පෞද්ගලික අදහස කියන්නම්..තියෙන තත්ත්වය ඉතා ම අයහපත් – නීලිකා මලවිගේ

0

රටේ මේ මොහොතේ උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පුවත්පතක් සමග සාකච්ඡාවක් කර තිබෙනවා.එහිදී ඇය වැදගත් අදහස් කිහිපයක් සඳහන් කර ඇති අතර පහතින් එය කියවිය හැකියි.

රටේ මේ මොහොතේ උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මොකක්ද ඔබ දරන පෞද්ගලික මතය?

අපිට මේ ගැන පෞද්ගලිකව හැඟෙන දේ කියන්න පුළුවන්. ඔබ අසන නිසා මමත් මගේ පෞද්ගලික අදහස කියන්නම්.තිබෙන තත්ත්වය නම් ඉතා ම අයහපත් කියන එක ඉතා ම පැහැදිලියි. ඒක තමයිමට මේ වෙලාවේ හැඟෙන දේ.

මහාචාර්යතුමියට ඇයි එහෙ ම හිතෙන්නෙ?

පසුගිය දවස් කිහිපය ගැන කතා කළොත් අපි දැක්කා පිට පිට රෝගීන් 2500, 2600 වාර්තා වෙනවා. ඒ වගේ ම මේක මේ ඇත්ත ම ගාණත් නෙවෙයිනේ. ඒකත් අපි හැමෝ ම දන්නවානේ. මොකද රටේ ඉන්න සෑ ම ආසාදිතයෙක් ම හමුවෙන්නෙ නෑ. ඒකයි මම කියන්නෙ තිබෙන තත්ත්වය ටිකක් හොඳ මදි කියලා. ඇත්තටම මේකෙ භයානකම තත්ත්වය මේක නෙවෙයි. අපි ඒකත් මේ වෙලාවෙ අවබෝධ කරගන්න ඕනෑ.
ඒ කියන්නේ මීටත් වඩා භ යානක තත්ත්වයක් තිබෙනවා ද?

කොවිඩ්වලදී නියුමෝනියාවට එන එකයි එයින් මි ය යන එකයි ගැනනේ අපි වැඩිපුර ම කතා කරන්නෙ සහ බිය වෙන්නෙ.සෙම්ප්‍රතිශ්‍යාවක් වගේ වැළඳිලා එතැනින් එහාට රෝග ලක්ෂණ පෙන්වන්නෙ නැත්නම් අපි කොවිඩ් ගැන බය වෙන්න අවශ්‍ය නැහැනේ. මේ මොහොතේ බොහෝ දෙනෙක් බිය වෙලා ඉන්නෙ ඉන්දියාවේ තත්ත්වය දැකලා.

මොකද අපේ රට ඇතුළෙත් නියුමෝනියා ලක්ෂණ තිබෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට දැනගන්න ලැබෙනවා අයි.සී.යූ වල ඉන්න රෝගීනුත් වැඩියි කියලා. මෙතැනදි මම කියන්නෙ ද රුණු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නෙ සාමාන්‍යයෙන් වෛරසය ඇතුළු වෙලා දෙවන සතිය අවසානයේදී.

ඒ කියන්නෙ, කෙනෙක්ට කොවිඩ් වැළඳිලා මි ය යන්නේ සති දෙක තුනක් ගියාට පසුව.එවිට අපි දකින මේ තත්ත්වයේ ප්‍රතිඵලය හම්බෙන්නේ තවත් සති දෙක තුනක් ගත වුණා ම. දැන් අපි මේ මොහොත වන විට නියුමෝනියාවට ආපු රෝගීන්, අයි.සී.යූ. වල ඉන්න රෝගීන් සහ මි ය යන රෝගීන් ගැන හිතමුකෝ. මම කියන්නේ ඒ වාර්තා වෙන්නේ මීට සති දෙක තුනකට පෙර තිබුණු තත්ත්වයේ ප්‍රතිඵල. දැන් ඔබත් මමත් මේ කතා කරන මොහොතේ ඇතිව තිබෙන තත්ත්වයේ ප්‍රතිඵල අපිට දකින්න ලැබෙන්නේ තවත් සති දෙක තුනක් ගත වුණා ම.

ඔබ එක්තරා අවස්ථාවක පැවසුවා මේ වාර්තා වෙන්නෙ ඇත්ත ම ගාණ නෙවෙයි කියලා. ඔබ එයින් අදහස් කළේ දැනට ඉදිරිපත් කරන දත්ත වැරදි බව ද නැත්නම් වෙනත් අදහසක් ද?

