තව සියවසකින් මිනිසා වැනසෙයිද?ශ්‍රීමත් ඇටන්බරෝගේ අනාවරණයක්

0
213

දශක හයක් පුරා, පුංචි තිරයෙන්, සොබා දහමේ අපූර්වත්වයත්, විස්මිත සත්ව ලෝකයේ සුන්දරත්වයත් ලොවට කියා දෙමින්, සොබා දහමට ආදරය කරන්න අපට කියා දුන්නේ ඩේවිඩ් ඇටන්බරෝ යැයි කීවොත් එය නිවැරදිය. ඇටන්බර්ග් ඉදිරිපත් කරන ‘ලයිෆ් ඔන් අර්ත්’, ‘බ්ලූ ප්ලැනට්’, ‘ප්ලැනට් අර්ත්’ ඇතුළු දහස් ගණනක් රූපවාහිනී වාර්තා වැඩසටහන් ලොකු කුඩා කා අතරේත් අතිශය ජනප්‍රියය. පරිසරවේදියකු ලෙසත් පරිසර ක්‍රියාකාරිකයකු ලෙසත් ඩේවිඩ් ඇටන්බරෝ ගෞරවාදරයට පාත්‍ර වී සිටී. ලොව කාගේත් පිළිගැනීමකට ලක් වී සිටී.   

ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන, ‘එක්ස්ටින්ෂන්: ද ෆැක්ට්ස්’ නමැති වාර්තාමය වැඩසටහන පසුගිය දා ‘බීබීසී වන්’ නාළිකාව ඔස්සේ විකාශය කෙරුණි. සොබාදහමේත් සත්ව ලෝකයේත් අපූර්වත්වය දැක ගැනීමේ අපේක්ෂාවෙන්, ‘එක්ස්ටින්ෂන්: ද ෆැක්ට්ස්’ වැඩසටහන සමඟ එක්වුණු සැම කම්පනයට පත්වූ බව පැවැසෙයි. ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ මෙතෙක් ඉදිර්පත් කළ වැඩසටහන්වලට වඩා පැයක් පුරා දිගහැරෙන ‘එක්ස්ටින්ෂන්: ද ෆැක්ට්ස්’ හි තේමාව සම්පූර්ණයෙන් වෙනස්ය. ‘එක්ස්ටින්ෂන්: ද ෆැක්ට්ස්’ සඳහා පාදක වන්නේ, පෘථිවියේ ආධිපත්‍යය පතුරුවමින්, පෘථිවිය තමන්ගේ පමණක් යැයි සිතන මිනිසා නමැති සිත්පිත් නැති සත්වයා පරිසරයට කරන විනාශයයි. සත්ව ලෝකයට කරන හානියයි.

‘අප බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිනවා. එහි බලපෑම කාටත් පොදුයි’ යැයි ඩේවිඩ් ඇටන්බරෝ කරන අනතුරු ඇඟවීමත් සමඟ වැඩසටහන ආරම්භ වෙයි. සාමාන්‍යයෙන් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන සොබාදහමේ සහ සත්ව ලෝකයේ විස්මිත දසුන් කිසිවක් ‘එක්ස්ටින්ෂන්: ද ෆැක්ට්ස්’ වැඩසටහනට ඇතුළත් නොවන අතර, වැඩසටහන පුරා දකින්න ලැබෙන්නේ හද කම්පා කරවන දසුන් සහ සිදුවීම් පමණය.

මිනිසා ඉවක් බවක් නොමැතිව වනාන්තර විනාශ කරයි. වසර දහස් ගණනක් පැරණි මහා ගස් කපා බිම හෙළයි. වනාන්තර ගිනි තබයි. එසේ වනාන්තරයක පැතිරෙන මහා ගින්නකින් බේරීමට උත්සාහ ගන්නා වඳුරු රංචුවක්, දිවි පරදුවට තබා ගංගාවකට පනින හද කම්පා කරන සිදුවීම් පෙළක් ද, ඕස්ට්‍රේලියාවේ ළැව් ගිනිවලට හසුවී පිලිස්සී වේදනාවෙන් කොර ගසමින් ගාටන අහිංසක කෝලා වලසකු පමණක් නොව මස් පිණිස අනවසරයෙන් දඩයම් කරන අසරණ වූ කබල්ලෑවන් රංචුවක් ද හිම දියවී වාසභූමි අහිමි වී හාමතේ සිටින හිම වලසුන් ද ‘එක්ස්ටින්ෂන්: ද ෆැක්ට්ස්’ වැඩසටහනින් දකින්න ලැබේ.

