කෝටි ගණන් ඇදුණත් සමහරු නැත්තටම නැති වුණා.

0

ඔහු හමුවනු පිණිස අප ගියේද තිස් හය වසරක් තිස්සේ ජාතික ලොතරැයියත් සමඟ බැඳුණු යාවුණු ගෙවුණු ඔහු දිවිසැරියේ සුබ අසුබ මතක මංපෙත් දිගේ ඇවිද යනු රිසියෙනි. ජාතික ලොතරැයිය ජන මන තුළ නවාතැන් ගත් යම් ඉඩ හසරක් වෙත්ද එපමණකටම ඒ ලොතරැයිය හා ඈඳී ජන හද ජයගත් නමක් වේනම් ඒ නම කණ්ඩම්බි යැයි මට සිතේ. දකුණේ කණ්ඩම්බි නාමය කොළඹ සවනතට එතරම් හුරු නැති හෙයින් ඇතැම් ප්‍රේක්ෂකයෙකුට කණ්ඩම්බි දමිළයකු වූයේය. කණ්ඩම්බි සිංහලයෙකු යැයි නොසිතුවන් අතර මමත් එක් අයෙක් වූවා මට මතකය.

කණ්ඩම්බි මහත්තයා හරි අපූරුයි. ඔයා දමිළ කෙනෙක් වෙලත් හරි ලස්සනට සිංහල කතා කරනවා…

නෑ මම සිංහල කෙනෙක්…කණ්ඩම්බි ඒ කාටත් දුන් උත්තරය අස ලැබුණේම මෙවන් ප්‍රතිචාරය.

ආ ඇත්තද… කණ්ඩම්බි කීවාම අපි හිතුවේ දෙමළ කියලා…

තවත් දවසක සංගීත ප්‍රසංගයක් ආරම්භයට පෙර දමිළ බසින් විස්තර ප්‍රචාරය ගෙන එන්නේ කණ්ඩම්බි යැයි ප්‍රේක්ෂකාගාරයට හඳුන්වා දෙනු ඇසුණේය. එදා නිවේදනය පිණිස වේදිකාවට ආ කණ්ඩම්බි මහතා මුලින්ම කළේ දමිළ බසින් නිවේදන කටයුතු කරන්නේ මම නොවේයි යැයි ඒ වරද නිවැරදි කිරීමය.

NLB කණ්ඩම්බි යන්න NLB (ජාතික ලොතරැයි මණ්ඩලය) සංකේතයක් (අයිකනයක්) බවට පත්වෙන්නට තරම් වසර තිස් හයක සේවා කාලය තුළ ඔහු ලොතරැයියටත් ලොතරැයිය හා රැඳුණු ජනතාවටත් ලොතරැයිය ඔස්සේ රටටත් දැක්වූ පංගුකාර මෙහෙවර අති විශිෂ්ටය.

මේ ආමන්ත්‍රණවේදියාගේ ගම්දොර දකුණේ මාතර දිසාවේ ගොම්බද්දලය. උස් නීල කඳු යායකින් වටවූ ගම මැද සමූපකාරේ මැනේජර් මහත්තයාගේ ගෙදර දරුවන් පස්දෙනාගෙන් ලොකු පුතා වූයේ දොන් මුනිදාස කණ්ඩම්බිය.

ගම්මිරිස්, කෝපි, කුරුඳු, කරාබුනැටි ආදී බව බෝගයන්ගෙන් මෝරන තල මල සේම සාරසුබාවට අස්වැද්දුණු ගොන්බද්දල දකුණු ලක ගම්මානයේ වෙල් ඉපණැලි උඩ කරක් ගසමින් කණ්ඩම්බි දරුවාට සරන්නට ලැබුණේ ගොන්බද්දලේ කනිෂ්ඨයේ පහේ පන්තිය දක්වා අකුරු උගනින්න ගිය සමයේදී පමණි. ඉන්පසු කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයට අකුරු උගනිනු පිණිස හේ නික්ම ගියේය. එතැනිනුත් උසස් පෙළ විභාගයට උගනින්නට ඔහු මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට ගියේය.

