රන්ජන්ට ජනාධිපති සමාව දුන්නොත් පක්ෂයක් හැටියට පිළිගන්නවද ?

0

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය – රන්ජන් රාමනායක වෙනුවට පාර්ලිමේන්තුවට ආව අජිත් මාන්නප්පෙරුම ඔබේ මන්ත්‍රීවරයෙක් වශයෙන් පිළිගන්නෙ නැද්ද?

පිළිතුර – ඇයි පිළිගන්නේ නැත්තේ. එතුමා අපේ පක්ෂයේ. ලිස්ට් එකේ ඊළඟට නම තිබුණේ එතුමගේ. එතුමාට තමයි පුරප්පාඩු වෙච්ච මන්ත්‍රී ධුරයට අයිතිවාසිකම තියෙන්නේ. එතුමා අපේ මන්ත්‍රීවරයෙක්.

ප්‍රශ්නය – නමුත් ඔබලා පසුගිය කාලයෙම පාර්ලිමේන්තුව දෙවනත් කළා රංජන් ඕනෑ කියලා. ඒකෙන් කියැවෙන්නේ අජිත් මාන්නප්පෙරුම එපා කියලනේ?

පිළිතුර – එහෙම නොවෙයි. අපි රංජන් වෙනුවෙන් කතා කළේ සහෝදර මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාට සාධාරණය ඉටු කරන්නයි.

අභියාචනාධිකරණයෙනුත් කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නාම මන්ත්‍රී ධුරය අහෝසි වෙනවා කියලනේ. නමුත් අපට උවමනා වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සාධාරණය ඉටු කර දීමටයි.

ප්‍රශ්නය – ඔබ අධිනීතිඥවරයෙක්. ඔබ නීතිය හොඳටම දන්නවා. එහෙම දැන දැනත් පාර්ලිමේන්තුවේ ක ල බල කළේ පාර්ලිමේන්තුවේ වැඩ අවුල් කරන්නයි.

පිළිතුර – එහෙම කිසිම අරමුණක් තිබුණේ නෑ.චො කා මල්ලිවත් පාර්ලිමේන්තුවට ගෙනාවා. එහෙම එකේ උසාවියට අ ප හා ස කළා කියන චෝදනාවට හිරේ ගිය රංජන්ට පාර්ලිමේන්තු එන්න බැරිවෙන්නේ කොහොමද? අපේ තර්කය වුණේ දඬුවම සැර වැඩියි කියලයි.

ප්‍රශ්නය – නමුත් දඬුවම තීරණය කළේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

පිළිතුර – ඒ වුණත් අපේ මතය වුණේ ඒ තීන්දුව තද වැඩියි කියලයි. නායකතුමත් කිව්වේ මමත් කිව්වේ අපි කවුරුත් කිව්වේ මේ තීන්දුව තද වැඩියි කියලයි. පිටරට මේ වගේ සිදුවීම් දිහා බලනකොට ඉතාම සරළ දඬුවම් දීලා තියෙන්නේ.

ඉන්දියාවේ නීතිඥ මහත්මයෙක් එයාගේ ෆේස්බුක් එකේ දැම්මා පින්තූරයක් එහෙ අගවිනිසුරුතුමා කොවිඩ් අස්සෙ බයික් එකක යනවා මාස්ක් එකක් නැතිව. ‘මේකද රටට දෙන ආදර්ශය’ කියලා ඒ නීතිඥ මහත්තයා අහලා තිබුණා. ඒ නීතිඥ මහත්තයා අධිකරණයට අ ප හා ස කළා කියලා රුපියලක දඩයක් ගැහුවේ. ඒ නීතිඥ මහත්මයා ඒ රුපියලේ දඩය ගෙව්වෙත් නෑ. මේ සිද්ධිය වෙන්නේ ඉන්දියාවේ. මෙතැන රංජන්ගෙන් වැරැද්දක් වුණා. මම නෑ කියන්නේ නෑ. නමුත් දඬුවම සැර වැඩියි. අපි දිගටම හිටියේ ඒ මතයේ.

ප්‍රශ්නය – ඇමැති මහින්දානන්ද කියලා තිබුණ ‘‘රංජන්ට ජනාධිපති සමාව ගන්න’’ උත්සාහ කරනවා කියලා. බැරි වෙලාවත් එහෙම සමාවක් ලැබුණොත් පක්ෂයක් විදියට ඔබලා එය බාර ගන්නවාද?

පිළිතුර – නෑ නෑ එහෙම දෙයක් ගැන අපි තාම සාකච්ඡා කරලා නෑ. අනික ඔය ප්‍රකාශය කරපු ඒ මහින්දානන්ද ඇමතිවරයගෙ ඔළුවෙ මොනවා තියෙනවද කියල අපි දන්නේ නෑ.

ප්‍රශ්නය – ඇමැති මහින්දානන්ද කිව්වා රංජන් කිව්වා කියලා එයාට හිරේ යන්න වුණේ සජිත් ප්‍රේමදාසගෙ උපදෙස් නිසා කියලා.

පිළිතුර – ඒවා මගෙන් අහන එක වැරැදිනේ. මම ඕවා දන්නෙත් නෑ. මම එතැන හිටියෙත් නෑ.

(ඉරිදා ලංකාදීප පුවත්පතෙන් උපුටාගැනීමකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here