ඉවතලන බෝතල් විකුණා “අහිසංක අරමුදල’’ක් සෑදූ මාවානේ සෝමරත්න

0

තැන තැන විසිකර දමන දිරාපත් නොවන දෑ එකතු කරමින් ඒවා අලෙවි කර ලබා ගන්නා මුදල් දුප්පත් අසරණ දරුවන්ට අවැසි පොත් පත් ඇතුළු ද්‍රව්‍ය ලබා දීමට වෙහෙසෙන හැටපස් හැවිරිදි දෛරු පියකු පිළිබඳ මාවනැල්ලෙන් වාර්තා විය.

ආර්. එම්. පී. සෝමරත්න මීට වසර පහකට පෙර මෙම සත් ක්‍රියාව සඳහා අඩිතාලම යොදා තිබේ. මේ වන විට විශ්‍රාම සුවයෙන් කල්ගෙවුවද සෝමරත්න ඉඩම් මැනීමේ කටයුතු වලටද නිරත වේ. මාවනැල්ල නගරය ආසන්නයේ ඇති මාවාන ගම්මානයේ ජීවත් වන සෝමරත්න අපද්‍රව්‍ය විකිණු සියලු භාන්ඩ වල මුදල් වෙන් කර ඇත්තේ “අහිසංක අරමුදල’’ නමින් ආරම්භ කළ ගිණුමකටය.

ඔහු මෙම අරමුදල ආරම්භ කර ඇත්තේ තමා ජීවත් වන ප්‍රදේශයෙන් ගලා බසිනා මා ඔය දෙපස මෙන්ම අවට මාර්ගයන් අසල තැන තැන දමා විසිකර යන ම’ත්පැන් බෝතල්, ටින් කැබලි යන ආදිය එකතු කර ගැනීමෙනි.

මොනයම් හෝ විශේෂ ගමනකට සහභාගි වී නිවෙසින් පිටත් වී ගියත් දිරාපත් නොවන දෑ එකතු කර ඒවා අලෙවි කිරීම සිදු කරන්නේ එක් අතකින් පරිසරය ආරක්ෂා කර ගැනීමේ කටයුත්තටද හැකි පමණින් දායක වෙමිනි.

සිය වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දැක්වූ සෝමරත්න පවසා සිටියේ මෙවැන්නකි.

මට මතකයි ඉස්සර මම ගොඩාක් දුක් වින්දා. කාලයක් තිබුණා දවසකට එක කෑම වේලක් කාලා බඩ ගින්න්නේ හිටපු. කන්න නැති වෙලාවේට වතුර බිලා ඉඳලා තියෙනවා. ඒ වුණත් මාගේ දරුවන්ට හොඳට මම ඉගැන්නුවා. මාගේ ලොකු පුතා ඉතාලියේ ඉංජිනේරුවෙක් විදිහට සේවය කරනවා.

මුලින්ම පාරේ වැටිලා තිබුණු හිස් බෝතලයකින් තමා වැඩේ පටන් ගත්තේ. ඒ බෝතලය මම ඒ දවස්වල විකුණුවේ රුපියල් දෙකට. දැන් රුපියල් විස්සටත් බෝතල් විකුණ්න පුළුවන්. ඒ ඔක්කොම සල්ලි යන්නේ අරමුදලට බව ඔහු පැවසුවේය.

සල්ලි වලට මදි පාඩු වූ අවස්ථා වල අතේ ඇති මුදල ඒ සඳහා යොදවා පොත් පෑන් පැන්සල් පැකට් කර දුප්පත්ම දරුවන්ට බෙදලා දෙන අවස්ථාවද ඇති බව ඔහු පවසා සිටියේය. ඇතැම් අවස්ථාවලදීද සෝමරත්න මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්ද පිටපළාත් වල දරුවන්ට පොත්කට්ටල ලබා දීමට කටයුතු කර තිබිණි. මම පරිසරය සුද්ධ කරනවා ඒකෙන් පරිසරයත් ආරක්ෂා වෙනවා. යැයිද සොමරත්න පවසා සිටියේය.

ජීවත්ව සිටින තාක් කල් මෙම කටයුත්ත ඉදිරියටත් සිදු කිරීමට සෝමරත්න අදහස් කර ගෙන තිබේ. මෙම සමාජ ආදර්ශමත් ක්‍රියාව නිසා බොහෝ දෙනකු මේ වන විට “අහිසංක අරමුදල’’ට පරිත්‍යාගයන් සිදු කිරීමටද පෙළඹී ඇත.

ඒ නිසාම මාවනැල්ල නාගරික සුබ සාධක සංගමයේ නිලධාරීන් විසින් සෝමරත්නගේ සේවය අගයමින් ඔහුට උපහාර තිලිණයක්ද ප්‍රදානය කරන්නට වීය. එදිනද ඔහු දුප්පත් දරුවන් වෙනුවෙන් පොත්පත් පරිත්‍යාග කරන්නට විය.

ඔහුගේ මෙම සේවය මැති ඇමැතිවරුන් මෙන්ම රජයේ නිලධාරීන්ගේද අගයුමට ලක්ව තිබුණු බව සෝමරත්න අප සමඟ කියා සිටියේ ආඩම්බර ස්වරයෙනි. ඔහු විසින් මුල් වී මීට වසර තිස් අටකට පමණ පෙර ආරම්භ කළ මාවාන ගම්මානයේ අවමංගල්‍යාධාර සමිතියෙන්ද උපහාර තිලිණයක් ලබා දීමට කටයුතු කර තිබුණි.

එම අවමංගල්‍යාධාර සමිතියේ යම් සමාජිකයකු මිය ගිය හොත් තමන්ට ඇති ශබ්ද විකාශන යන්ත්‍රය තමා විසින්ම ඒම නිවසේ අවසන් කටයුතු අවස්ථාවේ සවි කර එයද නොමිලේම ලබා දීමට තරම් ඔහු දෙපාරක් නොසිතයි.

දිනපතා ජාතික පුවත්පත් සෑම එකක්ම මිලදීගෙන එම පුවත්පත් වල මාවනැල්ල අවට ඇති විශේෂ පුවත් එකතු කර පොතක අලවා ද තිබේ. වසරින් වසර මාවනැල්ලේ සිදු වූ විශේෂ සිදුවීම් සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් සමග සෝමරත්න සංවාදද පවත්වා ඇත.

සමන් විජයබණ්ඩාර – මාවනැල්ල ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here