එන අවුරුද්දේ විවාහ වෙන්න හිටියේ.ප‍්‍රමිතියට නොබැන්ද තාප්පය ගීතිකාගේ ජීවිතය උදුරා ගත්තා.තාප්පය බැඳලා තියෙන්නේ නගර සභා අවසරය නැතිව,එක කම්බියක්වත් දාලා නැහැලූ

0
235

මහා ශබ්දයක් එක්ක මුළු ගේම කඩාගෙන වැටුණා මතකයි – සොහොයුරු සම්පත් කියයි

ඒ රාති‍්‍රයේ මොරසූරන වැස්ස දිගටම කඩාහැලිණි. ඊටම නොදෙවැනි සුළඟක් ද දසත හැමීය. කඩුවෙල කොතලාවල පාසල් මාවතේ නිවසක ඒ වනවිට ගීතිකා ශ්‍යාමලී, සිය මව සහ සහෝදරයන් දෙදෙනාද සමග නින්දත් නොනින්දත් අතර පසු විය.

එක්වරම ඒ නිවස දෙසින් මහා ශබ්දයක් ඇසිණි. ඒ හඬ ඔස්සේ කළුවරත් කපාගෙන පැමිණි අසල්වාසීන්ට දැකගත හැකි වූයේ යාබද ඉඩමේ මායිමේ බැඳ තිබූ අඩි සියයක් පමණ දිග තාප්පය එහි පැති බැම්මද සමග ගීතිකාගේ නිවස මතට කඩා වැටී ඇති අයුරුයි.

පැති බැම්ම් කළුගල්, තාප්පයේ බ්ලොක් ගල් ගොඩ කරන ලද පස්ද සමග නිවස මුළුමනින්ම යට වී ගොසිනි. මේ අනතුරින් ගීතිකා ශ්‍යාමලී ට සිය දිවි අහිමි වූ අතර, ඇයගේ මව වන ඩබ්. බී. මල්ලිකා මහත්මිය බරපතළ තුවාල ලබා මේ වනවිටත් රෝහල්ගතව සිටී.

වාසනාවකට මෙන් ගීතිකාගේ සොහොයුරන් දෙදෙනා වන සම්පත් විජේරත්නටත්, මංජු විජේරත්නටත් තිබුණේ සුළු තුවාල පමණි. මේ බිහිසුණු සිද්ධිය සම්පත් දිවයිනට විස්තර කළේ මෙහෙමයි.

වෙලාව රෑ දහයට විතර ඇති. දිගටම වැස්ස තිබ්බා. අපි කාලා නිදාගන්න ලෑස්තිවෙලා හිටියේ. එකපාරටම මහා ශබ්දයක් එක්ක මුළු ගේම කඩාගෙන වැටුණා මතකයි. එකපාරටම මොනවා වුණාද කියලා හිතාගන්න බැරි වුණා. කළුවර වුණා. මට සිහිය තිබුණා. අහල පහළ අය කෑ ගහනකොට තමයි තේරුණේ එහා වත්තේ තාප්පෙ කඩා වැටිලා කියලා. නංගියි අම්මයි හිටිය පැත්ත හොඳටම යටවෙලා තිබුණෙ. අපිව රෝහලට ගෙන ගියා. පස්සේ දැනගත්තා නංගි නැතිවුණා කියලා.’’

එක්තරා පෞද්ගලික දේපළ සමාගමක් විසින් ඉදිකරන ලද මේ බැම්ම සහ තාප්පය නිසි ප‍්‍රමිතියකින් ඉදිකරන ලද්දක් නොවන බවත්, මේ මරණයට සහ දේපලවලට එම සමාගම වගකිව යුතු බවත් ප‍්‍රදේශවාසීන්ගේ මතයයි.

