හුස්ම ගැනීම පහසුකරන අලුත්ම උපකරණයක් ගුවන් හමුදාවෙන් නිපදවයි.

0

ජීවත් වීමට ඇවැසි හුස්ම අයදිමින් මහමග අවසන් සුසුම් හෙළන රෝගින්ගේ මහා ඛේදවාචකය අපට අසන්නට ලැබෙන්නේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙනි. අපේ රට තවමත් එවැනි තත්ත්වයකට ළඟා නොවුණත් කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ලංකාවේ කොරෝනා රෝගින්ට ද ඔක්සිජන් අවශ්‍යතාව මතු වී තිබේ. එවැනි වකවානුවක ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍රය හඳුන්වා දෙනු ලැබීම, අගනා කටයුත්තක් ලෙස සඳහන් කළ හැකිය. තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍රය (Heated Humidified Oxygen Therapy machine) ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති කාර්යාලයේදී භාර දෙනු ලැබුවේ පසුගිය 12 වැනිදාය. ශ්වසන අපහසුතාවෙන් පෙළෙන රෝගින්ට ඔක්සිජන් ලබා දෙමින් ශ්වසන පහසුව ඇති කිරීම මෙයින් සිදු කෙරේ.

මෙම යන්ත්‍රය නිෂ්පාදනය කිරීම සඳහා මූලික පදනම වැටෙන්නේ 2020 වසරේ අප්‍රේල් මාසයේදීය. එනම් මෙරට කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟිනි. ඊට මූලික වූයේ නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයකු වන විද්‍යාජෝතී මහාචාර්ය බන්දුල විජේගේ යෝජනාවකි.

“2020 කොරෝනා මුල් කාලයේ ඇමෙරිකාවේ ලොකු ව්‍යසනයක් තිබුණා. ඒ නිසා ගොඩාක් රෝගින්ව ventilator යන්ත්‍රයට සවි කරන්න සිද්ධ වුණා. ඒත් ventilator හෙවත් කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයට සවි කිරීමේදි අතුරු ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. ඒ නිසා ලෝකයේ තිබෙන Heated Humidified Oxygen Therapy යන්ත්‍රය ගැන ඇමෙරිකාවේ විද්‍යාඥයින් උනන්දු වුණා. ඇත්තටම මේ Heated Humidified Oxygen Therapy යන්ත්‍රය ලෝකයේ පාවිච්චි කරන්නේ කුඩා දරුවන්ගේ ශ්වසන අපහසුතාවන්ට ආධාරකයක් හැටියට. ඒත් ඇමෙරිකාවේ විද්‍යාඥයන් මෙම යන්ත්‍රය වැඩිහිටියන්ගේ පාවිච්චියට සකස් කළා. ලෝකයම කඩා වැටෙන කාලයක ලංකාවත් සූදානම් වෙලා ඉන්න එක හොඳයිනේ. ඒනිසා මෙම යන්ත්‍රයේ සැලැස්ම ඇඳලා විස්තර සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එව්වා. ඒ ගැන අධ්‍යයනය කරපු ජනාධිපතිතුමා මෙම යන්ත්‍රය නිෂ්පාදනය කිරීමේ කටයුත්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දුන්නා. එතනදී ඊට මැදිහත් කර ගැනීමට මම නම් 2ක් නිර්දේශ කළා. ඒ දෙදෙනා වෙන්නේ මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල. ඊටපස්සේ අපි whatsapp කණ්ඩායමක් හදාගෙන එකිනෙකා සම්බන්ධ වෙමින් වැඩ කළා.” යනුවෙන් ඇමෙරිකාවේ ටෙක්සාස් හී පදිංචි වී සිටින විද්‍යාව හා නවෝත්පාදන ජාත්‍යන්තර තානාපති, විද්‍යාජෝති මහාචාර්ය බන්දුල විජේ විස්තර කළේය.

