වවුල් බෙටිනම් ඉතින් සල්ලි තමයි.

0

කදු, ගල්ගුහා වනාන්තර කැලණි ගංඟින් පොෂණය ලබන ජල විදුලි බලාගාරයකින් ලක්ෂපාන ගම ඉතා සුන්දරය. එම ප්‍රදේශයේ ජනතාවද රසායනික පොහොර නැතුව මේ දිනවල ගැ’ටලු කීපයට මුහුණ දී සිටිති.

ගැ’ටලුවට විසඳුමක් සපයමින් ලක්ෂපාන ගමේම ජීවත් වන සුරංගයි සේනාජිත් සහ පද්මසිරියි දිසානායක ගමටම වැඩක් ආරම්භ කළේ පොහොර ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේ අරමුණෙනි. රටේම අඳුරට එළියක් දුන් ලක්ෂපානින්ම ගමට එළියක් දීමට මොවුන් දෙදෙනාද ඉතිහාස ගතවනු ඇත.

වවුලන්ගේ බෙටි එකතු කරගෙන ඇවිත් කාබනික පොහොරක් හදන්නට පුළුවන්ද කියලා මම මුලින්ම දැනගත්තේ කෘෂිකර්ම නිලධාරියෙක්ගෙන්. අපේ පැත්තේ ගොඩක් වවුල්ලෝ ඉන්නවා. මීට අවුරුද්දකට විතර කලින් මම වැඩේ පටන් ගත්තේ ගඟට උඩින් ගල්ගුහාවේ තියන වවුල් බෙටි එකතු කරලා යැයි සුරංග කතාවට මුලපිරුවේය.

කාබනීක පොහොර වලින් වගා කරන්න බෑ කිය කිය ඉන්න බොහෝ පිරිසක් අතරෙ සුරංගගේ උත්සහට උදවු කරමින් පද්මසිරිද එකතු වුණේ හවුලේ වැඩක් පටන් ගැනීමටයි. ලක්ෂපාන විදුලි බල මණ්ඩලේ කට්ටිය මීට අවුරුදු හතළිකට කලින් කැ’ණීම් කරල අත ඇරල දමා තිබූ මීටර් අටසීයක විතර දිග උමං මාර්ගයක් ලක්ෂපානේ පිහිටා ඇත.

මුලින්ම වැඩේ ඒ ගල් ගුහාවෙන් පටන් ගත්තට මේ වෙනකොට පැත්තෙම තියන ගල්ගුහා ඔක්කොගෙම වවුල් බෙටි එකතුකර ගෙන වැඩේ ලොකුවටම කරගෙන යන්නට සුරංගත් පද්මසිරිත් දරන උනන්දුව ඉමහත්ය.

“වැඩේ හිතන තරම් ලේසි වුණේ නෑ.වවුල් බෙටි එකතු කරන වැඩේත් ලේසිත් නෑ. ඒවා ගල්ගුහාවල ඉදන් අරන් එන එක තමයි අමාරුම වැඩේ. ගගෙන් එගොඩ ඉඳන් මෙගොඩට ගෙන්නේ ගඟ හරහා ගස් දෙකක වයර් එකක් ඇදලා. පොහොර ගොනී වලට වවුල් බෙටි දාලා ගඟෙන් එගොඩ ඉඳලා වයර් එක දිගේ මෙගොඩට ගන්නවා.

තනිකරම වවුල් බෙටි අව්වේ හොඳට වේලල තමයි මම ඒවා බෝග වලට දැම්මේ. තව හොඳට ප්‍රතිඵල ගන්න ඕන නම් කුකුල් පොහොර, ගොම පොහොර වගේම වල්සූරියකාන්තත් එකතු කරන්නත් පුළුවන්. මේ පොහොරෙන් මල්, පලතුර වගේම ඕන බෝග වර්ගකට දාන්න පුළුවන්. මං හිතුවට වඩා වැඩේ ගොඩ.

මට ඕන මේ වැඩේ මහාපරිමාණෙන් පටන් ගන්න. දැනට හතර දෙනෙක් මගේ වැඩේට උදව්වට ඉන්නවා. දන්න විදිහට මම විතරයි වවුල් අසුචි වලින් වගාකරන පළවෙනි ගොවියා. සුරංග වැඩිදුරටත් කීවේය.

ලෝකයේ බොහෝ රටවල වගා කටයුතු සඳහා භාවිතා කරන්නේ වවුල් කාබනික පොහොරයි. ශාක වර්ධනයට අවශ්‍යය නයිට්‍රිජන්, පොටෑසියම්, පොස්පරස් ඇතුළු පෝෂණ කොටස් සියල්ලක්ම වවුල් පොහොර වල අඩංගු බව සහතික කර ඇත. නයිට්‍රිජන් ප්‍රතිශතය 2% සිට 2.7%ක් දක්වා පරාසයක පවතී. ඒ බව ගන්නොරුව සහ මාකඳුර පර්‌යේෂණ ආයතන මඟින් ඒ සඳහා ලබාගත් පර්‌යේෂණ සහතිකයක් එම තරුණයන් දෙදෙනා සතුව තිබේ.

මේ වෙනකොට වවුල් පොහොර කිලෝ 20,000ක් – 30,000ක් අතර ප්‍රමාණයක් අපි හදලා තියනනේ. මම රැකියාවක් කරන ගමන් තමයි මේ වැඩේත් කරන්නේ. රස්සාව කරලා ගන්න පඩිය ඔක්කොම යොදවන්නෙ මේ වැඩේට. මෙම කාබනික පොහොර හදන්න හරි ආයෝජකයකු ඉදිරිපත් වෙනවා නම් වගාකරන ගෙවල් වලට මගේ පොහොර බෙදලා දෙන්න මම කැමති. සුරංග සිය බලාපොරොත්තුව කීවේය.

ශානක ප්‍රසාද් – නාවලපිටිය ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here