මෙහෙම තරඟයක් තියෙනව කියල මම දැනගත්තෙත් පත්තරෙන්…4 වෙනිදා තරඟට නොපැවෙත්වෙන ලකුණු

0

ශ‍්‍රී ලංකන් ලෙජින්ඞ්ස් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සුහද ක‍්‍රිකට් තරගය මේ අවස්ථාවේදී පැවැත්වීම නුසුදුසු බව ලෙජන්ඞ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ ට පැවසීය.

මෙම කණ්ඩායම් දෙක අතර තරගය ලබන මස 04 වැනිදා මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේදී පැවැත්විමට තීරණය කර ඇති අතර පේ‍්‍රක්‍ෂකාගාරයට යෙදවිය හැකි පේ‍්‍රක්‍ෂකයින්ගෙන් සියයට 20 ක් පමණ සහභාගී කරවීමටද තීරණය කර ඇත.

එම තරගය සම්බන්ධයෙන් ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ ලෙජන්ඞ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පළ කළ අතර තව දුරටත් ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ හමුවේ මෙසේද පැවසීය.

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම මේ වන විට සිටින තත්ත්වය ගැන අපි කවුරුත් දන්නවා. මේ තරගයේ පීඩනය එල්ල වෙන්නේ ඔවුන්ට. ඔවුන් තව මාස කිහිපයකින් ලෝක කුසලාන තරගාවලියකට සහභාගී වීමට නියමිතව සිටිනවා.

ජ්‍යෙෂ්ඨ ක‍්‍රිඩකයෙකු හැටියටත් හිටපු නායකයෙකු හැටියටත් මං කියන්නේ අපේ කණ්ඩායම් දෙක අතර තරගය පැවැත්වුවහොත් එය අපි ජාතික කණ්ඩායමට කරන අසාධාරණයක් වෙනවා. ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වනවිට ඉහළ මානසිකත්වයකින් හා දක්‍ෂතාවලින් යුතු කණ්ඩායමක්. අපට පරාද වෙන්න බලාගෙන ක‍්‍රිකට් ගහන්න බැහැ. අපි දිනනවා කියන්නේ ජාතික කණ්ඩායම පරදිනවා. ජාතික කණ්ඩායම පරදිනවා කියන්නේ ඔවුන් තවත් පහළට වැටෙනවා. පත්තරවලින් ඒ අයට පන්න පන්නා ප්‍රශ්න කරයි.මිනිස්සු හූ කියයි. ඇයි අපි ජාතික කණ්ඩායම ඒ තත්ත්වයට පත් කරන්නේ. අපේ යුතුකම ඔවුන්ව රට වෙනුවෙන් නගාසිටුවීම නේද?

දිවයින ඉරිදා සංග‍්‍රහය – ඔබෙන් විමසීමක් කරලා නොවේද මේ තරගය පවත්වන්න සංවිධානය කරලා තිබෙන්නේ.

ඩිල්ෂාන් – නැහැ. මම දැන ගත්තෙත් පත්තර වලින්.

දිවයින ඉරිදා සංග‍්‍රහය – මෙය ඔබගේ පෞද්ගලික මතයද?

ඩිල්ශාන් – ඔව්. ඒත් මම කණ්ඩායමේ හැම ක‍්‍රීඩකයෙකුටම වගේ කතා කළා. ඔවුන් බහුතරයක් දරන්නෙත් මගේ අදහස තමයි. මෙය ඊට සුදුසු වෙලාව නොවේ.

දිවයින ඉරිදා සංග‍්‍රහය – එසේ නම් තරගය සඳහා ඔබ යෝජිනා කරන දිනයක් තිබේද?

ඩිල්ෂාන් – ලෝක කුසලානයෙන් පසුව තරගය පවත්වමු. එය හැමදෙනාටම හොඳ වේවි.

දිවයින ඉරිදා සංග‍්‍රහය – ඔබ මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළාද?

ඩිල්ෂාන් – නැහැ. තවම නැහැ. මෙහෙම තරගයක් පවත්වනවා කියලා බලධාරීන් මාව දැනුවත් කරෙත් නැහැනෙ.

කුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here