පෙර කිසිඳා නොවූ ලෙස කොළඹ ට්‍රැෆික් එකට විසඳුම් රැසක්..

0

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ඉදිකරන විනිසුරු අක්බාර් මාවතේ සහ උත්තරානන්ද මාවත් වල ඉදිවන ද්විත්ව ගුවන් පාලම් වල ඉදිකිරීම් වල වර්ථමාන තත්ත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා නිරත විය.

මැලේ වීදියෙන් ප්‍රවේශය ලබා ගන්නා විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරනු ලබන ගුවන් පාලම කොම්පඤ්ඤ වීදියේ දුම්රිය හරස් මාර්ගය හරහා ඉදිකිරිමේදී එය මීටර් 5.3ක් උසින් ඉදිකරනු ලබයි. මැලේ වීදියේ සිට කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය දක්වා ඇති ගුවන් පාලමේ යටි කොටසේ වාහන නවතා තැබීම සදහා රථගාලක් ඉදිකිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය මෙම නිරික්ෂණ චාරිකාවේදී යොමු විය.

එමෙන්ම රථගාල ඉදිකරන මාර්ග දෙපස කන්ටේනර් රථ ගමන් කිරිම සදහා සේවා මංතීරු ඉදිකරනු ලබන බවද එහිදී එම ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ නලින්ද රත්නායක මහතා ප්‍රකාශ කරන ලදී.

උත්තරානන්ද මාවතේ ඉදි කරනු ලබන ගුවන් පාලමට සමගාමීව මාර්ගය දෙපස ඇවිදින මංතීරු ඉදිකිරීම කෙරෙහිද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිගින් මීටර 207ක් සහ පළලින් මීටර 8.4කින් යුක්තය. උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලම දිගින් මීටර 396කි. එහි පළල මීටර 9.4කි. මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 310කි. එහි පළල මීටර 6.9කි. මේ සඳහා රුපියල් මිලියන 5270ක් වැයවේ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ නලින්ද රත්නායක ඇතුළු ඉදිකිරිම් භාර කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයන් පිරිසක් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here