දිවි සැරිය නිම කළ මුදල් නෝට්ටු සිත්තරා ලකී සේනානායක

0

කෘතහස්ත කලාකරු ලකී සේනානායක මහතා (30දා) අභාවප‍්‍රාප්ත වී ඇත.හෙතෙම ප‍්‍රකට පරිසර ලෝලියකුද වේ. චිත‍්‍ර ශිල්පියකු ලෙස ලකී සේනානායක මහතා දැක්වූ දක්ෂතාවන් ජගත් මට්ටමේ ඉහළ ඇගයුමට ලක්ව ඇති අතර, ඔහු ජාතික මට්ටමෙන් දැක්වූ ඇතැම් දක්ෂතා කිසිවෙකුටත් සමකළ හැකි නොවීය.

එනම්, ශ‍්‍රී ලංකාවට ආවේණික හා දේශීය වන සතුන් සහ ශාක ඇසුරෙන් 1979 වසරේදී රජය මගින් ප‍්‍රකාශයට පත්කළ මුදල් නෝට්ටු ශ්‍රේණිය සඳහා සියලූ‍ම චිත‍්‍ර නිර්මාණය කරන ලද්දේ ලකී සේනානායක මහතාය. රුපියල් 2, 5, 10, 20, 50, 100 යන සියලූම නෝට්ටු සඳහා ඔහු විසින් අඳින ලද චිත‍්‍ර භාවිත කරන ලද අතර, මෙම මුදල් නෝට්ටු ශ්‍රේණිය සහ එහි නිර්මාණ ශිල්පියා ලෙස ලකී සේනානායක නමද ජාත්‍යන්තර පිළිගැනීමටද ලක් විය.

ලෝකයේ පවතින විසිතුරු මුදල් නෝට්ටු පිළිබඳව විදේශ ලේඛකයකු වන මාර්ටින් මොනෙස්ටියර් විසින් සම්පාදනය කරන ලද ග‍්‍රන්ථයේ ශ‍්‍රී ලංකාවේ ඉහත මුදල් නෝට්ටු ශ්‍රේණියද ඇතුලත් කර ඇති අතර, එහි ලකී සේනානායක මහතාගේ විස්තරයකට අමතරව ග‍්‍රන්ථයේ මුල් කවරය සැරසීම සඳහාද යොදාගෙන ඇත්තේ ශ‍්‍රී ලංකා රජය මගින් ප‍්‍රකාශිත සේනානායක මහතා විසින් අඳින ලද රුපියල් 50 නෝට්ටුවකිනි.

ලකී සේනානායක මහතා ලෝහ කැබලි පුරුද්දා නිර්මාණය කරන අමුර්ත කලාව සඳහාද ප‍්‍රකට වූවකු වන අතර, ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු ගර්භය මධ්‍යයේ වහළයේ සවිකර ඇති එම අමුර්ත නිර්මාණයද ඔහු විසින් සිදුකරන ලද්දකි.

එසේම, වෘක්ෂ රූට් බෝල් ක‍්‍රමයට ගලවා නැවත සිටුවීමේ ක‍්‍රමවේදය පිළිබඳව හසල දැනුමකින්ද යුතුවූ ලකී සේනානායක මහතා දිවංගත ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ ගම්උදා ව්‍යාපාරයේ සහ කොළඹ ඇතුළු නාගරික වටරවුම් යනාදී උද්‍යාන සැකසුම් හා විද්‍යාත්මක ගස් සිටුවීමේ කලාව සඳහාද පෙරමුණ ගෙන කටයුතු කළේය. නිදහස් ශ‍්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත‍්‍රී ෆ්ලොරන්ස් සේනානායක මැතිණියගේ දෙටු පුත‍්‍රයා වූ අභාවප‍්‍රාප්ත ලකී සේනානායකයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද 02දාසිදු කෙරේ.

දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here