සැමට කසිප්පු..පානීය ජල ව්‍යාපෘතියේ කසිප්පු පෙරලා.

0

ලෙල්ලොපිටිය වැලිමලුව මාක්ස්වත්තේ සහ පොල්ගස්තැන්නේ ගම්වැසියන් පානීය ජලය ලබාගන්නා ඉන්දොළ ඇළට ගෝඩා මුසුකර පුද්ගලයින් 32 දෙදෙනෙකු රෝගාතුර කළ බවට සැකපිට මාක්ස්වත්තේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්  අද 16දා අත්අඅඩංගුවට ගත්බව රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්‍ෂක රොහාන් ඕලුගල මහතා පැවසුවේය.

රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන පාරේ වැලිමලුව හන්දියෙන් නුගේලෙන ආරණ්‍ය සේනාසනයට යන පාරේ කිලෝමීටර් එකහමාරක් පමණ ගියවිට මෙම මාක්ස්වත්ත සහ පොල්ගස්වත්ත ගම් දෙක හමුවෙයි.

පසුගිය 14දා රාත්‍රී තමන්ගේ නිවෙස්වලට පානීය ජලය ලබාගන්නා ජලනළවල ජලය භාවිත කළ මාක්ස්වත්ත කොටසක සහ පොල්ගස්වත්ත ගමේ පවුල් විසිහතරක පුද්ගලයින් 32 දෙනෙකුට වමනය සහ බඩයාමේ රෝග තත්ත්වයන් ඇතිවීමෙන් පසු ඔවුන් පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ගත් බව සිද්ධියට මුහුණ දුන් බව ගම්වාසීහූ පැවසූහ.

රෝගාතුර වුවන් අතර වැඩි පිරිස කුඩා ළමයින් සහ කාන්තාවන් බව ද ගම්වාසීන් සඳහන් කළ අතර වැඩිහිටි පිරිමි කිහිප දෙනෙක් ද ඒ අතර වන බව ද ඔවුහු කීහ.

කිරිබත්ගල රක්‍ෂිතයට පහළින් මාක්ස්වත්ත සහ පොල්ගස්වත්ත ගම් දෙක පිහිටා ඇති බව ද ඔවුහු කීහ.ගම්මානයට ඉහළින් තේවතු පිහිටා ඇති අතර ඉහළින් ගලා එන ඉන්දොළ ඇල හරස්කර නළ මගින් මාක්ස්වත්තේ කොටසක සහ පොල්ගස්වත්තේ වැසියන් පානීය ජලය, නළ මගින් ලබා ගනී.

මේ සම්බන්‍ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ඊයේ ( 15) පරීක්‍ෂණ පවැත්වු බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක රෝහාන් ඕලුගල මහතා කීවේය. මෙම ගම්වලට ඉහළින් ඉන්දොළ රක්‍ෂිතයේ කසිප්පු පෙරීමක් සිදුකර ඇති බවත් කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා පසුව ඇළට බැහැර කර ඇති බව නිරීක්‍ෂණය වු බව මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා පැවසුවේය.

මෙම නීති විරෝධී ක්‍රියාව කළ සැකකරුවන් අතරින් දෙදෙනෙක් වහාම අත්අඩංගුවට ගත් බව කී මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ද පැවසුවේය.

(අජිත්ලාල් ශාන්තඋදය සහ පැල්මඩුල්ල අරුණ එස් හේරත්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here