කෑමවල දශමයක්වත් වස තියෙනවට මම විරුද්ධයි

0

තම කුසින් උපන් දරුවන්ට ව ස වි ස කවන්නට අම්මෙකුට බැරිය.ඒ නිසා මව්හත් ගුණ පිරුණ අම්මා කෙනෙක් හැමවිටම තම දරුවන්ට හොඳ දේ දෙන්නටය. තම දරුවන්ට පමණක් නොව සමස්ත ජාතියේම දරුවන්ට වසවිසෙන් තොර ආහාර කවන්නට උත්සාහ කළ ඇයද එවැනිම අම්මා කෙනෙකි.

නමුත් නයාගේ වලිගයෙන් අල්ලාගත්තාක් මෙන් අත්වැරදීමකින් සිදුකළ ප්‍රකාශයක් නිසා ඇගේ ඒ මව්හත් ගුණයට පෙර මුළුමහත් රටම අල්ලාගත්තේ ඒ ප්‍රකාශයය.ඒ කෙසේ වෙතත් මේ සිදුවූ සියලු දේ සම්බන්ධව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වශයෙන් සිද්ධිකා සේනාරත්න මහත්මියටද කීමට කතාවක් ඇත. මේ ඇය ‘ධරණී’ට කියූ ඒ කතාවයි.

ඔබ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත්වෙලා දැන් කොච්චර කාලයක්ද?

2018 අගොස්තු මාසේ තමයි මම එම තනතුරට පත්වුණේ.

‘ චුට්ට කාලයක් ‘ කියලා කියපු වචනයක් නිසා නේද පහුගිය සතියේ මෙච්චර ලොකු ආන්දෝලනයක් ඇති වුණේ?

ඔව්. මම එතැනදි අදහස් කළේ කිසියම් කර්මාන්තකරුවෙක් ඔහුගේ නිෂ්පාදන සඳහා SLS සහතිකකරණය සඳහා අයැදුම් කරද්දී එම නිෂ්පාදන අදාළ ප්‍රමිතීන්ට අනුකූල නොවන අවස්ථාවක ගන්නා ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙනුයි.එහිදී අපේ නිලධාරීන් අදාළ ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් එය අනුගත කිරීම සඳහා කර්මාන්තකරුවන්ට යම් සහනදායක කාලයක් ලබාදෙනවා කියනෙක නෙමෙයි මම කිව්වේ. මෙහිදී එම නිෂ්පාදකයන්හට අදාළ ප්‍රමිතීන්ට අනුකූල ලෙස නිෂ්පාදන කටයුතු කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂණික උපදෙස් ලබාගත යුතු පරීක්ෂණාගාර සේවා සහ පහසුකම්, උපකරණ ක්‍රමාංකන පිළිබඳ උපදෙස් ලබාදෙන බවයි කිව්වේ.

කවුරු මොනවා කිව්වත් අපි අහලා තියන විදියටනම් ආ ස නි ක් අඩංගු සැමන් ආනයනයට තදින්ම විරුද්ධ වුණෙත් ඔබ. එහෙම නේද?

සැමන් කිලෝග්‍රෑම් එකකට ආ ස නි ක් මිලි ග්‍රෑම් එකක් තිබුණට කමක් නෑ කියලනේ කිව්වේ.ඒත් මගේ මතය වුණේ මිලි ග්‍රෑම් එකක් නෙවෙයි දශම එකක්වත් මිනිස්සුන්ට ආ සනික් කවන්න ඕන නෑ කියන එක. ඒ නිසා ආ ස නි ක් අඩංගු සැමන් සියල්ලම ප්‍රතිඅපනයනය කරන්න මම කටයුතු කළා. ඒ වගේ දේවල් වෙන්න ඉඩදෙන්න එපා කියලා රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් මම දිගින් දිගටම කිව්වා.

ඒ විදිහට කෙලින් වැඩ කරද්දී බලපෑම් එහෙම ඇවිල්ලා නැද්ද?

මොකද නැත්තෙ?ආනයනකරුවන්ගෙන් වගේම, දේශපාලනික වශයෙනුත් මට සෑහෙන්න බලපෑම් ආවා. නමුත් මම ඒ කිසිම දේකට යට නොවී මගේ රාජකාරිය හරියට කළා.

හැබැයි ඒ සේවයට වඩා වැරදිලා කියපු වචනයක් නේද ජනතාව අතරට ගියේ?