මෙම සිද්ධිය සැළවූ මොහොතේම එම ස්ථානයට පැමිණි කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා මෙම පවුලට ඉඩමක් සමග නිවසක්ද ලබාදීමට පොරොන්දු වූ බව නාගරික මන්තී‍්‍ර ග්‍රේෂන් අල්විස් මහතා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අදාළ සමාගම මේ ඉදිකිරීමට නගර සභා අනුමැතිය ලබාගෙන නොමැති බවය. එමෙන්ම පර්චස් හතළිහකට වඩා වැඩි ඉඩම්වල සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය සතුවන බව ද ඔහු පැවසීය.

වරද කාගේ වුවද අහිංසක තරුණියක් ජීවිතයෙන් වන්දි ගෙවා හමාරය. මියයන විට ගීතිකා ශ්‍යාමලී විජේරත්න විසි අට වැනි වියේ පසු විය. ඇය ලබන වසරේ විවාහ දිවියට එළැඹීමේ බලාපොරොත්තුවෙන් පසුවිය. ඇය සේවය කළ කඩුවෙල පෞද්ගලික ඖෂධ අලෙවිසලේ හිමිකරු වන ජගත් කුමාර මහතා පැවසුවේ ඇය මනා වගකීමකින් මෙන්ම බොහෝදෙනා සමග සුහදව කටයුතු කළ බවය.

අප මෙම නිවසට යනවිට බොහෝ පිරිස් එම ස්ථානයට රොක්වී සිටියහ. ගීතිකාලගේ පවුලේ අය මෙම නිවස කුලියට ගෙන එහි පදිංචි වූයේ මීට වසර දෙකකට පමණ පෙරය. එම නිවසේ හිමිකරු වන නිහාල් වසන්ත මහතා ‘‘දිවයින’’ට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

දැන් මේ දේහය තැන්පත් කරල තියෙන්නේ මගේ ගෙදර. කුලියට ඇවිල්ල වසර දෙකක් විතර වෙනවා. එහා පැත්තේ ඔය ඉදිකිරීම හරියට කළේ නැහැ. පරණ බැම්ම උඩ කණුවක් දාලා තමයි බැම්ම ගහල තිබුණේ. එක කම්බියක් වත් දාලා තිබුණේ නැහැ. ජීවිත ආපසු ගන්න බැහැ. ඒත් මේ පවුලට සාධාරණය ඉටුවිය යුතුයි.

මියගිය ගීතිකා කඩුවෙල කොතලාවල මහා විiාලයේ ආදි ශිෂ්‍යාවකි. පාසල් වියේ මිතුරු මිතුරියන් ඇය ගැන සිහි කරන්නේ හැඬූ කඳුළිනි. ඇය එතරම්ම සංවේදී යෙහෙළියක බව ඔවුහු පැවසූහ.

මේ සිද්ධිය වනවිට ගීතිකාගේ පියා ඩබ්. බී. විජේරත්න සිටියේ අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ. ඔහු රැකියාව කරන වත්තේය. එක්වරම මේ පණිවුඩය පැමිණි පසු ඔහුට අදහාගැනීමටත් නොහැකි වූ බව ඔහු කීවේය.

අනේ මගේ කෙල්ල මට නැති වුණා ලබන අවුරුද්දේ විවාහ වෙන්නයි හිටියෙ. අපේ බලාපොරොත්තු සේරම වතුරෙ ගියා. දැන් අපිට මොනවා ලැබුණත් වැඩක් නැහැ.’’

ගීතිකා ශ්‍යාමලී විජේරත්න මෙනවියගේ අවසන් ගමනට සමුදෙන්නට බොහෝ පිරිස් වැළනොකැඞී මේ නිවසට පැමිණෙති. හතර අත ශෝකය පළ කරන බැනර්ය. ඒ සියල්ල මැද ඇය නිසලය.ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 10 වැනිදා බ‍්‍රහස්පතින්දා සවස හතරට කොතලාවල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

සටහන හා ඡුායාරූප –  කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here