රට ලොක්ඩවුන් කිරීම හැර විකල්ප නෑ..අඩුම සති දෙකක් මාසයක්වත් ලොක්ඩවුන් කළ යුතුයි – විශේෂඥ වෛද්‍ය මුදිත අබේකෝන් (VIDEO)

0

2020 වසරේ ජනවාරි 27 වනදා මෙරට පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී වසරකුත් මාස 03ක් ගතවෙද්දී මෙරට ආසාදිතයින් පොකුරුවලට සීමා නොවී සෑම දිස්ත්‍රික්කයකින්ම ආසාදිතයින් වාර්තාවීම දැන් සිදුවෙයි.

ගෙවුණු සතිය ආරම්භයේ ආසාදිතයින් 600 සීමාවේ පැවතියත් අඛණ්ඩව තෙවන දිනටත් දෛනික ආසාදිතයින් 1000 ඉක්මවා අද (29) වාර්තා විය.

මේ අතර ඊයේ ආසාදිතයින් 1,466ක් වාර්තා විය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ආසාදිතයින් 200 ඉක්මවා යද්දී කුරුණෑගල,කළුතර හා මාතලේ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 100 ඉක්මවා තිබුණි.

අද වනවිට මෙරට ජනගහනයෙන් සෑම ලක්ෂ 10කටම කොවිඩ් ආසාදිතයින් 4,747 දෙනෙකු වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවල දැක්වෙයි.

මොනරාගල, සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 26 දෙනෙකු ඊයේ තහවුරු වූ අතර ඉන් 16 දෙනෙකුම හෙලමුල්ල ගම්මානයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි.සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකු ද ආසාදිතයින් අතරට අයත් වේ.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පසුගිය 25 වනදා සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණ 347 ක ප්‍රතිඵල අනුව කොවිඩ් ආසාදිතයින් 83 දෙනෙකු අද තහවුරු වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.

මේ අතර, කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල පවතින පහසුකම් වැඩිකිරීමට පියවර ගෙන ඇතැයි හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මීට අමතරව අවශ්‍ය වුවහොත් තෝරාගත් සංචාරක හෝටල් කිහිපයක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරන බව හමුදාපතිවරයා සඳහන් කළේය.

කෑගල්ල දැරණියගල මැදකොටස ගම්මානයේ පසුගිය 25වනදා සිදුකළ PCR පරීක්ෂණවලින් 60 දෙනෙකු සහ ඊයේ ඉළුක්තැන්න ප්‍රදේශයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් 5 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ අතර කෑගල්ල මහ රෝහලේ ක්ෂුද්‍ර ජීව පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මුදිත අබේකෝන් මහතා කොවිඩ් වෛරසය විශාල වශයෙන් සමාජ ගත වී ඇති බව පවසනවා.

විශාල වශයෙන් මෙය සමාජගත වෙලා රැලි පිට රැලි දැන් පැමිණෙනවා. රෝහල්වල රෝගීන් ඇතුළත් කර ගැනීමේ ධාරිතාවය සම්පුර්ණ වෙමින් පවතිනවා. එය වළක්වා ගැනීම සඳහා අවාසනාවකට අපට කිසිම ක්‍රමවේදයක් නෑ මේ වෙලාවේ දී රට ලොක්ඩවුන් කිරීම හැර. අපි අඩුම ගානේ සති දෙකක් එහෙම නැත්නම් මාසයක් රට ලොක්ඩවුන් කරලා අපි රෝහල් ලෑස්ති කර ගත යුතුයි.

කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 237 දෙනෙකුට සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් 72 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ උඩබදලව ග්‍රාම නිලධාරී වසම අද (29) දහවල් සිට හුදකලා කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තේය.

මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 27 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

පසුගිය 27 වැනිදා මොරටුව සොයිසාපුරදී පුද්ගලයින් 113 දෙනෙකු සඳහා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව තවත් රෝගීන් 23 දෙනෙකු මෙලෙස හඳුනා ගෙන තිබූ අතර පෞද්ගලිකව සිදුකර ගෙන ඇති පී.සී.ආර්. පරීක්ෂණ මගින් තවත් 4 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here