ඔව්. මම මේ දක්වා මුදල් අවභාවිත කරලා නෑ.මගේ හිතට එකඟව මිනිස්සුන්ට ව ස වි ස නැති ප්‍රමිතියෙන් උසස් ආහාර පාන විතරක් දෙන්න මම මගේ සේවා කාලය තුළ උපරිම කැපවෙලා තියනවා.ඒත් සමාජ මාධ්‍ය වල ව ස රැජිණ කියලා පෝස්ට් හදලා මාව අපහසුතාවයට පත්කරන්න පිරිසක් උත්සාහ කරනවා. ඒවට කිසිම සම්බන්ධයක් නැති මගේ පුතාවත් ගාවගෙන. ඒකයි මට තියන කණගාටුව.ආයතනය ඇතුලේ හතර දෙනෙකුගේ විතර වැඩ තනියම කරන මට තමයි මිනිස්සු මෙහෙම චෝදනා කරන්නේ.

ඔබ සේවය ගැන කළකිරීමෙන් ද ඉන්නේ ?

ඇත්තටම නැහැ. මම රට ගැන හිතන කෙනෙක්. මට පෝස්ටු හදන එක්කෙනා දෙන්නා, ඇරුණම අනිත් අය මම කවුද, කොහොමද වැඩ කරන්නෙ කියලා දන්නවා.

ප්‍රමිති ආයතනය තුළ මෙතෙක් ඔබේ කාර්යභාරය ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව්. ප්‍රමිති ආයතනය කියන්නේ රටට ලොකු සේවයක් කරන ආයතනයක්. ප්‍රමිතියෙන් තමයි රටක් දුවන්නෙ.මීට කලින් ඊට ලොකු තැනක් දීලා තිබුණේ නැහැ. ඒත් වර්තමාන ජනාධිපතිතුමා ඊට වටිනාකමක් එක්කරමින් ඉන්නවා. ආනයනකරුවන් නිතරම කැමතියි ලාභය පදනම්ව අඩුවට බඩු ගේන්න.

නමුත් එවැනි අඩුමිල බඩුවල ප්‍රමිතියේ ගැටළු තියෙනවා.ප්‍රමිතිය කියන්නේ හරිම බලසම්පන්න දෙයක්. ප්‍රමිතියෙන් අඩු නිෂ්පාදන රටට එන එක නතර කරන්න පුළුවන් වෙන්නෙත් ප්‍රමිතියටම විතරයි.මේ SLS කියන්නෙ බල සම්පන්න දෙයක්. එය අපේ රට තවම හරියට පාවිච්චි කරලා නෑ.ඒ තත්ත්වය ඇති කරන්න ලොකු කාර්යයක් කරන්න වෙනවා.දැනට මට මේ ආයතනයේ අවශ්‍ය නිලධාරීන්ගේ පවා අඩුවක් තිබෙනවා.එවැනි තත්ත්වයකත් මම 2019 වසරේ මිලියන ගණනකින් ආදායම වැඩි කරලා මගේ කාර්යභාර්යය හරියට කරලා තියෙනවා.

ඒ කතාව පැත්තක තියමුකෝ. ඔබ පි  ය යු රු පි ළි කාවට ඖෂධයක් හොයාගත්ත කෙනෙක් කියන්නෙ ඇත්තද?

ඔව්.මම එංගලන්තයේ UOLහි උසස් අධ්‍යාපනය ලබන කාලෙදි මට පැවරුණු රිසර්ච් එක නිසා තමයි ඒ ඖෂධය හොයාගන්න පෙළඹුණේ. සාමාන්‍යයෙන් පි ය යු රු පි ළකාවක් හැදුනම පි ළ කා සෛල අස්ථියට ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩියි.මම හොයාගත්ත ඖෂධය මගින් අන්න ඒ විදියට අස්ථීය දක්වා ව්‍යාප්ත වෙන එම සෛල විනාශ කරන්න පුළුවන්.ලෝකෙ පළවෙනි වතාවට තමයි එහෙම ඖෂධයක් හොයාගත්තෙ.

දැනට ඒ ඖෂධය පාවිච්චි වෙනවද?

ඔව්. ලංකාවෙත් භාවිතා කරනවා.සොනීටා තමයි ඖෂධයේ නම.

එතකොට ඒකෙ අයිතිය ඔබේ නමටද තියෙන්නෙ?

නෑ. ඒ අයිතිය ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරන්න ඇත්තටම ඒ කාලෙ මට ලොකු අවබෝධයක් තිබුණෙ නෑ.නමුත් මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

(ධරණි සඟරාවේ පළවූ ලිපියකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here