උදේට ඉස්පිරිතාලෙ ලෙඩ බලා හවසට කෑම ලොරියෙ ලුණු බලන දොස්තර නෝනා.

0

පුංචි සන්ධියේ පටන්ම නයන්තරාගේ හිත තිබුණේ සෙල්ලමටය. පාසලේ පන්ති කාමරය තුළදිත් වදෙන් පොරෙන් පොතපතේ වැඩ ටික ඉවරකර දමන ඈ කොයිවෙලෙත් ඇඟිලි ගැන්නේ සෙල්ලම් කිරීමට ඉස්පාසුවක් ලැබෙනතෙක්ය.නා’හෙට නා’හන හි’තුවක්කාර ගතිද මේ පුංචි කෙල්ල කෙරේ නොතිබුණාම නොවේ. ලොකු වුණාම කවුරුන්වීමට කැමතිදැයි පන්තිභාර ගුරුතුමිය අසද්දී ගිරවුන් සේ පිළිතුරු දෙන පන්තියේ අනෙක් ළමුන් අභියස ඇය බොහෝ විට කළේ මුනිවත රැකීමයි. ඒ එවැනි පැහැදිලි සිහිනයක් ඇයට නොතිබුණු නිසාය.

නයන්තාරාට අනාගතය පිළිබඳ සිහින නැතත් ඈ පිළිබඳ ලොකුවට සිහින මැව් කෙනෙක් සිටියේය. ඒ ඇගේ අප්පච්චීය. පුංචි දෝණි හැඩ වැඩ දැමූ සාරියක් ඇඳ දොස්තර නලාවක් අතේ තියාගෙන ලෙ’ඩ්ඩු බලන හැටි ඔහු හීනෙනුත් දැක්කේය. සෙල්ලමට බරවූ නයන්තරාගේ ගතිසොබා මෙල්ල වෙන්නට පටන්ගත්තේ ඒ හීන නිසාය.

‘‘මං කවදාවත් වෛද්‍යවරියක් වෙන්න හිතපු කෙනෙක් නෙවෙයි. ඒත් අප්පච්චි එහෙම හීනයක් දකිනකොට මට ඒක හැබෑ නොකර ඉන්න බැරි වුණා.අන්තිමේ මං හිතාගත්තා හොඳට ඉගෙනගෙන වෛද්‍යවරියක් වෙනවා කියලා. එහෙම හිතලා එදා ඉඳන් හොඳට මහන්සිවෙලා වැඩ කළා. මට සාමාන්‍ය පෙළ ලියන්න තිබුණේ 2005 අවුරුද්දේ. ඒ වෙනකොට මට මං ගැනම ලොකු විශ්වාසයක් තිබුණා. කොහොම හරි A හතයි B එකයි එක්ක මං පාස්වුණා. ඊටපස්සේ වෛද්‍යවරියක් වෙන්න හිතාගෙන උසස් පෙළ කළේ විද්‍යා විෂය ධාරාවෙන්. 2008 අවුරුද්දේ තමයි මට විභාගය ලියන්න තිබු​ණේ. මං C තුනක් එක්ක උසස් පෙළත් පාස්වුණා.’’

ඉන්පසු අප්පච්චිගේ එකම සිහිනය සැබෑ කිරීමට ඇය 2010 වසරේ විදෙස්ගත වෙන්නීය. අවුරුදු හයක් පුරාවට නොදන්නා රටක නොදන්නා ඉසව්වකට වී ඒ හීනය වෙනුවෙන් ඇය තනියම වෙහෙසෙන්නීය. 2016 අවුරුද්දේ ඇය නැවතත් ලංකාවට එන්නේ වෛද්‍යවරියක් වෙමින් අප්පච්චිගේ එකම හීනය සැබෑ කරමිනි.

‘‘මං වෛද්‍ය සිහිනය වෙනුවෙන් අවුරුදු ගාණක්ම හිටියේ ජෝර්ජියාවේ. ඒ කාලේ අප්පච්චිලා තමයි මගේ හැම වියදමක්ම බැලුවේ. මගේ බැච් එකේ ලංකාවේ ළමයි 32 ක් හිටපු නිසා ලොකු පාලුවක් දැනු​ණේ නෑ. දැන් මම කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වෛද්‍යවරියක් විදිහට සේවය කරනවා.’’

2017 අවුරුද්දේ ඇය විවාහ වු‍ණේ ලංකාවේ අංක එකේ තරු පන්තියේ හෝටලයක සූපවේදියෙකු වන කසුන් සමඟය. ඔවුන්ගේ තනිය මකන්නට ටික දොහකින් පුංචි පැටව් දෙන්නෙකුත් ඒ කැදැල්ලට එකතුවිය. හැමදේම හොඳට සිද්ධ වුණත් කසුන්ගේ වෘත්තියට නම් උදාවෙමින් තිබු‍ණේ නරකම සමයකි. ඒ පාස්කු ඉරිදා සිදුවීම සහ ඉන්පසුව ආ කොවිඩ් ව’සංගතය නිසාය. කාටත් වැඩිය කසුන්ගේ සාක්කුවට එය දැනෙන්නට පටන්ගනිද්දී තමන් දන්න කියන ශිල්පය භාවිතා කර අතිරේක රැකියාවක නිරතවීමට ඔහු තීරණය කළේය.

