ඉන්දියාවෙන් ගෙනා කුණු සීනිවලට දඹුල්ලේදි ඩුබායි ලේබල්

0

ඉන්දියාවෙන් ලංකාවට ගෙන්නූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක සඟවා ඒවා ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට ඇසුරුම් කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පෙරේදා (13 වැනිදා) සොයාගෙන ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉදිරිපස දොර වසා දින කිහිපයක සිට සීනි ඇසුරුම් කර ඇත. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාතට නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු විසින් ලබා දුන් තොරතුරක් මත 13 වැනිදා පස්වරුවේ එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම සීනි තොගය සහ වෙළඳසැල් හිමිකරු පිළිබඳව දඹුල්ල පොලිසියට පැ’මිණිලි කිරීමට පියවර ගෙන තිබේ.

ඉදිරි නත්තල හා උත්සව සමයේ මෙම සීනි කිලෝ ග්‍රෑම් දසදහස (10000) රට පුරා පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට මෙම කූ’ට වෙළෙඳුන් ක්‍රියාකරමින් සිටි බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත පැවසීය.

රටේ සීනි හිගයක් පැවති වකවානුවේ සඟවා තිබූ මෙම සීනිවල ඇසුරුම් මීයන් සහ වෙනත් සතුන් විසින් වි’නාශ කොට ඇත. තවත් ඇසුරුම් දිරා ගොස් තෙත බරිත හා අව පැහැගැන් වී ඇත.

තමන් ඇතුළු කණ්ඩායම එම ස්ථානයට යන විටත් සේවකයන් කිහිප දෙනකු ඉන්දියාවෙන් ගෙන්වා තිබූ සීනි තොග බිම දමාගෙන කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව කල් ඉකුත්වීමේ දින වෙනස් කොට නැවත ඇසුරුම් කරමින් සිටි බව නගරාධිපතිවරයා පැවසීය. නැවත අසුරා ඇත්තේ ඩුබායි හි සිට ගෙනා සීනි ලෙසය.

ආහාරයට සුදුසු ප්‍රමාණය පමණක් ලබාගෙන ඉතිරි සීනි තොග ඉවත් කිරීම් සඳහා සකසමින් සිටි බව මෙම ව්‍යාපාරිකයෝ පැවසූහ.

කෙසේ වෙතත් මෙම ගබඩාව පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී ආහාර ද්‍රව්‍ය රැසක් ද දැඩි ලෙස අපවිත්‍ර වී තිබෙනු දක්නට ලැබිණ.එමෙන්ම රෙදි සෝදන සබන් කුඩු වර්ග දියලුණු කොත්තමල්ලි සහල් ආදී එකම ගබඩාවක එකම ගොඩේ ඇසුරුම් කර ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බව ද නගරාධිපති ජාලිය ඕපාත පෙන්වා දුන්නේය.

දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදු කරන නිසා දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරාට දැනුම් දී පොලිසියේද සහය ලබාගෙන මෙම සීනි තොගය මහජනතාවට අලෙවි කිරීමට සූදානම් කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගබඩාවට සීල් තබා දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට අධිකරණය ලබාදෙන තීරණය ක්‍රියාත්මක කරන බව පොලිසිය පැවසීය.

කේ.කේ. ආරියදාස – දඹුල්ල ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here