මංගල සමරවීර යනු රජුන් තැනූ අද්විතීය නායකයෙක් – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

0

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට ශෝකය පළකිරීමක් අද පැවත්විය.එහිදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ පිය උරුමයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලන ගමන් මඟට අවතීර්ණව, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් 1989 වර්ෂයේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කර තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ අමාත්‍ය ධූරය හිමිකර ගත් ලාබාලම අමාත්‍යවරයා වූ මංගල සමරවීර මැතිතුමාගේ අ’භාවය පිළිබඳ තම පළ කර සිටින බවයි.

එතුමාගේ පියා වූ මහානාම සමරවීර මැතිතුමා 1952 දී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ද 1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – මහජන එක්සත් පෙරමුණ රජයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වූ අතර, දිවංගත S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමන් යටතේ අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරන ලදී. ඛේමා පද්මාවතී සමරවීර මැතිණිය එතුමාගේ ආදරණීය මෑණියන් වූ අතර, එතුමිය මාතර නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් විය. එම දෙපළට දාව 1956 අප්‍රේල් මස 21වන දින මංගල සමරවීර මැතිතුමා ජන්ම ලාභය ලැබුවා.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලැබූ ගරු මංගල සමරවීර මැතිතුමා, ලන්ඩන් ශාන්ත මා(ර්)ටින් කලා පාසල තුළින් ඇඳුම් නිර්මාණ හා තාක්ෂණවේදය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමෙන් පසුව කැළණිය විශ්වවිද්‍යාලයේ, සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් ද කටයුතු කළා. එමෙන්ම රෙදිපිළි කර්මාන්ත අමාත්‍යාංශයේ උපදේශක ධූරයක් ද දැරුවා.

1980 දශකය අග භාගයේ උතුරු – නැගෙනහිර හා දකුණේ මි’ලිටරිකරණයට හා ජා’තිවාදයට විරුද්ධව සක්‍රීයව ක්‍රියාත්මක වූ “මව් පෙරමුණ” සංවිධානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සම කැඳවුම්කරු ලෙසත් සුදු නෙළුම් ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙසත් කටයුතු කළා. ඉතිහාසයේ අඳුරු යුගයක ගි’නි තබා වි’නාශ කරන ලද යාපනයේ මහජන පුස්තකාලය ගොඩනැංවීමේ අරමුණින් 1997 ‘පොතයි ගඩොලයි’ නම් වූ ව්‍යාපාරයට ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා සමඟ එක්ව අමිල මෙහෙවරක එතුමා නිරත වුනා.

එතුමා 1994 පොදු පෙරමුණු ආණ්ඩුව බලයට ගෙන ඒමට පුරෝගාමීව කටයුතු කළා.එතුමා 1994 සිට 2019 දක්වා විවිධ අවස්ථාවල විවිධ විශය ක්ෂේත්‍රයන් හි අමාත්‍ය ධුර දැරූ මෙම ගරු සභාව නියෝජනය කරන ලද ජ්‍යෙෂ්ඨ දේශපාලන‍ඥයෙක් ලෙස අවිවාදයෙන් හඳුන්වා දෙන්නට පුලුවන්.

1994 වස‌ෙර් දී වරාය සහ විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ මහජන උපයෝගීතා අමාත්‍යවරයා ලෙස තීරණාත්මක කාර්යභාරයක් සිදු කළා.ඔහු පාඩු ලබමින් තිබූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ අභියෝගය බාර ගත්තා. ඒ වගේම මාධ්‍යයට සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වා දීම, නාගරික සංවර්ධන, ඉදිකිරීම සහ මහජන උපයෝගීතා අමාත්‍යවරයා ලෙස බේරේ වැව පිරිසිදු කර අලංකරණය කිරීම හරහා කොළඹ නගරය අලංකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රිචඩ් ද සොයිසා නිවාස සංකීර්ණය ඉදිකර ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ලබාදීම සහ ජනමාධ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම එතුමා අතින් සිදු වූ සේවාවන් අතර ඉදිරියෙන්ම දක්වන්නට පුළුවන්.

