වසර 51ක් බුලත් විටෙන් දිවි ජය ගත් මල්ලි මාමා

0

වසර 51ක් සේවකයන් 4 දෙනකු සමග දිනකට බුලත්විට 1000ක් අලෙවි කරන දෙදරු පියෙකු වත්තල හැඳල හන්දියෙන් වාර්තා වෙයි. මල්ලි මමා ලෙස ප්‍රදේශවාසීන් හඳුන්වන මොහුගේ නම සිසිල් හපුආරච්චිය. සිය ව්‍යාපාරය පිළිබඳව අරුණට අදහස් දැක්වූ ඔහු මෙසේ පැවසූවේය.

“මං බුලත් විට විකුණන රැකියාව ආරම්භ කළේ 1970දී. දැන් නම් රැකියාවට වසර 51ක් විතර වෙනවා. මා ඉගෙන ගත්තේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ අ.පො.ස. (සා. පෙළ) විභාගය තෙක් ඉගෙන ගත්තා. මගේ තාත්තා දොන් විල්ප්‍රඩ් හපුආරච්චි, දුම්රිය ස්ථානාධිපති කෙනෙක්. අම්මා සිසිල් හපුආරච්චි අපේ පවුලේ සහෝදරියන් දෙදෙනායි. මමයි, අයියායි.

මම පවුලේ බාලයා. තාත්තා කරපු රැකියාවට අමතරව අපව පෝෂණය කරන්න කුකුළු ගොවිපොළක් කෙරුවා. ඔය අතරේ මට බුලත්විට රැකියාවට හිත ගියා. එදා බුලත්විට ශත පහක් වුණාට අද රුපියල් 50 -60ක් විතර මිලක් වෙනවා.

හැඳල හන්දියේ පුංචි පෙට්ටි කඩයක බුලත්විට විකුණන ඔහු යටතේ සේවකයන් 8 දෙනකු සේවය කර දැනට ඔහු යටෙත් සේවය කරන්නේ සේවකයන් හතර දෙනකු පමණි. අනික් සේවකයන් සිවුදෙනා දැනට ඔවුන්ගේම බුලත්විට ව්‍යාපාරයන් පවත්වාගෙන යන්නේ මොහුගේ අඩි පාරේ යමිනි.

බුලත් විකිණීමෙන් ජීවත් වන මට ඕනෑ නම් ආදායම් බද්දක් වුවද ගෙවිය හැකියි කිවේය.

ජීවිත උත්සාහයෙන් ජයගෙන එනකොට මගේ බිරිය දරු දෙදෙනායි මායි තනිකරලා දිවියෙන් සමුගත්තා. පැමිණි දුක් පැණි රසයි කියන්නාසේ මං හැම ක’රදරයකටම එඩිතරව මුහුණ දුන්නා. මගේ බිරිඳ මි’ය යනකොට මගේ පුතාට වයස අවුරුදු 7යි. දුවට අවුරදු 4යි. මං දුවව නායකකන්දේ යහපත් එඬේරා කන්‍යාරාමයේ නතර කළා.

දරු දෙදෙනාව උස්මහත් කර ගන්න මගේ බුලත් විට රැකියාව මහත් හයියක් වුණා. දැන් දුව විවාහකයි. පුතාත් ඒයාගේම කියල ව්‍යාපාරයක් කරගෙන යනවා. මට දැන් අවුරුදු 66යි. මේ රැකියාව දිගටම කරගෙන යනවා. අද මම දවසකට බුලත් විට 1,000ක් පමණ අලෙවි කරනවා. හදන බුලත් විට කඩවල්වලට ගිහින් විකුණනවා. සේවකයන් කෑම බීම දීලා රුපියල් 1,200ක් දෙනවා දවසේ පඩි විදිහට.

උත්සාහවන්තයා ජය ගන්නට ‘මල්ලි මාමා’ නොහොත් සිසිල් හපුආරචිච්ගේ බුලත් විටේ කතාව නිම වෙද්දී අපේ අවධානය යොමු වූයේ ඔහුගේ බුලත් කඩේ ඉහළින් සඳහන් කර තිබූ පාඨකයක් වෙතය. ඒ ‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යනුවෙනි.

සරත් චින්තක ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here