ගුවන් හමුදාවේ කෆීර් යානා පහක් නවීකරණයට ඊශ්‍රායලය සමග කෝටි 1000ක ගිවිසුමක්

0

ගුවන් හමුදාවේ කෆීර්යානා පහක් නවීකරණය කිරීම (Upgrade) සඳහා ඊශ්‍රායලය ශ්‍රී ලංකා සමග අමෙරිකානු ඩොලර් මිලියන 50ක (රුපියල් කෝටි 1000ක) ගිවිසුමක් අත්සන් කර ඇත.

ඊශ්‍රායල රජයට අයත් ඊශ්‍රායල් එරොස්පේස් ඉන්ඩස්ට්‍රීස් (Israel Aerospace Industries-IAI) ආයතනය නිවේදනය කර ඇත්තේ මෙම ගනුදෙනුවට උසස් තතත්වයේ රේඩාර් සංවේදක, සන්නිවේදන පද්ධතිය සහ අධිතාක්ෂණික හිස් ආවරණ එක්කොට මෙම කෆීර් යානා 4 වැනි පරම්පරාව (4th Genaration) දක්වා උසස් කිරීම ඇතුළත් වන බවයි.

මෙම වැඩසටහනට ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයන් වෙත ගුවන් යානා නවීකරණය කිරීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදීමද ඇතුළත්​ වේ.

මෙම නවීකරණය කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ දේශීය පහසුකම්වල සහයෝගයෙන් සිදුකෙර්. මෙම වැඩසටහන පිළිබඳව අදහස් පළකර ඇති IAI ආයතනයේ ප්‍රධාන විධායක යොසී මෙලමේඩ් (Yossi Melamed) පවසා ඇත්තේ මෙම කෆීර් යානා උසස් තත්ත්වයට පත්කිරීම සඳහා ගන්නා ලද තීරණය පිළිබඳ තමා කෘතඥ වන බවයි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව ‘අරුණ’ සමග අදහස් පළ කළ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේ මෙම කෆීර් යානා නවීකරණය කිරීමේ වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

වසර දෙකක කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිත බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here