මාත්‍රා දෙකක් එකවර දුන් කාන්තාවට ගැටලුවක් වෙන්නේ නෑ.

0

කොවිඩ් එන්තත් මාත්‍රා දෙකක් එකවර එන්නත් කෙරුණු බව කියන උඩපේරාදෙණිය ප්‍රදේශයේ කාන්තාවට සෞඛ්‍යමය වශයෙන් ගැටලුවක් සිදු නොවන බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් එකවර පුද්ගලයකු ලබා ගත් විට අතුරු විපාක සිදු නොවන්නා සේම එයින් විශේෂ ආරක්ෂාවක් නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මහනුවර උඩපේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවක් පෙරේදා (21 වැනිදා) එන්නත ලබා ගැනීම සඳහා ඔගස්ටාවත්ත එන්නත්කරණ මධ්‍යස්ථානයට ගිය විට කොවිඩ් එන්නත් දෙකක් ලබා දුන් බව පවසා එම කාන්තාවගේ සැමියා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති චන්න ජයසුමන සඳහන් කළේ අදාළ කාන්තාව එන්නත ලබාගෙන කාඩ්පත ලියා දෙන තුරු වෙන ස්ථානයක වාඩි වී සිටින අවස්ථාවකදි ඇයට තවත් මාත්‍රාවක් ලබාදී ඇති බවය.

නමුත් ඇයට සෞඛ්‍යමය වශයෙන් ගැටලුවක් සිදු නොවන බවද ඇය බියට පත්වීම නිසා රෝහල්ගත වී සිටින බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

එම කාන්තාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරු අවධානයෙන් සිටින බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

( වරුණී පෙරමුණ – අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here