‘‘මගේ සැමියා හොටෙල් එකේ රැකියාව කරන ගමන් අතිරේක ආදායමක් ලබන්න පුළුවන් විදිහක අලුත් වැඩක් පටන් ගත්තා. ඒක කෑම ලොරියක්. අපි කෑම ලොරියේ වැඩ පටන් අරන් දැන් මාස කීපයයි. ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බර්ගර් සහ සැන්ඩ්විච් වගේ දේවල් හදන්නේ. එළිමහන් උත්සව තමයි ගොඩාක් ටාගට් කරන්නේ. එහෙම නැත්නම් සුපර්මාර්කට් එකක් වගේ තැනකට ගිහින් ලොරියේ බිස්නස් කරනවා.’’

කසුන් කෑම ලොරියේ වැඩ කරනවිට ඔහුගේ අත් උදව්වට ගියේ දොස්තර නෝනාය. උදේවරුවම රෝහලේ සේවය කරන ඈ කසුන්ගේ සහයට හවස් යාමයට ලොරියට නැග්ගාය. ඇගේ එකම අරමුණ වූයේ සැමියාට උදව් කිරීමය.”මං වෛද්‍යවරියගේ භූමිකාව රඟපාන්නේ
රෝහලේදි විතරයි. රෝහල් ගේට්ටුවෙන් එළියට ආවට පස්සේ මං සාමාන්‍ය කාන්තාවක්. උදේ රෝහලේ වැඩ කරලා හවසට සැමියත් එක්ක ලොරියේ කෑම බිස්නස් කරනවා.

හවස පහේ විතර ඉඳන් රෑ එකොළහ විතර වගේ වෙනකල් බිස්නස් තියෙනවා. සමහර වෙලාවට මගෙන් බෙහෙත් ගත රෝගීන් එහෙමත් ලොරිය ළඟ මුණගැහෙනවා. ඒත් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.මං වෛද්‍යවරියක් හින්දා ලොරියක කෑම හදලා විකුණනවා දැක්කොත් හරි නෑ වගේ ප්‍රාථමික අදහස් මගේ නෑ.”

ඇය හිතන පතන විදිහ හරියටම හරිය.
වෛද්‍යවරියක් තම සැමියාත් සමඟ එකතුවී ලොරියක කෑම විකුණන එකේ කිසිම ඇදයක් පලුද්දක් අපටද පෙනෙන්නේ නැත. කෙසේ හෝ වේවා දැන් ඇය ඔහුත් සමඟ එකතුව හරි හරියට වැඩය. පිරිමින්ට ලැබිය යුත්තේද මෙවන් ගැහැනුය.

“ලොරියේ හිටියට මං ලොකු ලොකු වැඩ
කරන්නේ නෑ මොකද සැමියා චෙෆ් නිසා එයාට මට වඩා හොඳට කෑම හදන්න පුළුවන්. මං කරන්නේ හවසට ගිහින් එයාට උදව් කරන එක.එළවලු කපන වැඩ, ලූනු කපන වැඩ, තෙල් දාන වැඩ තමයි මං කරන්නේ. සැමියගේ
බලාපොරොත්තුවක් තියෙනවා තව ලොරි කීපයක් දාලා මේ වැඩේ තවත් හොඳට කරගෙන යන්න.

මොකද අපිට දැනිලා තියෙන්නේ මේ වැඩේ අල්ලලා යයි කියලා. බිස්නසුත් වරදක් නෑ.”ඇය නයන්තරා ජයමිණී සිරිවර්ධනය. මේ වනවිට කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහලක පිළිගත්
වෛද්‍යවරියකි. ඔහු කසුන් ප්‍රසාද් රණසිංහය.කොළඹ ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටලයක සූපවේදියෙකි.ඔවුන්ගේ පදිංචිය ගම්පහය.

කියවන ඔබත් එහේ මෙහේ යද්දී ඔවුන්ගේ රසම රස කෑම ලොරිය මුණගැසීමට ඉඩ ඇත.ටිකක් ඕනෑකමින් බැලුවොත් උදේට ලෙඩ බලලා හවසට ලුණු බලන මේ වෛද්‍යවරියත් ඒ ලොරියේම සිටිනු දැකගත හැක.කැමති නම් ඇගේ අතින්ම හදන සැන්ඩ්විච් එකක වූවද රස බැලිය හැකිය.

රුවන් එස් සෙනෙවිරත්න ( ධරණී සඟරාවේ පළවූ ලිපියකි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here