මම නිදියගත්තේ බැට් එකයි බෝලෙයි කොට්ටෙ යට තියාගෙන

0

යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ තුන් ඉදිරියව්වෙන්ම ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙකි. රටම කතාවන, රටම අපේක්ෂා දල්වා බලා සිටින පුත්‍රයෙකි. ඔහු යොවුන් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සිට දුරකථන මාර්ගිකව ‘සති අග අරුණ’ සමග මෙසේ එක්විය.

ලෝක කුසලානේ කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත්වීම දක්වා පැමිණි ගමන ගැන සඳහන් කළොත් ..

මේ වෙනුවෙන් නොසෑහෙන්න මහන්සි වුණා. හැමතිස්සෙම ඉලක්කයකටයි ගියේ. තරගයෙන් තරගයට සැලසුම් කළා. ඉස්කොලෙදි පවා එකදිගට මහන්සි වුණා. එක දවසක්වත් විවේකයක් ගන්නෙ නැතිව තනියමත් පුහුණුවීම් කළා. අවශ්‍ය වුණේ මගේ නම නෙමෙයි ලංකාව හොඳම තැනට ගේන්න. අපිට මේ තරගාවලියට එන්න කලින් බංගලිදේශය මුණගැහුනා. අපි 5-0කින් ඒක දිනුවා. ඊට පස්සේ 3-2ක් හැටියට එංගලන්තය පරාජ කළා. යොවුන් ආසියානු කුසලානයේ අනුශූරයෝ වුණා. ලෝක කුසලානයේ අපි 6 වැනි තැනට ආවත් අපිට ඊට ඉස්සරහ තැනකට යන්න තිබුණාය කියන හැඟීම තිබෙනවා. ඒ වුණත්, කණ්ඩායමක් හැටියට අපේ දක්ෂතා ගැන මම සතුටු වෙනවා. මේ වගේ කණ්ඩායමක් ලැබීම වගේම මේ වගේ පුහුණු කාර්ය මණ්ඩලයක් ලැබීම ගැනත් සතුටු වෙනවා.

මේ ලෝක කුසලානය මෙන්ම එයට පෙර යෙදුණු තරගවලදි කණ්ඩායම සහ ‍පුහුණු කාර්ය මණ්ඩලය ඔබත් සමග ගනුදෙනු කරපු ආකාරය කොහොමද?

ඒ ගැන කියන්න වචන නෑ. හැමකෙනෙක්ගෙන්ම පුදුම සහයෝගයක් ලැබුණේ. කණ්ඩායම් කළමනාකරු (මහින්ද හලංගොඩ) ප්‍රධාන පුහුණුකරු (අවිශ්ක ගුණවර්ධන) දඟ පන්දු යැවීමේ පුහුණුකරු (සචිත් පතිරණ) වේග පන්දු යැවීමේ පුහුණුකරු (චමිල ගමගේ) පන්දු රැකීමේ පුහුණුකරු (උපුල් චන්දන) අභ්‍යාසක (බුද්ධික), භෞත චිකිත්සක (ප්‍රියන්ත) මේ ස’ර්ලා ඔක්කොම තාත්තලා වගෙ අපි ගාව හිටියා. අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ලෝක කුසලානෙදි මහේල ස’ර් (මහේල ජයවර්ධන) ආවා. ඒක අපිට සවියක්, සතුටක් වගේම ආඩම්බරයක් වුණා.

