කියන බොරුවවත් හරියට කියාගන්න බැරි තරමට විපක්ෂය අසරණවෙලා – ජොන්ස්ටන් ප්‍රනාන්දු.

0

දැන් නොයෙක් ප්‍රචාර ගෙනියනවා. සමහරු කියනවා ගමට ගියොත් හූ තියයි කියලා ආණ්ඩුවේ අයට . අපි දැන් මේ ගමට ඇවිල්ලා ඉන්නේ. ඒ ප්‍රචාර අද වෙන කොට බොරු වෙලා තියෙනවා.

විපක්ෂයට බොරුවක්වත් කියාගන්න බැරි විදියට විපක්ෂය අසරණ වෙලා තියෙනවා කියලා මම කියනවා .අපි මේ රට හදනවා, මේ රට දියුණු කරනවා, මේ රටේ ආරක්ෂාව අති විශිෂ්ට ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තහවුරු කරලා තියෙනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ රජය මේ රටේ ජීවත් වන සිංහල මුස්ලිම් ද්‍රවිඩ සහ බර්ගර් වැනි හැම ජනකොටසකගේම ආරක්ෂාව තහවුරු කරලා දීලා තියෙනවා.

අපි කිසිම විටකින් මේ රට අනාරක්ෂිත රටක් බවට පරිවර්තනය කරන්න ඉඩ තියන්නේ නැහැ. සියලුම ජාතීන් එකට ජීවත් වෙන්න පුළුවන් විදිහට මේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා . ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණුම කාල පරිච්ඡේදය බවට ඊලග අවුරුදු 3 අපි පරිවර්තනය කරනවා .

මේ රටේ මුළු මාර්ග පද්ධතියම නවීන මාර්ග පද්ධතියක් බවට පත්කරනවා.සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දු වුණා කිලෝමීටර් ලක්ෂයක් හදනවා කියලා.

අපි කොවිඩ් වසංගත කාලයේදීත් ඒ දේවල් ආරම්භ කෙරුවා.ජනාධිපතිතුමා දුන් පොරොන්දු තමයි මේ ඉටු කරන්නේ. නැගෙනහිර පළාතේ පමණක් අපි පාරවල් අටසිය පමණ හදනවා. මේ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය සමඟ ගම්වල ඉන්න ජනතාවගේ ඉල්ලීම අනුව අපි මේ පාරවල් හදන්න කටයුතු කරනවා . අපේ බලාපොරොත්තුව නවීන මාර්ග පද්ධතියක් මේ රටේ ඇති කරන්න.

ගොවියන්ට තමන්ගෙ තමන්ගේ නිෂ්පාදන ඉක්මනින් නගරයට ගෙනියන්න, පාසැල් යන දරුවාට පිරිසිදුව ඉක්මනින් පාසලට වෙත ළඟා වෙන්න. ඉස්සර මේ පාරවල්වල දූවිලි මඩ නිසා ජනතාවට ගමන් කිරීම අපහසුයි. රට වටේම ඉක්මනට යන්න පුළුවන් විදිහේ නවීන මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම තමයි අපේ ආණ්ඩුවේ බලාපොරොත්තුව .

මේ වන විට විපක්ෂය මතයක් ගොඩ නගන්න උත්සහ කරනවා මුස්ලිම් රටවල් අපේ ආණ්ඩුවට උදව් කරන්නේ නැහැ කියලා. ඒක තමයි විපක්ෂයේ දේශපාලනය. ඒ අය හිතාගෙන ඉන්නේ ලෝක බැංකුවෙන් අපිට උදව් කරන්නේ නැහැ කියලා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක් ඒ කියන්නේ ඩොලර් බිලියන භාගයක් ලබා දුන්නා පාරවල් හදන්න. සෞදි අරමුදලෙන් අපිට මුදල් ලබා දීලා තියෙනවා තව පාරවල් ගණනාවක් හදන්න.