ඔහු 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ විදේශ අමාත්‍යවරයා මෙන්ම වරාය හා ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. එසේම 2015 – 2019 ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා ලෙසත් පසුව මුදල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා.

දේශපාලනඥයෙකුට තිබිය යුතු දේශපාලන ඉව සහ ජනමනස කියවීමේ හැකියාව අනූනව තිබූ දේශපාලන නායකයෙකු ලෙස මංගල සමරවීර මැතිතුමා අවිවාදයෙන් හඳුන්වාදෙන්නට පුළුවන්. ඔහු ලාංකික දේශපාලනයේ සිටි නිර්මාණාත්මකම සහ රජුන් තනන්නන් අතර ප්‍රමුඛයෙක්.

ඔහු දැරූ මතවාදයන් කිසිලෙසක වෙනස් නොකල දේශපාලනඥයෙක්. ඒ වගේම සමාජයේ සියළු පංති , ආගම් , වයස් , සියළු දේශපාලන කණ්ඩායම් සමග සමව සම්බන්ධතා පැවැත් වූ නායකයෙක්.

ලාංකික දේශපාලනයේ ඔහු දැරූ අමාත්‍ය ධුර සහ ඒවාගේ බලය සහ වගකීම බැලුවම එය දෙවැනි වෙන්නෙ ජනාධිපති ධුරයටත් අග්‍රාමාත්‍යධුරයටත් පමණයි. ඔහු කුමන දේශපාලන කඳවුරක් නියෝජනය කලත් සියළු දෙනා සමග කුළුපග මිත්‍රයෙකු ලෙස කටයුතු කළා.

විශේයෙන් 2005 වසරෙදි පැවැත් වූ ජනාධිපතිවරණයේ දි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ මෙහෙයුම් කළමණාකරුවා ලෙස කටයුතු කරමින් ඔහු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කලා.

කොරෝනා රෝගය අපේ රටේ ජනතාව පී’ඩාවට පත්කරද්දි අපේ රටේ ජනතාවට එන්නත් ලබා දෙන්න ප්‍රමුඛතාව ලබාදෙන්න කියල එතුමා එක්සත් ජනපද ප්‍රධානීන්ගෙන් පෞද්ගලිකවම ඉල්ලීම් ඉදිරිපත් කරන්නට කටයුතු කළා.

වසර 30 කට අධික පාර්ලිමේන්තු දේශපාලනයෙන් 2019 වසරේ තරමක් ඈත් වුනු ඔහු සමාජ මාධ්‍ය ජාලයන් තුල ක්‍රියාකාරී වෙමින් සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටියා.

ඔහු වැනි දේශපාලනඥයෙක් ඕනෑම දේශපාලන කඳවුරකට ශක්තියක්.
ගරු මංගල සමරවීර මැතිතුමා සිය දේශපාලන ගමන්මඟ තුළින් ජනතාව වෙනුවෙන් සිදුකළ විශාල සේවය, දේශපාලනමය වශයෙන් ඇගයීමකට ලක් කිරීම ජනතා නියෝජිතයන් වන අපගේ වගකීමක්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අවුරුදු තිහකුත් (30) මාස තුනකුත් (03) දින දහ අටක් (18) පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දේශපාලන ගමන් මඟේ නියැලෙමින් සමස්ත ශ්‍රී ලංකාද්වීපය තුළ ජනතාවට සුවිශාල සේවයක් සිදු කළ ගරු මංගල සමරවීර මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

එසේම මෙම උත්තරීතර සභාවේ ශෝකය, එතුමාගේ සොහොයුරිය ඇතුළු ඥාතීන් වෙත දන්වා යවන ලෙසද මම මෙම අවස්ථාවේ ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here