මෙම යන්ත්‍රය ලංකාවේ නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දීමට විශේෂ හේතුවක් තිබිණි. ඒ, ලෝකයේ ඉහළම තාක්ෂණය ගුවන් යානා තාක්ෂණය වීම යන කාරණාවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මග පෙන්වීම යටතේ මෙම නිපැයුම් කාර්යය පැවරුණේ සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ හිටපු අධ්‍යක්ෂ, එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෘ විජේසූරියටය. ඔහු විසින් එය හිටපු අණදෙන නිලධාරි ගෲප් කපිතාන් ඉන්දික වික්‍රමසිංහට භාර දෙනු ලැබීය. යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ කටයුතු ඒ ආකාරයට සිදු වන විට විද්‍යුත් අංශය පැවරුණේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජ‍ිනේරු – එයාර් කොමදෝරු ජේ.පී. බාලසූරියටය. විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ බලපන්ති ලුතිනන් නිරෝෂන් බණ්ඩාරනායක සහ ව්‍යාපාති ඉංජිනේරු බළගණ නායක නිශාන්ත පුෂ්පකුමාරගෙන් සමන්විත කණ්ඩායම් 2ක් ගෲප් කපිතාන් ඉන්දික වික්‍රමසිංහගේ නායකත්වයෙන් මෙම නිෂ්පාදන කාර්යයට එකතු වූයේ ඇමෙරිකාවේ සිට එව් සැලැස්ම ක්‍රියාත්මක කිරීමටය.

“ඇත්තටම අපිට දීලා තිබුණු මුල් ආකෘතිය අපේ වට්ස්ඇප් සාකච්ඡාවලදී විටින් විට වෙනස් වුණා. කොහොමහරි මෙය සම්පූර්ණයෙන්ම හදලා ඉවර වෙන්න මාස 8ක් විතර ගත වුණා. ගුවන්යානා කොටස්වල තියෙන තත්ත්වයටම අපි මේ යන්ත්‍රය ඉස්තරම් විදිහට හැදුවා. අපි ඉංජිනේරු පැත්තෙන් වැඩ කරන විට වෛද්‍ය අංශ‍ෙය් වැඩ කටයුතු කළේ මහාචාර්ය රනිල් ද සිල්වා, තිලංක රත්නපාල යන වෛද්‍යවරුන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය අංශයත් මේ වැඩේට දායක වුණා.” යනුවෙන් පැවසුවේ ව්‍යාපෘති ඉංජිනේරු බලගණ නායක නිශාන්ත පුෂ්පකුමාරය.

මෙහි ප්‍රමිති තත්ත්වය ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තහවුරු කළ යුතු වන්නේ මෙම යන්ත්‍රය වෛද්‍ය උපකරණක් වන නිසාය. ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට දෙවරක් යෑමට සිදුවිය. එය ලබා ගැනීමෙන් අනතුරුව විද්‍යුත් සහ විදුලි සංදේශ පද්ධතියේ තත්ත්ව සහතිකය ලබා ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ යුතුය. එමඟින් මෙම යන්ත්‍රයට IEC 60601 සහතිකය හිමි විය. ඉන් අනතුරුව තිබුණේ මෙය සායනික පරීක්ෂණයකට ලක් කිරීමයි. ඒ සඳහා කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයත් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට අයත් බොරලැස්ගම‍ුවෙ රෝහලත් යොදා ගැනිණි. සායනික පරීක්ෂණ සඳහා යොදා ගත් කාලය පැය 200කි.

“කොළඹ ජාතික රෝහලේදි නම් අපි සායනික පරීක්ෂණ කළේ සුවය ලබමින් සිටින රෝගින්ට. ඒත් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ රෝහලේදී නම් කොරෝනා රෝගින්ව තමයි පරීක්ෂණයට යොදා ගත්තේ. එහිදි අපිට අවබෝධ වුණා කොරෝනා රෝගින්ගේ ශ්වසන අපහසුවට මෙයින් හොඳ ප්‍රතිඵල ලැබෙන බව. රෝගින් කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට සවි කිරීම දක්වා යෑමට අවශ්‍ය නොවන බව යනුවෙන් සඳහන් කළේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිර්වින්දන ඒකකයේ සේව‍ෙය් නියුතු වෛද්‍ය තිලංක රත්නපාල ය. ඔහු නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙන් පැවැත්වූ තරගකදී (2016 වසරේ) විවෘත අං‍ශයෙන් ප්‍රථම ස්ථානය දිනා ජිනීවා හී පැවැත්වූ ලෝක නව නිපැයුම් තරගාවලිය නියෝජනය කළ අයෙකි. මහාචාර්ය බන්දුල විජේ විසින් වෛද්‍ය තිලංක රත්නපාලගේ නම නිර්දේශ කරනු ලැබුවේ එබැවිනි.

