සංචරණ සීමා මැද්දේ පොලොන්නරුව ජල ගැලුම් නිම්න වනෝද්‍යානයට පිරිසක් බලෙන් පැන ඉඩම් අල්ලලා.

0

කොරෝනා සංචරණ සීමා පනවා තිබියදී පෙරේදා (22දා) පොළොන්නරුව, ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට බල හත්කාරයෙන් ඇතුළු වී එහි ඉඩම් අත්පත් කරගනිමින් සිටි පිරිසකට එරෙහිව ක‍්‍රියාකරන්නැයි වනජීවී දෙපාර්තමේන්තුව පොලොන්නරුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් සුංගාවිල, වෙහෙරගොඩයාය ප‍්‍රදේශයේදී මෙසේ නැවත වරක් ඉඩම් අල්ලා ගැනීම සිදුකර ඇත්තේ මීට පෙර එම ඉඩම් සඳහා වනජීවී නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි අධිකරණය මගින් තහනම් නියෝගයක් දී තිබියදීය.

උද්‍යානයට අයත් ඉඩම් කට්ටි 218 ක් අනවසර වගාකිරීම මත මීට පෙර පොළොන්නරුව අධිකරණය මගින් නෙරපීමේ නියෝගයක් ලබා දී අදාළ නෙරපීමේ කටයුතු සිදුවන අවස්ථාවක යළිත් මෙසේ ඉඩම් වගා කිරීම සඳහා පැමිණ ඇත්තේ කොරෝනා සංචරණ සීමා පනවා තිබියදී බව මේ පිළිබඳව අදහස් දැක්වූ මහවැලි කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ කේ. එස්. චන්ද්‍රරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම නීති විරෝධී ක‍්‍රියාව සම්බන්ධව ප‍්‍රදේශය භාර වන සත්ත්ව අඩවි ආරක්ෂකවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අප පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ආලෝක බී. සේනානායක මහතාගෙන් කරුණු විමසූ විට ඔහු කියා සිටියේ සිද්ධිය පිළිබඳව තමන් සොයා බැලූ බවත්, පුරාණයේ සිට එම බිම්වල ගොවිතැන් කළ තමන්ට ගොවිතැන් කරගැනීමට ජනාධිපතිතුමා පැවසූ බව කියමින් ඔවුන් එම කටයුත්තට සූදානම් වන බවයි.

කරුණු එසේ හෙයින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දුන් බවද ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

රජයේ රක්ෂිතයකට අයත් මෙම ඉඩම් අල්ලා ගැනීමේ සිද්ධිය පිටුපස පොළොන්නරුව දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමැතිවරයකු සිටින බවත්, ඇමැති විමලවීර දිසානායක මහතා සමග මීට පෙර බහින්බස් වීමක් සිදුවීමෙන් සෝමාවතිය ජාතික උද්‍යානයේ භාරකාර වාසල මහතා ස්ථාන මාරුකර යැව්වේද මෙම සිද්ධිය නිසාම බව වාර්තා වේ.

සිද්ධිය පිළිබඳව වනජීවී අමාත්‍ය සී. බී. රත්නායක මහතාගේ මැදිහත්වීම පරිදි ඊයේ (23දා) එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය හා වන ජීවී නිලධාරීන් පිරිසක් එහි ගිය අවස්ථාවේ කොරෝනා නීති කඩකරමින් එම ස්ථානයේ අයුතු ජනරාශියක් සිදුවෙමින් පැවති බවද අප වාර්තාකරුවෝ පවසති.

ජගත් කණහැරආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here