ජාතියට දායාද කළ අපේ ගම සඳුන් උයන

0

බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ඉදිවූ ලංකාවේ ප්‍රථම ජාතික සඳුන් උයන පසුගියදා (20) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්වුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිවුණ මෙම සඳුන් උයන අක්කර නවයකින් යුක්තය.

කැන්ටලම් කුලයේ ශාකයක් වන මෙම සඳුන් උයන බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර &අපේ ගම* පරිශ්‍රයට සහ පාර්ලිමේන්තු සංකීර්ණය යාබදව ඉදි වී ඇත. මෙසේ නාගරික සංවර්ධන අධිකාරියට වෙන්වූ ඉඩමක ඉදි වී තිබේ.

සඳුන් පැළ දහසකින් යුත් මෙම සඳුන් උයනේ සඳුන් පැළවලට ආධාරක පැළ ලෙස මුගුණුවැන්න පැළ සිටුවා තිබේ. සඳුන් පැළවලට අවශ්‍ය ජලය රඳවා තබා ගැනීමටත් පසේ තෙතමනය නොකඩවා රඳවා තබා ගැනීමටත් මෙමගින් හැකියාව ලැබෙයි.
සඳුන් ගස්වලට අමතරව විවිධ වර්ණයෙන් යුක්ත වූ විසිතුරු මල්පැළ රුසකින් සමන්විත වූ &සඳුන් උයන* අපූරු චමත්කාරජනක උයනකි. ජල පොකුණු දෙකක් අතරින් උද්‍යානයට ඇතුල්වීමට හැකි අතර මෙම පොකුණ දෙක ජල ලීටර් ලක්ෂ දෙකකින් සමන්විත වේ. මෙම පොකුණු දෙක මැදින් ගමන් කිරීමෙන් පසුව ප්‍රවේශ වන්නේ උස වේදිකාවක් මතටය. සිහිල් දිය දහරාවක් ඇදහැලෙන අපූරු බිත්ති අටක් මෙම ප්‍රවේශ මාර්ගය දෙපස ඉදිකොට ඇත.

සඳුන් උයනේ ඉදිකර ඇති එළිමහන් රංග පීඨය බොහෝදුරට අතීතයේ පැවැති රංග පීඨවලට සමානය. සඳුන් උයනට පිවිසෙන කෙනකුට නිදහසේ මෙම රංගපීඨය පරිහරණය කිරීමේ අවස්ථාව උදාකර ඇත. ස්වයංක්‍රීයව රටා මවන වතුර මල්වලින් සමන්විතව ඉදිකර ඇති වර්ණවත් මල් ගොමුවේ කුඩා පොකුණු දොළහක් ඉදිකර ඇත.

මෙම ජාතික සඳුන් උයනේ රථවාහන හැටක් පමණ සංඛ්‍යාවක් එකවර නතර කරලීමට හැකි විශාල රථගාලක්ද ඉදිකොට තිබේ. සඳුන් උයනට පිවිසෙන කෙනෙකුට නිදහසේ, විවේකීව, හුදෙකලාව. විනෝදය සහ යහපත් ක්‍රියාවන් අවස්ථාවක් සඳහා ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත. ඉදිරියේදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට තම සුන්දර ඡායාරෑප මෙම නිදහස් පරිසරයේ සිට ලබාගැනීමටද අවස්ථාව සලසා ඇත. මෙම උද්‍යානයට පිවිසෙන අයට ස්වභාවික ආහාරපාන ලබාගැනීමේ අවස්ථාවද සැලසේ. ව්‍යායාම් කිරීමට මෙන්ම භාවනා වැඩසටහන් පැවැත්වීමට යෝග අභ්‍යාසවල නිරතවීමටත් සුදුසු වටපිටාවක් මෙම සඳුන් උයනේ පවතී.

පොළොව මට්ටමේ සිට අඩි දෙකක් උසට මෙම සියලු පැළ සිටුවා ඇත. ශ්‍රී ලංකාවේ අති දුර්ලභ වටිනා රන් සඳුන් ශාක තුන්සීයක් මෙන්ම සුදු සඳුන් ශාඛ නවසීයකින් සමන්විත වුණු මෙම උද්‍යානය නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් මත, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව ඉදිකිරීම් සිදුකොට තිබේ.

සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, පිරිසුදු ආහාරපාන ලබාගැනීම සඳහා වන අවන්හල් වලින්ද මෙම උද්‍යානයේ සමන්විත වන අතර කොවිඩ් වසංගත තත්ත්වය පැවැති කාලයේදී 2020 වර්ෂයේ ජූලි මස විසිවැනි දින මෙහි ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව ආරම්භ කර ඇත.

ජාතික සඳුන් උයන ගොඩනැගීම අදියර දෙකක් යටතේ සිදුකර තිබේ. මේ සඳහා පළමු අදියරට රුපියල් මිලියන එකසිය තිස් දෙකක්ද දෙවැනි අදියර සඳහා රුපියල් මිලියන එකසිය හැට දෙකක්ද වැයකර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය මෙහි පිරිවැය දරන අතර නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි.

දිශානි ජයමාලි කරුණාරත්න ( DESHAYA )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here