ශ්වසන අපහසුතාවලින් පෙළෙන රෝගින් කෘත්‍රිම ශ්වසන යන්ත්‍රවලට සවි කිරීම හෝ ඔක්සිජන් ටැංකියකට සවි කිරීම සාමාන්‍යයෙන් අප දන්නා කරුණකි. එහි උපකරණවලට වඩා මෙම තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍රය වෙනස් වන්නේ මොන ආකාරයටදැයි විමසා බැලීම වටී.

“කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට රෝගියකු සවි කරන විට රෝගියාව නිද්‍රා තත්ත්වයකට පත් කළ යුතු වෙනවා. රෝගියාගේ මාංශ පේශි අකර්මන්‍ය කළ යුතු වෙනවා. අනික කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට සවි කළාම රෝගියා විසින් හුස්ම ගන්නේ නැහැ. යන්ත්‍රයෙන් තමයි හුස්ම ගැනීම සිදු කරන්නේ. ඒත් මේ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍රයට සවි කරන විට නිද්‍රා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය නැහැ. හුස්ම ගන්නේ රෝගියා විසින්මයි. රෝගියාට කතා කරන්න, කෑම කන්න පවා අවස්ථාව ලැබෙනවා. කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට සවි කළාම උගුරේ, ශ්වාස නාලයේ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒත් මෙයින් එවැන්නක් සිදු වෙන්නේ නැහැ. ඔක්සිජන් ටැංකියකින් ඔක්සිජන් වැඩි පීඩනයකින් යවන්න බැහැ. නමුත් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍රයෙන් වැඩි පීඩනයකින්, 100%කින් ඔක්සිජන් යවන්න පුළුවන්. ඔක්සිජන් ටැංකියෙන් යවන්න හැකි වෙන්නේ 40% – 50% වගේ ප්‍රමාණ්‍යක්. අනික මෙයින් රෝගියාට ලැබෙන්නේ සිසිල් වාතය. ඒත් අපි නිෂ්පාදනය කරපු යන්ත්‍රයෙන් උණුසුම් වාතය සමඟ සංතෘප්ත ඔක්සිජන් වාතය ලැබෙනවා.” යනුවෙන් වෛද්‍ය තිලංක රත්නපාල පැහැදිලි කළේය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උසස් පර්යේෂණ හා සමායෝජන අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන පර්යේෂක ස්නායු අණුක රෝග නිර්ණය මහාචාර්ය රනිල් ද සිල්වා සඳහන් කළේ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍රයෙන් සිදු කෙරෙන්නේ රෝගින් කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට යෑම නවතා දැමීමය.

ඔහු පවසන ආකාරයට එක හුස්මක ඔක්සිජන් මිලි ලීටර් 500ක් තිබේ. රුධිර සාම්පලයක් ගත් විට එයින් 98%ක ප්‍රමාණයක් ඔක්සිජන් වායුව තිබේ.

වාතයේ අඩංගු ඔක්සිජන් ප්‍රමාණය 21%කි. කෙනකු රෝගි වූ විට ශරීර අභ්‍යන්තරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩු වි කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩි වේ. රෝගින් වේගයෙන් හුස්ම ගනු ලබන්නේ එබැවිනි. ශරීරයේ ඇති ඔක්සිජන් වායුව පහත වැටෙන විට අභ්‍යන්තර ඉන්ද්‍රීයයන්වල ක්‍රියාකාරීත්වය අඩපණ වේ. පෙණහලුවල ඇති (කොරෝනා රෝගින්ට විශේෂයි) ගර්ථ හැකිළී යා හැකිය. පිටතින් ඔක්සිජන් ලබා දීමට සිදු වන්නේ එබැවිනි.

“තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍රයෙන් ඔක්සිජන් වැඩි පීඩනයකින් 100% කින් යවන්න පුළුවන්.