කණ්ඩම්බි මහත්තයෝ ඉතින් ඊටපස්සේ….

මාතර ශාන්ත තෝමස් විදුහලට ඇවිත් මාස දෙකක් විතර යද්දි මම ඉස්කෝලේ විවාද කණ්ඩායමේ නායකයා වුණා. අවුරුදු තුනක් මම විවාද කණ්ඩායමේ නායකයා විදිහට හිටියා. ශාන්ත තෝමස් විදුහලයි මාතර සර්වේසස් විදුහලයි අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගාවලියට ඉස්සර විවාද තරගයකුත් පැවැත්වෙනවා. හෙට %බිග් මැච්^ එක තියෙනවා. අද තමා විවාද තරගය. ඔය විවාද තරගය පටිගත කරන්න එනවා රුහුණු සේවයෙන්. ඔය රුහුණු සේවා කණ්ඩායමේ හිටියා ප්‍රේමකීර්ති ද අල්විස්, එස්. ලියනගේ, පද්මිණී කරනායක, හේමජිත් ප්‍රනාන්දු වගේ අය. වරක් ඔය විවාද තරගය ඉවර වුණාම ඒ අය මගෙන් ඇහුවා ඔයා එන්න කැමතිද රුහුණු සේවයේ කතා කරන්න කියලා.

ඉබ්බා දියේ දාද්දි ඇන්නෑවේ කීවෙලු…. එතෙක් කිසිදා රේඩියෝවකින් නෑසුණු කණ්ඩම්බිගේ හඬ රේඩියෝ එකකින් ඇහෙන මං පෑදෙද්දී කණ්ඩම්බි ශිෂ්‍යයාගේ ඉහේ එක මලට මල් දාහක් පිපුණු ගානය. ඒ කාලය වෙද්දිත් කණ්ඩමබි ශිෂ්‍යා රේඩියෝ සහෘදයෙකි. ශ්‍රාවකයෙකි.

මම ඉතින් බෑ කියන්නේ මොකටද? ඔය කාලයේ මම ගුවන්විදුලි ප්‍රවෘත්ති අහලා ගෙදරදි අර විදිහට මගේ නමින් තනියෙන් ප්‍රවෘත්ති කියනවා. ඒ තරම් මාධ්‍ය කෙරේ ඇල්මක් මගේ හිතේ මෝරමින් තිබුණා. ඊට පහුවෙනිදාම මම තනියෙන් ගියා රුහුණු සේවයට. මගේ බෝඩිම ළඟ පයින් යන දුර තමා රුහුණු සේවය තිබුණේ.

ඔයා මොන අවුරුද්දද?

1980 අවුරුද්ද…ඉතින් ඊටත් පස්සේ…

මම රුහුණු සේවයට ගියාම මාව හඬ පරීක්ෂණයකට ලක් කළා. එදා එතන මම, ස්වර්ණ ගුණවර්ධන, මයුරි අබේසිංහ, හෙන්රි සෙනෙවිරත්න හඬ පරීක්ෂණයට ඇවිත් හිටියා. හඬ පරීක්ෂණයෙන් මම සමත් වුණා.
ඒ හඬ පරීක්ෂණයෙන් සමත් වූ මුනිදාස කණ්ඩම්බි සිව් වරක් මුළුල්ලේම රුහුණු සේවය හා බැඳී උන්නේය.

අසන්නන්ගේ සංවාදය, නීතියයි ඔබයි, සහරාවේ සිහිනය, ඔය වගේ වැඩසටහන්වල මම නිවේදකයෙකු ලෙස කටයුතු කළා. උසස් පෙළ කරන ඔය කාලේ එක වැඩසටහනකට මට රුපියල් විස්සක් ලැබුණා. මාසෙකට රුපියල් සීයක් විතර ලැබුණා.
ඒ සල්ලිවලින් ඔබ මොකද කළේ?

පන්තිවලට ගියා. මගේ පොඩි පොඩි වියදම් කරගත්තා.