මහේල, අවිශ්ක සහ ඔබේ දඟපන්දු හරඹයට සවිය දෙන සචිත්ගෙන් ලැබුණු දේවල් ගැන කීවොත්…

මහේල සර් අපේ ක්‍රීඩාව, අපේ උපක්‍රම, 19න් පහළ කියන තැනින් ඉහළ තැනක තියන්නයි හැම තිස්සෙම උපදෙස් දුන්නේ. මේ ලෝක කුසලාන තරගාවලියට විතරක් නෙමෙයි ඉස්සරහටත් අපිට වටින දෙයක් මහේල සර් අපිට දුන්නා. මම කලින් කිව්වා වගේ අවිශ්ක ස’ර් අපිට තාත්තා කෙනෙක්ම වුණා. අනවශ්‍ය පීඩනයක් අපේ ඔළුවට දැම්මෙ නෑ. එයා බොහොම සියුම් විදිහටයි අපේ ක්‍රීඩාවේ වෙනස් විය යුතු තැන් වෙනස් කළේ. අපේ පොඩි තැනක් වෙනස් කරලා ලොකු ප්‍රතිඵලයක් ගන්න ඔහු දක්ෂයි. ඔහු පුදුම විදිහට මහන්සි වුණා. එහෙම කෙනෙක් යටතේ පුහුණුවෙන්න ලැබීමත් වාසනාවක්. මගෙ දඟපන්දු පුහුණුකරු සචිත් සර් කියන්නෙත් ක්‍රීඩකයන් වෙනුවෙන් පුදුම විදිහට මහන්සි වෙන චරිතයක්. ඔහු පාසලට පවා ඇවිත් මට පුහුණු උපදෙස් දීලා තියෙනවා. ඔහු ක්‍රීඩකයන්ගෙ පස්සෙන්ම ඉඳගෙන ක්‍රීඩකයන්ව හදන කෙනෙක්.

ඇෆ්ගනිස්ථාන තරගය නොසිතූ ලෙස වැරදුණා. එසේ නොවෙන්න අපිට තව කැපී පෙනෙන දුරක් යන්න තිබුණා. ඒ තීරණාත්මක තරගයෙදි මොකද වුණේ.

අපේ පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි ඒ අයව ලකුණු 134කට දවාගත්තා. ඒත් කඩුලු අතර දිවීම අපට වැරදුණා. දුවද්දී දැවීයෑම් 4ක් වුණා. ඒ හතරෙන් තුනක්ම අපේ හොඳම පිතිකරුවන්ගේ. ඒ නිසාම අපිට ලකුණු 4කින් පරදින්න වුණා.

එසේ පැරදුණත්, යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම තුන් ඉරියව් දක්ෂතා දක්වන්න ඔබ සමත් වුණා. ඔබ පන්දුවටත්, පිතිහරඹයටත් වගේම පීඩනය කළමනාකරණය කරන්නත් මේ තරම් දක්ෂ වුණේ කොහොමද? මොකක්ද රහස?

මම හිතන්නේ එකම දෙයයි. ඒ මගේ කණ්ඩායම දිනවීම විතරයි. ලංකාව නියෝජනය කරද්දී වේවා ඉස්කොලෙ තරගයකදි වේවා මම හිතන්නේ ඒ දේ විතරයි. ඒ දේම ඔළුවෙ තියාගෙන ක්‍රීඩා කරනකොට ප්‍රතිඵලය එනවා. ඒ නිසා තමයි මට ලකුණු ආවෙත්. ඒ නිසාමයි මම කඩුලු ගත්තෙත්.

මේ වන විට අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියටත් ඔබේ නම ගිහින්…

මට අවුරුදු 19ක් වෙද්දි අයි.පී.එල්. එකට නම ඇතුළත් වීම පවා ලොකු ජයග්‍රහණයක්. ඒත් මගෙ හැබෑම ජයග්‍රහණය තිබෙන්නේ, මගේ ඉලක්කය තිබෙන්නේ මගේ රට දිනවන එක. ලංකාව වෙනුවෙන් මට හොඳ දෙයක් කරන්න පුළුවන් වුනු නිසයි මගේ නම අයි.පී.එල්. එකට යන්නේ. ඒ නිසාමයි මට ලංකාව දිනවීම වැදගත් වෙන්නේ.

ජාතික කණ්ඩායමටත් ළඟඳීම ‘දුනිත් වෙල්ලාලගේ’ නම ඇතුළත් වෙයි කියලා හිතෙන්නෙ නැද්ද?

මට හැම දෙයක්ම හරි වෙලාවට ලැබිලා තිබෙනවා. අදට මට කරන්න තියෙන්නේ මගෙ පුහුණුවීම් සහ මගෙ ක්‍රීඩාව මේ විදිහටම කැපවීමෙන් කරගෙන යන එකයි. ඒ වගේම මගෙ ඊළඟ තරගය කොහොමද හොඳට කරන්නේ කියලා සූදානම් වෙන එක විතරයි. එහෙම කළොත් මේ ලැබුණ වගේම හරි වෙලාවට ඒ කැඳවීම එයි. ඒ ගැන හිතන්නේ නැතිව මේ මොහොතේ මගෙ ක්‍රිකට් වෙනුවෙන් කරන්න තිබෙන දේ කරගෙන යනවා.