ප්‍රකට පරිසරවේදීන්, පරිසර ක්‍රියාකාරීන්, විද්‍යාඥයන් සහ වනජීවී නිලධාරීහු රැසක් ද ඔවුන්ගේ අදහස් දක්වමින් වැඩසටහන සමඟ එක් වී සිටිති. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාදහමටත් සත්ව ලෝකයටත් සිදුවී ඇති හානිය ඔවුහු පෙන්වා දෙති. මිහිමත සත්ව විශේෂ මිලියන 8 ක් සිටින නමුත් අද වනවිට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සත්ව විශේෂ මිලියනයක් සදහටම ලොවෙන් සමුගෙන අවසන්ය. 1970 වසරේ සිට මේ දක්වා, කුරුල්ලන්, ක්ෂීරපායීන්, උරගයන්, මත්සයින් සහ උභය ජීවීන් සියයට 60 කින් අඩුවී ගොසිනි.

මීට වසර ගණනාවකට පෙර, සුදු රයිනෝ සතුන් මධ්‍යම අප්‍රිකා රටවල් රැසක දකින්න ලැබුණු නමුත්, අං ලබා ගැනීමට උන් දඩයම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද ලොවට ඉතිරිව සිටින්නේ සුදු රයිනෝ දෙදෙනකු පමණි. ඒ, මවක සහ දියණියකි. ‘නජින්’ සහ ‘ෆාටූ’ යන නම්වලින් හැඳින්වෙන එම රයිනෝ දෙදෙනා රැක බලා ගැනීම සිදුවන්නේ වන ජීවී නිලධාරීන්ගේ සහ හමුදාවේ සහාය ඇතිවය. ඇටන්බරෝ, අප්‍රිකා රටවල් වන රුවන්ඩා සහ කොංගෝ දේශසීමා කඳුකරයේ දී කඳුකර ගෝරිල්ලන් හමුවූ පැරණි දසුන් පෙළක් ‘එක්ස්ටින්ෂන්: ද ෆැක්ට්ස්’ වැඩසටහනට ඇතුළත්ය. ගෝරිල්ලන් හමුවුණු අවස්ථාවේ, ‘පොපි’ යන නමින් නම් කළ පුංචි ගොරිල්ලා පැටවකු ඩේවිඩ් ඇටන්බරෝ සමඟ සමීප වූයේය.

‘කඳුකර ගෝරිල්ලන් දඩයමට ලක්වී ලොවෙන් සමු ගැනීමට ඔන්න මෙන්න කියා තිබුණා. පොපි මට හමුවුණේ එවැනි අවස්ථාවක. ඒත් රුවන්ඩා රජය සහ වනජීවී නිලධාරීන් එක් වී, ගෝරිල්ලන් ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළා. එහි ප්‍රතිඵලය, අද වනවිට පොපි මිත්තනියක වීමයි. එදා 250 කට සීමා වූ ගොරිල්ලන් අද 1,000 ක් දක්වා වැඩිවෙලා. සොබාදහම සුරකිමින්, සතුන් ආරක්ෂා කිරීමට අප තවමත් ප්‍රමාද නැහැ. හැබැයි ඒ වෙනුවෙන් කවුරුත් උනන්දු වෙන්න ඕනෑ. පෙළ ගැසෙන්න ඕනෑ’ යැයි ඇටන්බරෝ පැහැදිලි කරන්නේ, නරඹන්නන් තුළ බලාපොරොත්තු දල්වමිනි.