පවුලේ වැඩිමල් දරුවා නිසා මම හිතුවා මට රුකියාවක් ඕනෑ කියලා. රුකියාව කරද්දිත් මම අර ගුවන්විදුලි වැඩසටහන් දිගටම කරගෙන ගියා. 1985 අගෝස්තු පළමුවැනිදා මම ලොතරුයි මණ්ඩලයේ වැඩ බාරගත්තේ සම්මුඛ පරීක්ෂණ තුනකින් පස්සේ. ඒ කාලේ වැඩ බාරගන්න කියලා එවා තිබුණේ විදුලි පුවතක්.

අගෝස්තු පළමුවැනිදා සේවයට වාර්තා කරන්න..ලොතරැයිය

ඒ විදුලි පුවතේ සඳහන් වූයේ එපමණකි. දිගු ගමනක් යාවි යැයි එදා නොදත් දිගු ගමනක සමාරම්භය එය විය. ලොතරුයි මණ්ඩලයේ ප්‍රචාරක නිලධාරියකු ලෙස ඇරඹි රුකියාවේ ස්වභාවය අනුව දවස් තුන හතරක් ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ සේවය කර ඔහු හම්බන්තොට ශාඛාවටත්, අවුරුද්දක් එහි සේවය කර පසුව හිඟුරක්ගොඩ ශාඛාවටත් එතනින් පොළාන්නරුව ශාඛාවටත් ආදී වශයෙන් සේවයට අනුයුක්ත විය. මාස 6ක් පොළොන්නරුවෙහි සේවය කිරීමෙන් පසු ඔහු නැවත කොළඹට පැමිණියේය.

රස්සාව පටන් ගනිද්දී වැටුප කීයක් හම්බවුණාද?

මූලික වැටුප හත්සිය විසිපහයි. ඒකට තව දීමනා එහෙම එකතු වුණාම රුපියල් එක්දහස් එකසීයක් විතර ලැබුණා..

රුපියල් උල්පත් ගැලූ සේම ගලන තැනක ඔහු තම ඉපැයීම් සටහන් කළේ රුපියලේ කාසි එක්දහස් එකසීයක එකතුවකිනි.

(1988 ලොතරැයිය මහජන සම්පත සම්පත් රේඛා) කියන වැඩසටහන හඳුන්වලා දුන්නා. 195 වැනි මහජන සම්පත රෑපවාහිනී දිනුම් ඇදීම සම්පත් රේඛා නමින් රූපවාහිනියේ ප්‍රචාරය වුණා. ඒ වැඩසටහන මෙහෙයවූයේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සහ රේණුකා බාලසූරිය මහත්මියයි. ඒ කාලේ ලොතරුයි දිනුම් ඇදීම පැය බාගයක් පුරා විකාශය වුණා.”

ප්‍රේමකීර්ති ද අල්විස් ගුවන්විදුලි සන්නිවේදක ප්‍රවීණයාගේ පළමු රූපවාහිනී ආගමනය සනිටුහන් වූයේද ඒ ඔස්සේය.

ඇයි ප්‍රේමකීර්ති වගේ කෙනෙක් ගත්තේ? ප්‍රේමකීර්ති හරියන්නේ ගුවන්විදුලියට… ඇතැමුන් එසේ විමසමින් ප්‍රේමකීර්ති ද අල්විස්ගේ රෑපවාහිනී ආගමනය වි වේචනයට බඳුන් කළත් සභාපතිත්වයේ මනාපය ප්‍රේමකීර්තිගෙන් ගිලිහී ගියේ නැත.

ප්‍රේමකීර්ති ද අල්විස් කියන අතිදක්ෂ සන්නිවේදකයා අර විවේචන හැම එකකටම කදිම උත්තරයක් දෙමින් වැඩසටහන් පහක් හයක් යද්දී විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඒ කෙරේ ඇදගත්තා.

ආර්.ජී. ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසු එඩ්වඩ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වය යටතේ වරක් සම්පත් රේඛාව ප්‍රේමකීර්ති ද අල්විස් සන්නිවේදකයා මඟහැරියේය.