ඔය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න නම් ක්‍රිකට් පිස්සුවක් තියෙන්න ඕනේ ? කොහොමද ඒ පිස්සුව හැදුනේ. ඒ කාලෙ ඉඳලම මේ හීනෙ තිබුණද?

මගෙ තාත්තා සුරංග වෙල්ලාලගේ වේල්ස් කුමර විදහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක්. තාත්තා නිසා තමයි මම ක්‍රිකට්වලට කැමති වුණේ. ගෙදර තිබුණු තාත්තට ලැබුණු කුසලාන පොඩි කාලෙදි ආසාවට අරගෙන මගෙ අතින් ඒවා කැඩිලා තිබෙනවා. එදා මම හිතුවා කවද හරි ගෙදරට ඒ වගේ කුසලාන අරගෙන එනවා කියලා. මම නිදාගත්තෙ බැට් එකයි බෝලෙයි කොට්ටෙ යටින් තියාගෙන. මම ක්‍රිකට්වලට ආදරෙයි වගේම මම ක්‍රිකට්වලට ගොඩක් ගරු කරනවා. කවදාවත් පුහුණුවීම් මගහැරගත්තෙ නැත්තෙත් ඒ නිසාමයි. ලෝක කුසලානයකට එන්න ලැබුණෙත් ඒ නිසාමයි.

තාත්තා ගැන කිව්වා වගේම පවුලේ අනිත් අයගෙ විස්තරත් කියන්න.

මගෙ අම්මා හර්ෂණී කාංචනා. මට මල්ලිලා දෙන්නයි. පළවෙනි මල්ලි පුලින, 11න් පහළ ඉඳන් 17න් පහළ වෙනකම්ම ඒ වයස් කාණ්ඩයේ ලංකාවේ අංක 01 වුණා. පොඩි මල්ලි චමත් ශාන්ත සෙබස්තියන් විදුහලේ ක්‍රීඩා කටයුතු කරනවා. ජීවිතේ මම දිනපු වගේම පැරදුණු හැම තැනකදිමත් අම්මයි, තාත්තයි, මල්ලිලා දෙන්නයි මගෙ ළඟම හිටියා. තාත්තා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීම මට ලොකු තල්ලුවක් වුණා. පහසුවක් වුණා. එයා ක්‍රීඩාව හඳුනන නිසා හැමතිස්සෙම මට හැම දේකටම මග පෙන්වනවා. කරන්න අවශ්‍ය දේ කියනවා. මම වාසනාවන්තයි එහෙම තාත්තා කෙනෙක්, අම්ම කෙනෙක් වගේම මල්ලිලා දෙන්නෙක් ලබන්න.

ඔබ දැන් ලංකාවේ ජනප්‍රිය චරිතයක්. ඉදිරියේදී ඒ ජනප්‍රියත්වය තවත් වැඩිවෙයි. ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමේ වරමෙදි අතමිටත් බොහොම සරුවෙයි. නමුත් පොඩි වයසින් මේ දෙවල් ලැබෙන සමහරෙක් මේවා දරාගන්න බැරිව ජීවිතේ වගේම ක්‍රිකට් ඉදිරි ගමනත් අසාර්ථක කරගන්නවා. ඔබ කොහොමද විනයකින්, ශික්ෂණයකින් යුතුව මේ දේවල් කළමනාකරණය කරගන්නේ.