දත්ත සම්බන්ධයෙන් නම් ඇත්තට ම මම දන්නෙ නැහැ. සංඛ්‍යා ලේඛන ගැන ඇත්තට ම මට comment කරන්න බැහැ. මොක ද මම මේ විශ්වවිද්‍යාලයක වැඩ කරන කෙනෙක් මිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා ඇත්තට ම මගෙ ගාව කිසි ම දත්තයක් නැහැ. මගෙන් ඇහුවොත් ඊයේ පී.සී.ආර්. කීයක් කළාද කියලා මම දන්නෙ නැහැ. මේ මොහොතේ ඔබත් දන්න දත්ත ටික ම තමයි මමත් දන්නේ. ඊට වඩා වැඩි යමක් මාත් දන්නෙ නෑ. නමුත් මම අදහස් කළේ පරීක්ෂණවලින් රටේ ඉන්න ඇත්ත ම රෝගීන් ප්‍රමාණය සොයා ගන්න බැහැ කියන එකයි. දවසට 2500ක් රෝගීන් වාර්තා වෙන්නේ පරීක්‍ෂා කරපු අයගෙන්නෙ. පරීක්ෂණවලට හසු නොවුණු, ලක් නොවුණු තවත් ආසාදිතයෝ කොපමණ ඇති ද? මම කියන්නෙ ඒ ගැන. ඒ නිසා අපි හැම තිස්සෙ ම සිතන්න ඕනා වාර්තා වන රෝගීන්ට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් රටේ සිටින බව. ඒක භ යානකයි.

රෝග ලක්ෂණ කිසිත් නොපෙන්වා සිටියත් ඔවුන් ආසාදිතයෝ විය හැකියි කියල ද ඔබ පවසන්නේ?

ඔව්. මේක තමා භ යානකම තත්ත්වය. ලෝකයේ සෙසු රටවල් සමග බලන විට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය තමයි සිටින්නේ. ඔවුන් රෝග ලක්ෂණ පෙන්නන්නෙ නෑ නමුත් රෝගය පතුරුවා හරිනවා. මේ රැල්ල එන්න පෙර පැවැති කොවිඩ් තත්ත්වය ගත්තත් ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ පෙන්නුවේ නැහැ. නමුත් අපි ආසාදිතයෝ හඳුනාගෙන සමාජයෙන් වෙන් කළා රෝග ලක්ෂණ නොපෙන්වුවත්. එහෙ ම කළේ ඔවුන්ගෙන් රෝගය පැතිරෙන නිසා. දැනුත් ඕනෑ තරම් ආසාදිතයෝ ඉන්නවා රෝග ලක්ෂණ කිසිවක්ම පෙන්වන්නේ නැති.

මේ වෙලාවේ මාත් එක්ක කතා කරන ඔබත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා මට සිතෙනවා. නමුත් මේ මොහොතේ ඔයාට කොවිඩ් තිබෙන්න බැරි ද? පුළුවන්නේ. නමුත් ඔබ ඒක දන්නෙ නෑ. ඔබ නිරෝගී වගේ සිටියට ඔබේ ඇඟේ වෛරසය තිබෙනවා නම් ඔබව අද හමුවුණු අනෙක් අයට ඔබෙන් ඕක බෝ වෙන්න පුළුවන්. මම මේ කිව්වෙ එක උදාහරණයක්. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි රටේ තිබෙන්නෙ. රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔවුන්ගෙන් රෝගය පැතිරීම තමයි මේ වෛරසයේ තිබෙන භ යා නක තත්ත්වය. මොක ද කෙනෙක් රෝග ලක්ෂණ විද්‍යමාන කරනවා නම් අපි වුණත් ටිකක් පැත්තකට වෙනවානෙ. නමුත් එහෙම පෙන්වන්නේ නැත්නම් අපි වුණත් වැඩි ගාණක් ගන්නෙ නෑ.

පොදු ස්ථානවලදී, රාජකාරී ස්ථානවලදී සිදු කරන ශරීරයේ උෂ්ණත්වය මැන බැලීමේ ක්‍රියාවලියෙන්වත් මෙවැනි පුද්ගලයන් හසුවන්නෙ නැද්ද?