ඒ වගේම මෙහි ඇති විශේෂත්වය වන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 37ත් 40ත් අතර උණුසුම් ජලවාෂ්පත් ඔක්සිජන් සමඟ පෙණහලුවලට යවනවා. එතකොට අභ්‍යන්තරයේ තිබෙන කාබන්ඩයොක්සයිඩ් වායුව පිටතට යනවා. වැඩි පීඩනයකින් ඔක්සිජන් වායුව ගමන් කරන විට ශ්වාස නාලයේ පටක වේළෙන්න පුළුවන් පුළුවන් වුණත් මෙම යන්ත්‍රයෙන් උණුසුම් ජල වාෂ්ප සමග සංතෘප්ත ඔක්සිජන් වායුව යන නිසා ඒ විදිහට වියළෙන්නේ නැහැ. පෙණහලුවල ගර්ථ හැකිළීම වළක්වනවා.” යනුවෙන් විස්තර කළේ මහාචාර්ය රනිල් ද සිල්වා ය.

මෙම තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍රයේ උෂ්ණත්වය සහ ඔක්සිජන් නිකුත් කිරීම මීටර් මඟින් පාලනය කළ හැකිය. කොරෝනා රෝගින්ගේ ශ්වසන අපහසුතා දුරු කර ශරීරයට අවශ්‍ය ඔක්සිජන් වායුව ලබා දීම මඟින් මෙම යන්ත්‍රය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළත් මෙය ශ්වසන අපහසුතාවලින් පෙළෙන රෝගින්ටත් හෘද රෝගින්ටත් පාවිච්චි කළ හැකි යන්ත්‍රයක් බව මහාචාර්ය රනිල් ද සිල්වා පැවසීය. මේ වන විට නිෂ්පාදනය කර තිබෙන තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍ර දෙකෙන් එකක් බොරලැස්ගමුවේ පිහිටි කොතලාවල ආරක්ෂක වෛද්‍ය රෝහලේ රෝගින් වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි. අනෙක් යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ කටුනායක පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේ ය. උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා රු. ලක්ෂ 15ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබුණත් එය රු. ලක්ෂ 3ක් වැනි අඩු මුදලකින් නිමා කිරීම විශේෂත්වයකි.

“මේ යන්ත්‍රයේ සවි කර තිබෙන පාලක අතින් කරකවලා සකස් කරන විදිහටයි අපි හදලා තියෙන්නේ. ඒක ඩිජිටල්වලින් හදන්න තිබුණා. ඒත් අපි ඒ විදිහට හදන්න ගියා නම් ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. අපිට අවශ්‍ය වුණේ අඩු වියදමෙන් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය 100%කින් නිවැරදිව සකස් කර ගන්න. මේ යන්ත්‍රයේ දෝෂයක් ඇති වුණොත් සකස් කර ගන්නේ කොහොමද, කෑල්ලක් අයින් කරන්න වුණොත් අලුත් කෑල්ලක් සවි කරගන්නේ කොහොමද කියලා දැනුම්වත් කරන අත්පොතකුත් මේ සමඟ සකස් කර තිබෙනවා. මේ වන විට ලංකාවේ පවතින සෞඛ්‍ය තත්ත්වය එක්ක හියුම්කරණ ඔක්සිජන් චිකිත්සක යන්ත්‍ර 50ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.” යනුවෙන් පැවසුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ ය. ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචි විද්‍යා සහ නවෝත්පාදන පිළිබඳ තානාපති මහාචාර්ය බන්දුල විජේගේ අදහස වන්නේ විදේශ රටවල තිබෙන උපකරණ හා මෙවලම් නිෂ්පාදනය කිරීම සඳහා මෙරට සිටින අය උනන්දු වන්නේ නම් තවත් මෙවැනි නිපැයුම් අපේ රටේ තනා ගත හැකි බවය. විදේශයන් හී වෙසෙන විද්‍යාඥයන් සහ ලංකාවේ විද්වතුන් අත්වැල් බැඳ ගැනීමේ වැදගත්කම මෙහිදී ඔහු අවධාරණය කළේය. ඔහු පවසන ආකාරයට මෙවැනි නිපැයුම් අපේ රටේ නිෂ්පාදනය කර ගත හැකි වුවහොත් රටක් වශයෙන් අපට ඉදිරියට ගමන් කළ හැකිය.

( silumina )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here