මම ජනප්‍රියත්වය කියන දේ ගැන හිතන්නෙ නෑ. මාව අද මෙතනට ගේන්න එදා ඉඳන් මට ක්‍රිකට් උගන්වපු පුහුණුකරුවන්, ඒ කියන්නේ මගෙ පළවෙනි ගුරුවරයා සුරංග පෙරේරා ස’ර්. මගෙ පිතිකරණය පන්දු යැවීම වෙනුවෙන් කාලය කැප කළ මොහාන් ස’ර්. මම ශාන්ත ජෝසප් විදුහලට ගියහම මුණගැසුණු රොජර් ස’ර්. ඩිලන් රාමනායක ස’ර්, ලහිරු ස’ර්, කවිඳු ස’ර්, මගෙ පළවෙනි ක්‍රීඩා සමාජය ලන්කන්ස් ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, මගෙ ගුරුවරු, මගෙ පාසල්වල පියතුමන්ලා වගේම රටේ බොහොම දෙ​ෙනක් උදව් කරලා තිබෙනවා. මට යමක් ලැබෙනවා නම් ඒක මගේ දෙයක් නෙමෙයි. ඒ හැමෝටම ලැබෙන දෙයක් කියලයි මම හිතන්නේ. තාත්තා මට කියන්නෙත් ඒකමයි. මේ හැම දෙයක්ම ලැබුණෙ කොහොමද කියන එක ගැන නිතර හිතලා ඒ අනුව තව තවත් කැපවෙන්න කියලා. වෙලාවට පුහුණුවීම් කරන්න, වෙලාවට නිදාගන්න කියලා පවා තාත්තා මට කියනවා. ඒ වගේම මට මේ හැම දෙයක්ම ලැබුණු ක්‍රිකට් ක්‍රීඩාවට අගෞරවයක් වන දෙයක් ‍නොවෙන්න හැම තිස්සෙම මම වගබලාගන්නවා.

ඔබ කැමතිම මෙරට ක්‍රිකට් ක්‍රීඩකයා සහ එතෙර ක්‍රිකට් ක්‍රීඩකයා කව්ද?

හතර වසරේ, පහ වසරේ ඉඳලම මම බිග් මැච් බලන්න යනවා. ඒ පොඩිකාලේ ඉඳලම මම ආසම ක්‍රිකට් ක්‍රීඩකයො දෙන්නෙක් තමයි කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු. ඒ දෙන්නත් මං වගේම මොරටුවෙන් ආවේ. පොඩි කාලෙ ඉඳලම ඒ දෙන්නා සෙල්ලම් කරනවා මම දැක්කා. මම කලින් ඉගෙන ගත්තේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ. එතකොට බිග් මැච් එක ගහන්නේ සෙබස්තියන්- වේල්ස් කුමර විදුහල්. ඒ දෙන්නා බිග් මැච් ගහනවා මම ඇස් ඉස්සරහ දැක්කා. ඒ අය 19න් පහළ ගහනවා දැක්කා. ජාතික කණ්ඩායමට ගහනවා දැක්කා. මම දකින විදිහට ඒ දෙන්නා ලංකාවෙ වගේම ලෝකෙම ඉන්න දක්ෂ ක්‍රීඩකයො දෙන්නෙක්. මගෙ ආසාව තිබුණේ ඒ දෙන්නත් එක්ක එක මැච් එකක් හරි ගහන්න. එහෙම හිතලා මම මාවම ඉස්සරහට අරගෙන ගිහින් තියෙනවා.

ලෝකෙ අනිත් රටවල් වලින් ගත්තොත් මම කැමතිම ක්‍රීඩකයා තමයි ඉන්දියාවේ තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා. පොඩි කාලෙ ඉඳලම මම එයාටත් ගොඩක් ආසයි.

එදාමෙදාතුර ගමනේ ඔබ වැඩියෙන්ම සංවේදී වුන අවස්ථාව?

2020 යොවුන් ලෝක කුසලාන කණ්ඩායමට යන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන මම 2018 ඉඳලා ගොඩක් බලාපොරොත්තු තියාගෙන පුහුණුවීම් කළා. ඒත් මට ඒකට අවස්ථාව නොලැබුණු වෙලාවෙදි මම ගොඩක් දුක් වුණා. එහෙම වුණත් එතැනදි මම කළේ මම ඇත්තටම ඒ කණ්ඩායම සුදුසු නැතිව ඇති කියලා හිතලා, තව තවත් වැඩියෙන් පුහුණුවීම් කරපු එක. මහන්සි වුණ එක. ඒත් මම අද හිතනවා එදා තේරීම් කරපු සර්ලා හරිම දේ කරන්න ඇතිය කියලා. ඒ අය මාව පරෙස්සම් කරලා නියම වෙලාවට එළියට දැම්මා. ඒ නිසයි මේ ලෝක කුසලාන දක්වා මේ තරම් දෙයක් කරගන්න මට ලැබුණේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here