ලොවට වසංගයක් වූ ‘කොවිඩ් 19’ කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ද සත්ව විද්‍යාඥයන් සහ පරිසරවේදීහු ‘එක්ස්ටින්ෂන්: ද ෆැක්ට්ස්’ වැඩසටහන හරහා අදහස් දක්වති. වයිරසයේ සුලමුල එසේත් නැතිනම් ආරම්භය තවමත් ලොවට අබිරහසක් වුවත්, සත්ව විද්‍යාඥයන් සැක කරන්නේ චීනයේ ලෙන්වල ජීවත්වන වවුලන්ගෙන් වයිරසය මනුෂ්‍යයන්ට පැතිරෙන්න ඇතැයි කියාය. වයිරසය, වවුලන්ගෙන් මිනිසුන්ට ආසාදනය වීමේදී අතරමැදියකු වූයේ කබල්ලෑවා යැයි ද සැකයක් පවතී. ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර, සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගෙනය. මෙම වෙළෙඳ පොළේ මස් පිණිස සෑම සතෙකුම පාහේ විකිණෙයි. මේ සම්බන්ධයෙන් ඩේවිඩ් ඇටන්බරෝ කනස්සල්ල පළ කරයි. මිනිසාගේ පැවැත්ම රඳා පවතින්නේ සොබාදහමේ සමබරතාව මත යැයි ඇටන්බරෝ පවසයි. දිගින් දිගටම මිනිසා සොබාදහමට විණ කරන්නේ නම්, සොබාදහමේ බිහිසුණු ඵලවිපාකවලට (කොරෝනා වසංගතය වැනි) මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඇටන්බරෝ පැහැදිලි කරයි. ගෝලීය උණුසුම ඉහළ යෑම සහ කාලගුණ විපර්යාස ද කොරෝනා වයිරසය වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත කිරීමට හේතුවක් වී තිබේ.

‘මා ලෝකයේ සෑම අස්සකටම මුල්ලකටම මා ගිහින් තිබෙනවා. සොබා දහමේ අපූරු මෙන්ම සුන්දර දේවල්, අමුතු අපූරු සතුන් එම සතුන්ගේ විස්මිත හැසිරීම් රටා මට දකින්න ලැබුණා. මා සැබැවින්ම හරිම වාසනාවන්තයි. ඒ දසුන් ඔබට දකින්න සැලැස්වීම ගැන මා ආඩම්බර වෙනවා. මට දකින්න ලැබුණු සත්ව විශේෂ බොහොමයක් අද මිහිමත නැහැ. සදහටම සමුගෙන ගිහින්. මාගේ ජීවිත කාලය තුළදී එසේ වීම ගැන මා තුළ ඇත්තේ කනගාටුවක්. පරාගනය වෙනුවෙන් අතිශය වැදගත් කාර්යයක් ඉටු කරන කෘමි සතුන් බොහොමයක් සදහටම ලොවෙන් සමුගෙන ගිහින්.

පරාගනය ඉතා වැදගත්. ගස්වැල් නැතිනම් ඔක්සිජන් නැතිවේවි. එසේ වුණොත් අප හුස්ම ගන්නේ කොහොමද? ගස් අඩුවෙද්දී, වායු දූෂණය දිනෙන් දින ඉහළ යාවි. වාතය අපිරිසුදු වෙනවා. උණුසුම වැඩි වී, අයිස් දියවේවි. මිහිමත සාගර දිනපතා දූෂණය වෙනවා. ප්ලාස්ටික් සාගරයට එක්වෙලා. විෂවෙලා. අද බොහෝ සාගරවල මසුන් නැහැ. පමණ ඉක්මවා ධීවර කටයුතු සිදුවෙනවා. එයත් මසුන් අඩුවීමට හේතුවක්.

මට දැන් අවුරුදු 94 ක්. මා ගෙවන්නේ මගේ ජීවිතේ අවසන් කාලය. මා හැකි සෑම විටම ඔබ දැනුවත් කළා. අනාගතය ඇත්තේ ඔබ අතේ. තවමත් ඔබ ප්‍රමාද නැහැ. මීළඟට වෙන්නේ කුමක්ද? මීළඟට වෙන්නේ කුමක්දැයි තීරණය කළ යුත්තේ ඔබයි’ ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ‘එක්ස්ටින්ෂන්: ද ෆැක්ට්ස්’ වාර්තා වැඩසටහන අවසන් කරන්නේ මෙලෙසිනි.

‘එක්ස්ටින්ෂන්: ද ෆැක්ට්ස්’ වාර්තා වැඩසටහන නරඹා, සංවේදී වූ බොහෝ දෙනා අතර, කැරී සිමොන්ඩ්ස් ද සිටී. කැරී සිමොන්ඩ්ස්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සහකාරියයි. වැඩසටහන නරඹද්දී, තමන්ගේ දෑස් කඳුළින් තෙත් වුණු බව කැරී සිමොන්ඩ්ස් කියයි. සොබාදහම සහ සතුන් සුරැකීම කෙරෙහි අප යොමු විය යුතු යැයි ඇය ට්විටර් පණිවුඩයකින් පවසා තිබේ.

ලුසිත ජයමාන්න
‘බීබීසී වන්’ ඇසුරිනි  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here