දැන් ඔය සුපර් මාකට් යද්දි හෝ වෙනත් පොදු ස්ථානවලට යද්දි ශරීරයේ උණ බලනවානේ. එතැනදි අහුවෙන්නෙ උණ තිබෙනවා නම් පමණයිනෙ. නමුත් ශරීරයේ උණක් නැති අයව ඇතුළට ගන්නවානෙ. කාටද කියන්න පුළුවන් උණ නෑ කියලා එයා ආසාදිතයෙක් නෙවෙයි කියලා. ඔවුන්ගේ ඇඟේ වෛරසය තිබෙන්නට පුළුවන් නමුත් රෝග ලක්ෂණ නැහැ. එහෙ ම රෝග ලක්ෂණ කිසිවක් පෙන්වන්නේ නැති අය තමයි නිදහසේ එවැනි පොදු ස්ථානවලට වැඩි වශයෙන් එන්නෙ.

මොකද ඔවුන් සිතනවා රෝග ලක්ෂණ කිසිත් නැති නිසා රෝගයත් නෑ කියලා. නමුත් ඔවුන් දන්නෙ නෑ තමන් ආසාදිතයි කියලා. ඒක තමා භ යානකම. මොක ද ඔය උණ බලන ඒවට අරවට මේවට ඇඟේ වෛරසය තිබෙනවා කියලා අහුවෙන්නෙ නෑ. ටෙස්ට් එකක් කළොත් විතරමයි වෛරසය ඇඟේ තිබෙන බව අසුවෙන්නෙ. රෝග ලක්ෂණ කිසිවක් නැති නමුත්, රෝගය ආසාදිත පිරිස් තමයි වැඩිපුර ම එළියේ ගැවසෙන්නේ. ඔවුන් තමා මේ රෝගය පතුරුවන්නෙ. ඒක වුවමනාවෙන් කරන්නෙ නැහැ. මොකද රෝග ලක්ෂණත් නෑනෙ. ඉතින් ඔවුන් දන්නෙත් නෑ ලෙඩේ තියෙනවා කියලා. ඒ නිසා තමයි වැඩිපුර ම ප්‍රවේශම් වෙන්න ඕනෑ.

ඒ කියන්නෙ අපි නිරන්තරයෙන් අනෙකා ආසාදිතයෙක් විය හැකියි කියන මතයේ සිට කටයුතු කළ යුතුයි?

මම කියන්නෙ නැහැ හැමෝ ම ආසාදිතයෝ කියලා සැක කරන්න කියලා. නමුත් තමාත් දන්නෙ නැත්නම් තමා ආසාදිතයි කියලා සහ තමා ඇසුරු කරන සෞඛ්‍යසම්පන්නයි කියලා හිතන අයත් ආසාදිතයෝ විය හැකියි කියලා ප්‍රවේශමෙන් වැඩ කරන එක කොහොමත් හොඳයි. සමාජ දූරස්ථතාව පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම, අත් විෂබීජහරණය කිරීම වගේ දේවල් අපි නිරන්තරයෙන් කළ යුතුයි.
මම තව උදාහරණයක් කියන්නම්, ඔබ ඇසුරු කරන මිතුරා ඉතාම නිරෝගීව ඉන්න කෙනෙක් කියලා ඔබට පේනවා. කිසිම රෝග ලක්ෂණයකුත් නැහැ. ඒ නිසා ඔබ බය නැතිව එයාගෙ සමීපයට ගිහින් මාස්ක් එකත් ගලවලා කතා කරනවා. නමුත් එයා ආසාදිතයෙක් නම් ඔබටත් රෝගය වැළඳෙනවා. මොකද තරුණ අය බොහෝ විට මෙහෙ ම හැසිරෙනවා. අවසානයේ මිතුරත් ආසාදිතයි ඔබත් ආසාදිතයි. ඒ බව දන්නෙ නැතිව නිවසට ගිහිල්ලත් නිදහසේ ගනුදෙනු කරනවා. එතැනදි ඔබට ඔබේ මිතුරාට රෝග ලක්ෂණ නොපෙන්වුවත් ඔබේ ගෙදර ඉන්න ඔබේ අම්මා, තාත්තා, සීයා, ආච්චී, ඔබ තරම් වාසනාවන්ත නොවෙන්න පුළුවන්. මොකද ඔවුන්ට රෝගය වැළඳිලා රෝග ලක්ෂණ පෙන්වලා අමාරු වෙන්න පුළුවන් ඔවුන්ගේ වයසත් සමග. ඒ නිසා තමයි ඇතුළත පරිශ්‍රවල සිටිද්දි නිතර ම මාස්ක් එක භාවිත කරන්න කියන්නෙ.

