නව නිවසට යන්න කලින් අවසන් ගමන් ගිය එකම පවුලේ 4 දෙනා..පුතා රට ඉදන් ඇවිත්.

0

දෙවනගල ගම්මානය පිහිටා ඇත්තේ අරණායක සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සීමාවෙහිය. රටම කම්පා කළ දෙවනගල නාය යෑම සිදුවන්නේ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩමකය. මෙම අ වාසනාවන්ත ඛේ ද වාචකයෙන් එකම පවුලේ සිව් දෙනෙක් මි ය ගියේ 5 වැනි සෙනසුරාදා උදෑසන 6 ත් 6.30 ත් අතර කාලයේ සිදු වූ නාය යෑමෙනි. ඔවුන් ජීවත් වූ නිවස තිබූ ස්ථානයවත් සොයා ගැනීමට නොහැකි ලෙස මහා පස් කන්දක් සමග ගස් කොළන් මෙන්ම ගල් පර්වත කිහිපයක්ම නිවස මතට පෙරළී තිබුණි.

ඓතිහාසික දෙවනගල පූජා භූමිය පිහිටි ගල් පර්වතයේ පාමුල මෙම නිවස පිහිටා තිබුණේය. අක්කර 50 කට වඩා වැඩි මේ මහා විශාල ගල් පර්වතය පිහිටියේ පූජා භූමියට අයිති ඉඩමකය. එනම් අරණායක කරහම්පිටිගොඩ ගම්මානයේ.

නිවස මත වැටී තිබූ පස් තට්ටුව සහ ගල් පර්වත ඉවත් කිරීමට හමුදාවට, ආරක්ෂක අංශවලට මෙන්ම ප්‍රදේශවාසී ජනතාවටද දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදුවූහ. කුඩා බැකෝ යන්ත්‍රද යොදාගෙන සිදුකළ පැය 6 කට ආසන්න මෙහෙයුමකින් අනතුරුව මි ය ගිය මෘ ත දේහ සොයාගත් අතර ඒවා ගිලන් රථ මගින් මාවනැල්ල මූලික රෝහලට යැවීමට කටයුතු කරන ලදී.

5 වැනිදා උදෑසන 9 පමණ වනවිට පස් කන්දට යටවී තිබූ 23 හැවිරිදි කංකානමලාගේ උමේෂා මධුවන්ති විජේතරත්න (දියණිය) ගේ දේහය මුලින්ම සොයාගැනීමට හැකිවිය. ඉන් අනතුරුව 57 හැවිරිදි කංකානමලාගේ විජේරත්න වන දරුවන්ගේ පියාත්, මව වන 55 හැවිරිදි වීරසිංහ පේඩිගේ ලලිතා වීරසිංහ යන අයගේ දේහයත් සොයාගන්නා ලදී. එදින දහවල් වනවිට මෙම පවුලේ පුතණුවන් වන 29 හැවිරිදි කංකානමලාගේ ශානික පුෂ්පකුමාර යන අයගේ දේහය සොයා ගත්තේය.

මව, පියා රැකියාවක් නොකරන මෙම පවුලේ දියණිය මාවනැල්ලේ පෞද්ගලික පාසලක ගුරුවරියක් ලෙස සේවය කළාය. 29 හැවිරිදි පුතණුවන් වසර කිහිපයක් මාලදිවයිනේ රැකියාවක් කොට මීට මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඇත. ඔහු මෙම නාය ගිය ස්ථානයට ඈතින් ආරක්ෂිත ස්ථානයක නව නිවසක් ඉදිකරමින් සිටියේය.

මෙම සිද්ධියට පෙර දිනයේ අලුත් නිවස කපරාදු කිරීමට සිමෙන්ති මිටි 18 ක් ගෙන ආ ඔහු, පසුදින නිවසේ ඉදිකිරීම් සඳහා එන්නැයි ගමේ පෙදරේරුවන් කිහිප දෙනකුටද දන්වා සිටියේය.

