කොස් කොළ සල්ලිකොළ කරන “කොස්කොළී’’

0

නදීකා සඳමාලී සේනානායක සුවිශේෂි නිර්මාණකරණය නිසාම නොච්චියාගම ඇත්පන්තිය ගමේ ප්‍රසිද්ධ වී ඇත්තේ “කොස්කො‍ළී’’ නමින්ය. ඒ අන්කිසිවක් නිසා නොව අතුගා දමන කොස් කොළයට ඇය විසින් ලබා දී ඇති වටිනාකම නිසාවෙනි. අනුරාධපුර විල්පත්තු වනෝද්‍යානය පෙනෙන නොපෙනෙන මානයේ ජීවත් වන “කොස්කො‍ළී’’ පවුලේ එකම දරුවා වේ.

අඹගහවැව විද්‍යාලෝක මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරා බුළංකුලම මහා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරූ ඇය දැනට රජරට විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුවියක් ලෙස සමාජ විද්‍යා විශේෂවේදී උපාධියක් හදාරන්නීය.

දැනට අවුරුදු දෙකකට පෙර කොස් කොළ නිර්මාණයට යොමු වූ නදීකා “අරුණ’’ පුවත්පතට අදහස් දැක්වූවාය.

“මම පුංචි දවස්වල ඉඳලා පරිසරයට හරිම ආදරය කළා. පුංචි පන්තිවලදී පොත් වල පැළෑටි, ගස්වල කොළ ඇලවීම, පොල්කුඩු වලින් නිර්මාණ කිරීම වගේ දේවල් හරිම ආසාවෙන් කළේ. දවසක් ටීවි එකේ ගියා ශාක පත්‍ර වලින් නිර්මාණ කරන විදිහ ගැන බලලා කෙසෙල් කොළ, මානා කොළ වගේ දේවල් යොදා ගෙන පුංචි පුංචි නිර්මාණ කළා. ඒත් අධ්‍යාපන කටයුතු හින්ද මම ඒ නිර්මාණ වලින් පොඩ්ඩකට ඈත් වුණා.

එමෙහ ඉන්නකොට පසුගිය කොරෝනා කාලේ ලැබුණු නිදහසත් එක්ක විශ්වවිද්‍යාලයේ පැවැරුමක් දුන්නා. කොවිඩ් කාලය යහපත් හෝ අයහපත් ආකාරයට යොදා ගැනීම සම්බන්ධව. මම ඒ පැවරුමට මගේ නිර්මාණ සම්බන්ධව අලුතින් සිතලා එය වැඩිදියුණු කරන්න උත්සාහ කළා. මම මුලින්ම කොස්කොළෙන් කපපු නිර්මාණය තමයි බැලේ නර්තන ශිල්පිනියක්. එය සමාජ මාධ්‍ය හරහා සමාජ ගත කළා. ඒ උත්සාහය තමයි අද මේ විදිහට ජයග්‍රහණය කරලා ති​යන්නේ.” ඇය පැවසුවාය.

මෙම කැටයම් ඉතා සියුම් හා ඉවසීමෙන් සිදු කළ යුතු නිර්මාණයක් බව කොස්කොළී කියා සිටියාය. ඒ ඒ නිර්මාණ සඳහා වෙන වෙනම කොස් කොළ තෝරාගත යුතුය ඇය සඳහන් කළාය.

නිසිලෙස පදම් කර ගන්‍නා කොස් කොළයට ඇය විසින් සදා ගත් කල් තබා ගැනීමේ දියරයක් ඉසියි. එමගින් නිර්මාණ අවපැහැගැන් වීමක් හෝ පලුදු වීමක් සිදු නොවන බව “කොස්කොළි” සිය නිර්මාණය පෙන්වමින් පැවසීය. ඒ වෙනුවෙන් ඇය විසින් වගකීම් සහතිකයක්ද ලබා දේ.

මුලින්ම ඒක නිර්මාණයක් නිම කිරීම සඳහා ඇයට සති හතරක පමණ කාලයක් ගතවුවද මේ වන විට සති දෙකකින් පමණ නිර්මාණයක් සිදු කරන්න හැකියාවක් ඇයට ඇත.

මේ වන විට සමාජ මාධ්‍ය හරහා ඇයගේ නිර්මාණ සම්බන්ධව දැනුවත්ව සිටින බොහෝ පිරිසකගෙන් ඇණවුම් ලැබෙමින් පවතින බව ඇය අරුණ සමග කියා සිටියාය. කොස්කොළී සිය නිර්මාණ රුපියල් 3,800 සිට රුපියල් 9,000ක පමණ මිලකට අලෙවි කරන්නීය.

වෙනත් පත්‍ර වර්ග යොදාගෙන නිර්මාණ කරන පිරිසක් අපේ රටේ සිටියත් කොස්කොළ යොදා ගනිමින් නිර්මාණයක් පළමු වරට සිදු කර ඇත්තේ ද කොස්කොළී විසිනි. දැන් දැන් ඒ සම්බන්ධ නිර්මාණ කරන, අත් හදා බැලීම් කරන පිරිසක් බිහි වෙමින් සිටින බව ඇය කියා සිටියේ ආඩම්බර ස්වරයෙනි.

මෙතෙක් කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක සහයෝගයක් හිමි වී නොමැති බව පවසන කොස්කොළී වැඩිදුරටත් පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here