනීම සැලසුම් කර තිබුණේ එංගලන්තයේ ක්‍රවුන් ඒජන්ට් නම් සමාගමක් මගිනි. ණය මුදලේ ප්‍රමාණය වූයේ රුපියල් අටකෝටි පනස් ලක්ෂයක් පමණි.

එවකට පැවැති ව්‍යවස්ථා සභාවට ණය මුදල ලබා ගැනීමේ යෝජනාව ඉදිරිපත් වූ වහාම එයට මහත් විරුද්ධත්වයක් එල්ල විය. එම ණය මුදල ලබා ගැනීම නුසුදුසු කාර්යයක් ලෙස විරුද්ධත්වය පළ කළ පිරිසගේ අදහස විය. ඒ පිළිබඳ 1929 ඔක්තෝබර් 11 වනද‌ා එවකට පැවැති සරසවි සඳරැස පුවත්පත මගින් පළකර තිබූ ඒ පිළිබඳ ප්‍රවෘත්තියේ සඳහන් වූයේ මෙසේය.

ආණ්ඩුව ගන්නට යන ණය මුදල   

අපේ ආණ්ඩුව එංගලන්ත ආණ්ඩුවෙන් රුපියල් අටකෝටි පනස් ලක්ෂයක් ණය මුදලක් ගැනීමට අදහස් කරන බැව් සැලව තිබේ. මේ ගැන සලකා බැලිය යුතුය. දැන් ආණ්ඩුව මුදල් අතින් ඇතිවී තිබෙන අමාරුව මෙසේ ණය ගැනීමෙන් මඟහරවා ගැනීමට හැකිවේ යැයි සිතීමට ඉඩක් නැත. හැකිතරම් සකසුරුවම්කම නොයෙක් අතින් ඇතිකරගෙන ක්‍රියා කිරීම ණය ගැනීමට වඩා හැකි හැම අතින්ම යහපත් බැව් පෙනේ. මහජන මන්ත්‍රීවරයන් නොයෙක් අයුරින් වියදම් කපා හරින ලද්දේය. වැඩි බදු ඇති නොකර ණය නොගෙන රටේ පාලනය ගෙන යාම සඳහා මෙතරම් විශාල ණය මුදලක් නොගෙන ආණ්ඩුව ගෙන යාමට බැරිකමක් තිබේ යැයි සිතන්නට ඉඩක් නැත.’ යනුවෙනි.

තිස්ස ජයවර්ධන ( ඉරිදා ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here