“එදාට තනියෙන් රේණුකාට වැඩසටහන කරගෙන යන්න අමාරු වුණේ ඇත්තටම වැඩසටහනේ මූලික සන්නිවේදක ශක්තිය වුණේ ප්‍රේමකීර්ති නිසා.”

“මේ අතරේ මගේ ඉහළ නිලධාරියා වුණු අබේසුන්දර මහත්තයාගෙන් කතා කරලා එඩ්වඩ් ගුණවර්ධන සභාපතිවරයා ඇහුවා “මිස්ටර් අබේසුන්දර අපිට නැද්ද අපේ කෙනෙක් ප්‍රේමකීර්ති නැති වෙලාවට මේ වැඩසටහන කරන්න. මොකද ප්‍රේමකීර්ති එන්නෙ නැතුව ඇරියත් අපිට විකල්පයක් නෑ. ඒ වෙලාවට දාන්න අපිට අපේ කෙනෙක් නැද්ද ඇතුළේ කියලා.”

“ඒ අහද්දි මිස්ටර් අබේසුන්දර කියලා මිස්ටර් කණ්ඩම්බි කියලා කෙනෙක් ඉන්නවා. හැබැයි එයා ගුවන්විදුලි වැඩසටහන් විතරයි කරන්නේ. දැනට අපේ අංශයේ ඉන්නේ. ඕනෑනම් එයාට කතා කරන්න පුළුවන් කියලා.” එහම තමයි මම ඒකට සම්බන්ධ වුණේ.

ඉඳුනිල් දිසානායක සමඟ ඒ එක්දහස් නවසිය අනූව දශකයේ මුල්ම වසරේ වසරක දවසකි. කාගේ හෝ හිස්තැනක් රුඳුණු දවසක මාසයකට එකක් දෙකක් දිනුම් ඇදීම් කථනය මුනිදාස කණ්ඩම්බි නිවේදකයාට ලැබුණේ ඒ අයුරිනි. වාසනා සම්පත ලොතරුයිය හඳුන්වාදෙන ලද්දේ මේ අතරවාරයේදීය. වාසනා සම්පත මුනිදාස කණ්ඩම්බිට වාසනාවක්ම වූයේය. ඒ එහි දිනුම් ඇදීම් ප්‍රචාරයේ නිත්‍ය නිවේදක ලෙස කටයුතු කිරීමේ ඉඩ හසර උදාවීමත් සමඟය.

බුද්ධදාස විතානච්චි එතකොට මහරගම ජේ.වී.පී. සංවිධායක. මේ කාලයේ කුමක් හෝ හේතුවක් නිසා බුද්ධදාස විතානාච්චි රිමාන්ඩ් කළා. හෙට ප්‍රසංගය තියෙද්දි අද දවස තමා ඔහු රිමාන්ඩ් කළේ. දැන් ප්‍රසංගය කරන්න කෙනෙක් නෑ. මේ ප්‍රසංගය මට කරන්න පුළුවන්ද ඇහුවා. මම මීට පෙර ලොකු වේදිකාවට නැගලා තිබු‍ණෙත් නෑ. ඒ වගේ එකක නිවේදන කටයුතු කරලා තිබුණෙත් නෑ. සියැක් වාදක මණ්ඩලය එදා හිටියේ. මගේ මතකයේ හැටියට රෝහිත අබේසූරිය තමා සියැක් බෑන්ඩ් එක මෙහෙයවූයේ. අබේසුන්දර මහත්මයා මට වාදක මණ්ඩලය ගැන ගායකයන් ගැන තොරතුරු කියා දුන්නා.