මේක වාතයේ යම් කාලයක් සක්‍රිය බව පැවසුවා. එවැනි තත්ත්වයක් තුළ කොහොම ද වඩාත් ආරක්ෂාකාරී වෙන්නෙ?

ඔව්. ඇත්තටම මේකත් මම කියන්න ම ඕන කාරණයක්. මොකද ගොඩක් අය මේක හරි ම වැරදි විදිහට තමයි අර්ථකථනය කරන්නෙ. මුහුදු වෙරළක හෝ ලොකූ ඉඩක් තිබෙන එළිමහනකදි මෙය වාතය හරහා බෝ වෙන්නෙ නැහැ. මොකද වායුගෝලය විශාලයි. වාතාශ්‍රය ගොඩක් තියෙන තැන්වල මේක වාතයේ තිබෙන අංශුවලින් බෝවෙන්න තිබෙන ඉඩකඩ ඉතාම අවමයි. වෙන්නෙ ම නැති තරම්. වාතය ආශ්‍රිතව තිබෙන වෛරස් බෝවෙන්නෙ වාතාශ්‍රය අඩු සංවෘත පරිශ්‍ර තුළදී. තවත් සරලව කිව්වොත් වැසුණු ජනාකීර්ණ තැන්වලදී පැතිරෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැන්වල මෙම වෛරසය පැය කිහිපයක් තිබෙන්න පුළුවන්. එවිට වාතය හරහා කෙනෙක්ට මෙය බෝ වෙන්න පුළුවන්. නැතිව අල්ලපු ගෙදර අයට කොවිඩ් තිබුණා කියලා ඔයාගෙ ගෙදරට හුළඟින් වෛරසය ගහගෙන ඇවිත් මේක බෝ වෙන්නෙ නෑ.

සාප්පුවක හෝ කාර්යාල පරිශ්‍රයක් තුළ වායුසමනය ක්‍රියාත්මක කොට එම පරිශ්‍ර වසාගෙන සිටීම තුළින් වෛරසය ඉක්මනින් පැතිරීමේ ඉඩක් තිබෙනවා ද?
ඔව්. සංවෘත පරිශ්‍රයක් තුළ පැතිරෙන්න පුළුවන් ඉඩ වැඩියි. ඒසී එක දාගෙන ආයතන කාමරවල ‍දොරවල් වහගෙන ඉන්න එක හොඳ නැහැ. ඒ කාමරේ හෝ ආයතනයේ තමන් විතරක් ඉන්නවා නම් වහන් සිටියාට කමක් නෑ. නමුත් තවත් සාමාජිකයෝ ඉන්නවා නම් ඒසී දාගෙන ජනේල් ‍දොරවල් වහන් ඉන්න එක සුදුසු නෑ. ඔෆිස් එකක වගේ නම් එහෙම ඒ සී දාගෙන වහගෙන හිටිය ම ඒ වාතයේ වෛරසය මිශ්‍ර වෙලා එතැනම තිබෙනවා. මොක ද කොහෙටවත් ගහගෙන යන්නෙ නෑනෙ. ඒ නිසා තමයි ඒසී නොදා ජනේල් ‍දොරවල් ඇරන් ඉන්න අවශ්‍ය. අපි දන්නවානේ ඔය වෙඩින්වලට ගියා ම ගොඩාක් අයට බෝ වෙලා වෙඩින්ග් පොකුරු හැදෙනවා. එහෙ ම වෙන්නෙ සංවෘත්ත පරිසරයක ගොඩක් පිරිසක් ගැවසෙන නිසා. කන්න බොන්න මාස්ක් එක ගැලෙව්ව ම කොහොමත් බෝවෙනවා. ඒ නිසා පිරිස් රැස්වෙන ස්ථානවලට යන එක අනිවාර්යයෙන් මගහරින්න ම ඕනා. එහෙ ම තැනකට යන්න ම ඕනා නම් හොඳට වාතය ලැබෙන්නට ඉඩ හරින්න ඕනා. ඒකයි කියන්නේ එළියෙ පාරේ ඇවිද්දා කියලා වාතයෙන් මේක කීයටවත් බෝ වෙන්නෙ නෑ කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here