විපක්ෂයේ හදන්නේ මුස්ලිම් අය සහ අපි අතරේ බෙදීමක් නිර්මාණය කරන්න . දෙමළ ජනතාව , කතෝලික ජනතාව, බර්ගර් සහ මැලේ ජනතාව බේද කිරීම තමයි විපක්ෂයේ කාර්යභාරය. අපේ ආණ්ඩුව විපක්ෂය වගේ ජනතාව භේද බින්න කරන ආණ්ඩුවක් නෙමෙයි. අපේ ජනාධිපතිතුමා ආවට පස්සෙ මුළු රටේම ජනතාව ආරක්ෂා කෙරුවා. අද මුස්ලිම් අයට ප්‍රශ්නයකුත් නැහැ . කතෝලික අයට ප්‍රශ්නෙකුත් නැහැ . බෞද්ධ අයට ප්‍රශ්නෙකුත් නැහැ. මැලේ බර්ගර් අයටවත් ප්‍රශ්නයක් නැහැ. බංකොලොත් වෙච්ච අය තමයි මෙවැනි බෙදීම් ගැන කියන්නේ.

මුස්ලිම් රටවල් සමග අපේ සම්බන්ධතා ඒ ආකාරයෙන්ම තිබෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා මුස්ලිම් විදේශ සම්බන්ධතාවය පටන්ගත්තෙ පලස්තීනයෙන් . මුස්ලිම් රටවල් කියන්නේ අපේ හිතවත් අය.ඔවුන් අපේ මිත්‍රයන් . ඒ සම්බන්ධතාවයන් තමයි මේ විපක්ෂය කඩන්න හදන්නේ . ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බොහොම මිත්‍රශීලී සම්බන්ධකමක් තමයි මේ ඒ රටවල් එක්ක තිබෙන්නේ . විපක්ෂය ඡන්ද ගන්න ජාතීන්, ආගම් බෙදනවා. ඒක තමයි ප්‍රේමදාස මහත්තයගෙ කෙරුවාව.

මඩකලපු දිස්ත්‍රික්කය යු’ද්ධයෙන් පී’ඩාවට පත්වුණු ප්‍රදේශයක්. ඒ පළාතේ මාර්ග සංවර්ධනය කරන්න ප්‍රමුඛත්වය ලබා දෙනවා. යු’ද්ධයට අසුවුණු ප්‍රදේශවල ජනතාවට වැඩිපුරම සංවර්ධන වැඩ කලේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. නමුත් ඒ ජනතාව වැඩි ප්‍රමාණයක් ඡන්දය ලබා දුන්නේ යහපාලන ආණ්ඩුවට. යහපාලන ආණ්ඩුව මේ ප්‍රදේශ වලට මොනවාද කලේ .

ඔවුන් ඔබතුමන්ලාට කරපු සේවයක් තියෙනවද . වැඩිපුරම මේ ප්‍රදේශ වල පාරවල් හැදිලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි කාලයේ. දැන් වැඩියෙන්ම පාරවල් හදන්නෙත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. යහපාලන ආණ්ඩුව මොනවද කෙරුවේ මේ මුස්ලිම් ජනතාව වෙනුවෙන්. මඩකළපු දිස්ත්‍රික්කයට කරපු දෙයක් පුළුවන්නම් කියන්න.

ත්‍රිකුණාමලයට, අම්පාරට කරපු කිසි දෙයක් නෑ. අපිට ඡන්දය නොදුන්නත්, අපිට අඩු ප්‍රතිශතයක් ලැබුණත්, මේ මුළු ජනතාවටම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආදරෙයි. ඒ නිසා එතුමා මුළු රටටම වැඩ කරනවා. හැම පාරක්ම හැම පාලමක් මඩකලපුව දිස්ත්‍රික්කයට අපි හදනවා. ඒක ඉතාමත් වගකීමෙන් මම කියනවා. ඡන්ද බලාගෙන නෙමෙයි රටේ ජනතාවගේ ආර්ථිකය දියුණු වෙන්න වගේම රට දියුණු වෙන්න අවශ්‍යයි කියන තැන අපි ඉන්නවා.

උතුරු නැගෙනහිර ජනතාවට අපි කියනවා රැවටෙන්න එපා කියලා. වෛරයෙන් ජීවත් වෙන්න එපා කියලා මම කියනවා . යූඑන්පී , ප්‍රේමදාසලා , දිසානායකලා ඔක්කොම එකම කල්ලියක්. ඔබලාගේ ඡන්ද විතරයි ඔවුන් අරගෙන යන්නේ . අපි ඡන්ද ගන්නේ නැතුව ඔබලාට වැඩ කරනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ අදහස් පලකලේ පේරාදෙණිය-බදුල්ල-චෙන්කලාඩි( A005 ) මාර්ගයේ සෞදි අරමුදල් යටතේ රු.මිලියන 7200 ක් වැය කර සංවර්ධනය කල බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට 28-12-2021 වන ඊයේ දින සහභාගී වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here