ප්‍රසංගය ඉවර වුණාම වාදක මණ්ඩලයට මගේ ගැන හරි තෘප්තිමත්. එදා මට රුපියල් පන්සීයක් ලැබුණා ඒ නිවේදන කටයුතුවලට. එදා මට රෝහිත මහත්මයා කීවා බුද්ධදාස සහ ගුණසේකර පතිරණ නැතිදාට ඔයා අපි එක්ක ප්‍රසංගය කරන්න එන්න කියලා. එයින් අවුරුද්දක් විතර යද්දි මම සියැක් ප්‍රසංගයන්හි ස්ථිර ප්‍රසංග නිවේදකයා බවට පත්වුණා. ඔය අතරේ තව වාදක මණ්ඩලවලිනුත් මට කතා කළා. මාරිම්බා, සන්ෆලවර්, ගැලැක්සිස්, මේ හැම වාදක මණ්ඩලයක්ම ඒ කාලය වෙද්දි මට ප්‍රසංගවල නිවේදන කටයුතු කරන්න කතා කරනවා.

රුපියල් විස්සකින් දස දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් තිළිණ කරනා වාසනාව කැඳවීමේ ක්‍රියාවලිය පිටුපස සැබැවින්ම අනලස්ව හා ක්‍රමවත්ව ඉටුකළ යුතු වගකීම් දාමයකි. ඒ වගකීම් ඔහු මැනවින් දෙවුර දැරෑවෙකි. ඒ වගකීම් සමුදාය පිළිබඳ කතාබහ අතරතුරේ මට මෙලෙසින් විමසන්නට සිත්විය.

කෝටි ගණන් ඇදුණත් අන්තිමේදී හිඟන්නන් වගේ වෙච්චි මිනිස්සු ගැන කතන්දරත් අපි අහලා තියෙනවා. ඇත්තද මේ කතා..

මෑත ඉතිහාසයේ මෙගා පවර් ඉතිහාසයේ වැඩිම තෑග්ග කෝටි 23. එය දිනුවේ අවුරුදු හැත්තෑ තුනක කාන්තාවක්. හුඟාක් දිනුම් ඇදීම් කරලා සල්ලි ගත්තට පස්සේ මාස පහක් විතර යද්දි ඒ අය ගැන තොරතුරු ගන්න විදිහක් නෑ අපට. දුරකථන අංක, පදිංචිය සේරම ඒ සමහර අය වෙනස් කරලා. හුඟාක් අය මැනවින් මුදල් පරිහරණය කළත් යම් කොටසක් ඉන්නවා අනවශ්‍ය විදිහට මුදල් පරිහරණය කරමින් නැති නාස්ති වෙච්ච අය. සීයට සීයක් ඒ අය ගැන නිවැරදි වාර්තා කිරීම් කරන්න අපට අමාරුයි.

අපි මුදල් දෙද්දි හැමෝටම කියන්නෙ නිසි ලෙස මුදල් පරිහරණය කරන්න කියලා. හුඟාක් ලොකු දිනුම් ඇදුණු අය තමන්ට එහෙම මුදලක් ඇදිලා කියලා රූ දැනගත්තම එළිවෙනකම් නිදාගන්නෙ නෑ. ඒක දිනුම ගන්න එන හුඟාක් අය කියපු කතාවක්.

ලොතරුයි මණ්ඩලයට ටිකට්පත ගෙනත් දුන්නම දිනුම දෙන්න සති දෙක තුනක් යනවනේ. ඒ දෙනකම් ඒ අය කරන්නෙම නිතර නිතර කතා කරන එක. ඒ මුදල ලැබුණම හුඟාක් අයට කරකවලා අතහැරියා වගේ. හිතාගන්න බෑ මේ මුදල්වලට මොකද කරන්නෙ කියලා. එහෙම සිද්ධි ඕනෑතරම් තියෙනවා.

එක් කාන්තාවකට කෝටි පහක් ඇදිලා.එයා ටිකට් එක බාරදීලා සල්ලිත් ගත්තා. ඒත් ඊට මාස හයකට පසු ආවේ ඇයමද කියලා හඳුනන්න බෑ. ඒ තරම් මොඩ්වෙලා. ඉන්න තැන වෙනස් කරලා. එදාත් අපි කීවා සල්ලි හරියට පරිහරණය කරන්න කියලා. අපි දිගින් දිගටම ඒ අය ගැන හොයන්නෙ නැත්තේ ඒක සමහර අය වැරදියටත් තේරුම් ගන්න නිසා.ර්ත්නපුර පැත්තේ පුංචි පවුලකට කෝටි ගණනක් ඇදිලා ඒ අය තේ ඉඩම් අරන් හරියට ධනාත්මකව ඒ මුදල් ආයෝජනය කළා.