මාලදිවයිනේ රැකියාව කරන අතරවාරයේ මාස කිහිපයකට සැරයක් තම නිවසට ආ ගිය මි ය ගිය ශානික පුෂ්පකුමාරගේ එකම බලාපොරොත්තුව වී තිබුණේ කෙසේ හෝ තම අලුත් නිවස ඉදිකර එහි පදිංචියට යාමටය. මේ වන විට එම නිවසේ වැඩ අවසන් වී තිබුණා නම් මෙම සිව්දෙනාගේම ජීවිත මෙවන් අන තු රකට පත් නොවන බව රැස්ව සිටි ප්‍රදේශවාසීහු පවසති.

මෙම වැසි තත්ත්වය ඇතිවී ඇති අවස්ථාවේ උදෑසන 6 ට පෙර ශානික තම යාළුවකුට දුරකථනයෙන් පණිවුඩ ගණනාවක්ද යවා ඇත.

එමෙන්ම මෙම සිද්ධියට ඇසින් දුටු 53 හැවිරී පී. පේමරත්න පවසන්නේ නාය ගිය නිවස පසු කරමින් ගිය තමා ඉදිරිපිට වෙල් යායේ සිටියදී මහා විශාල ශබ්දයක් ඇසී බලද්දී නිවස යට කරගෙන පස් කන්ද තමා සිටින වෙල් යාය දෙසට ඇදී එන අන්දම දුටු බවයි. ජීවිතයේ කිසිම දිනක මෙවැනි බි හි සුණු අ නතුරක් දැක නැති තමා ගම්මුන්ට කෑ ගසා මේ බව පැවැසුවා යැයි ඔහු කියයි.

දෙවනගල ගල වටේට අනවසර පදිංචිකරුවන් සිටින බව මාධ්‍ය මගින්ද කිහිප වතාවක්ම රටට කියා ඇත්තේය. එම බොහෝ නිවාස මේ අන්දමට ගල් පාදමේ පස් තට්ටු මත සකස් කර ඇත. තවද දෙවනගල කටුගහවත්ත සහ උඩපමුනුව ගම්මානයේ ගලේ පස් තට්ටුව මත අනාරක්ෂිත නිවාස මේ වනවිටද පිහිටා තිබේ. එබැවින් රජය මේ පිළිබඳව වහා අවධානය යොමුකළ යුතු යැයි ජනතාව පවසයි.

අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසඩ් ඒ. එම්. ෆයිසාල් මේ පිළිබඳ පවසන්නේ මෙවැන්නකි.

‘‘මේ අය අලුතෙන් නිවසක් සකස් කරලා තිබෙනවා අවදානමක් නොමැති ස්ථානයක. නමුත් ඒ ගෙදර නොගිහින් මේ අවදානම් සහිත ස්ථානයේ ජීවත් වෙලා තියෙනවා. මහ වැස්ස තියෙද්දී තමයි මේ වාගේ අවදානමක මේ අය ඉඳලා තියෙන්නේ. ඒ නිසා ඉදිරි වැසි දිනවල ජනතාව ඉතාම අවධානයෙන් සිටිය යුතුයි.’’

දෙවනගල රජමහ විහාරයේ භාරකාර මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි සඳහන් කරන්නේ අනාරක්ෂිත නිවාස ඉවත් කරන ලෙස බලධාරීන්ට දැන්වුවත් එය සිදුනොවූ බවයි.

‘‘වර්ෂාවත් එක්ක දෙවනගල රජමහ විහාරයේ සිට එන මහා ජල කඳට ගල් සේදී සේදී ඇවිත් නිවෙස් මතට කඩා වැටෙනවා. ඒ නිසා මේ අවට අනාරක්ෂිත නිවාස මෙන්ම දෙවනගල කටුගහවත්ත සහ උඩපමුණුව යන ප්‍රදේශවල ඇති අනාරක්ෂිත නිවාසද වහාම ඉවත් කර මේ අවදානමෙන් ගලවා ගන්නා ලෙස රජයේ වගකිව යුතු නිලධාරීන්ට මා මෙහිදී සිහිපත් කරනවා’’ යැයි උන්වහන්සේ පවසති.

සමන් විජය බණ්ඩාර – මාවනැල්ල/රුවන් වර්ණසූරිය – රඹුක්කන/සාලිය ගමසිංහආරච්චි – කෑගල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here