ප්‍රේක්ෂකයන් නැතුව අයි.පී.එල්. 14 වැනි දිගහැරුම අද සිට…පළමුවරට සංගාටත් තනතුරක්

0

ලොව ප්‍රමුඛතම ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වශයෙන් සැලකෙන අයි.පී.එල්. තරගාවලියේ 14 වැනි දිග හැරුම අද  චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත. තරගාවලිය ආරම්භ කරමින් ඉකුත් ශූර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද රාත්‍රි 7.30ට තරග වැදීමට නියමිතය.

උද්ගත වයිරස තත්ත්වය හමුවේ 2020 වසරට අදාළ 13 වැනි අයි.පී.එල්. තරගාවලිය පවත්වා (සැප්තැම්බර් සහ නොවැම්බර්) මාස 05ක් ගත වීමටත් පෙර 2021 තරගාවලිය පැවැත්වීම කැපී පෙනෙන කාරණයක් විය.

ඉන්දියාවේ නිමාවට පත් වූ රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂයකයන්ට අවසරයක් ලැබී තිබුණත්, අයි.පී.එල්. තරගාවලිය ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට සංවිධායකයන් පියවරගෙන තිබේ.

13 වැනි අදියර අවසන් වීමත් සමගම 2021 තරගාවලියට තවත් කණ්ඩායමක් හෝ දෙකක් එකතු කරන බවට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශකර තිබුණි.

කෙසේ නමුත් පෙර පැවැති කණ්ඩායම් 8ම මෙවර තරගාවලිය සඳහා සහභාගි වේ. කණ්ඩායම් අතර යම් වෙනසක් සිදුවූයේ නම් ඒ කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායමේ නම පංජාබ් කිංග්ස් යනුවෙන් වෙනස් වීම පමණි.

මුම්බායි, චෙන්නායි, කොල්කටා, බැංගලෝර්, දිල්ලි සහ අහමදාබාද්හි පිහිටි ක්‍රීඩාංගණ 6ක මෙවර තරගාවලිය ක්‍රියාත්මක වේ. සමස්ත තරග 60කින් සමන්විත මෙවර තරගාවලියේ අවසන් මහා තරගය මැයි 30 වැනිදා පැවැත්වෙනු ඇත.

මෙතෙක් පැවැත්වූ තරග වාර 13ක් අවසානයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරතා 5ක්, චෙන්නායි සුපර්කිංග්ස් ශූරතා 3ක් දිනා ගනිමින් ශූරතා දිනූ කණ්ඩායම් අතර පෙරමුණේ පසුවේ.

මෙවර අයි.පී.එල්. තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව තෝරා ගෙන නොතිබූ අතර ගියවර තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඉසුරු උදානටද මෙවර අවස්ථාවක් ලැබී නොතිබුණි.

කෙසේ නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීගයේ විශිෂ්ටතම පුහුණුකරුවෙක් වන මහේල ජයවර්ධන මෙවර මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කරනු ඇත. තවද, ගිය වසරේදී මෙන්ම මේ වසරේදීත් සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ පන්දු යැවීමේ පුහුණුකරුවකු වශයෙන් මුත්තයියා මුරලිදරන් කටයුතු කරනු ලබයි.

පළමු වරට අයි.පී.එල්. තරගාවලියේ කණ්ඩායමක නිලධාරියකු වශයෙන් එක්ව සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර රාජස්තාන් රෝයල්ස් පිලේ ක්‍රිකට් අධ්‍යක්ෂ වශයෙන් සිය දායකත්වය ලබාදෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here