ඒ අතරේ මෙහෙම කතාත් තියෙනවා.කෝටි 13ක් ඇදුණා ගණිත ගුරුවරියකට. ඇය කෝටි එකහමාරක් විතරක් වියදම් කරලා ගෙදර හදලා ලක්ෂ 90කට විතර වාහනයක් අරන් තිබුණා. කසාද බැඳලා. ඒත් කොහොම හරි මෑත කාලයේ ඇය ඒ මුදල් සියල්ල ඉවර කරගෙන. ඇය සතු දේපළත් නැතිව නැවතත් ටිකට් ගන්න ඇවිත්. ඇය ටිකට් ගනිද්දි ටිකට් ගන්න ඇවිත් හිටපු හාමුදුරුවෝ නමකට කියලා මට තමා කොටි 13 ඇදුණේ. ඒත් මුදල් මම අතින් නාස්ති වුණා කියලා. ඒ හාමුදුරුවෝ මම දන්න කෙනෙක්. ඒ හාමුදුරුවෝ තමා මට ඔය කතාව කීවේ.

එවන් කතා බොහොමයකි.කවදාවත් මම කිසිම වැඩකට ගිහින් පෝලිමක ඉඳලා නෑ. මාව හඳුනාගෙන කවුරුහරි කෙනෙක් එන්න මිස්ටර් කණ්ඩම්බි කියලා කතා කරලා මගේ වැඩේ කරලා දෙනවා. එන්.එල්.බී. කණ්ඩම්බි කියලා තමා හුඟාක් අය මාව අඳුනාගත්තේ.සමහර තැන්වලට ගිහින් වාහනයේ වීදුරුව පාත් කළාම ආවේ කණ්ඩම්බි මහත්තයානේ කියලා මාව ඇතුළට ගන්නවා.

මිනිසුන් වෙතින් ලබන ඒ ආදරය, ළෙන්ගතුකම, ගෞරවය, ප්‍රතිචාර මම හදවතින්ම පිළිගන්නේ ඔබට බොහෝම ස්තූතියි කියන හැඟීමෙන්. එළවළු මාළු ටික ගන්න කඩේකට ගියත් එහෙමයි. මේ පැත්තේ හුඟාක් ගෙවල්වලට කවුරුහරි එද්දි පාර කියන්න කණ්ඩම්බිගෙ ගෙදර කොහෙද කියල කාගෙන් හරි අහන්න ඒ ළඟ අපි ඉන්නෙ කියලා කියන්න.

සැකෙවින්ම හි ඟන්නන් කෝටිපතියන් කරන්නටත් ඒ කෝටිපතියන්ම නැවත හි ඟන්නන්ම කරන්නටත් කෝටිපතියන් කෝටිපතියන් ලෙසට තබන්නටත් මේ ලොතරුයිවලට ඇති හැකියාව අරුමය. මෙකී නොකී කතන්දර අතරේ තිස් හය වසරක සේවා සමුගැනීම සාද සාමීචිවලින් වියුක්තව සිදුවූයේද කොරෝනාවේ ප්‍රතිපත්තිවලට මේ රටේ වගකීම්සහගත පුරවැසියෙකු ලෙස මුනිදාස කණ්ඩම්බි මහතා ප්‍රතිපත්තිමය පෞරුෂයක් සහිතව ගරුකළ පුද්ගලයෙකු වූ බැවිනි. එහෙත් එදත් අදත් හෙටත් ඒ සියල්ලන්ගේ ආදරය ඔහුට හිමි වග අපි විශ්වාස කරමු.

සංජීවිකා සමරතුංග
සේයාරූ – සුමුදු හේවාපතිරණ (දේශය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here