රට උපයන සෑම රුපියල් සියයකින් අනූඑකක් වැය වන්නේ ණය ගෙවන්න.ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව.

0
311

මූඩිස් නම් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව පහතට හෙළා තිබීම විපක්ෂයේ සතුටටත්, ආණ්ඩුවේ නොසතුටටත් හේතු වී තිබේ. B2 මට්ටමේ සිටි ශ්‍රී ලංකාව Caa-1 දක්වා පහත දැමීමට මූඩීස් ආයතනය පියවර ගෙන ඇත. මූඩීස් ආයතනය මෙම ශ්‍රේණිත කිරීම කරනු ලබන්නේ විදේශ ණය ගෙවීමට ඇති හැකියාව, අයවැය හිඟය හා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා රටක් තුළ ඇති අවකාශය යන කරුණු සැලකිල්ලට ගනිමිනි.

විපක්ෂය කියන ආකාරයට මූඩීස් ශ්‍රේණිගත කිරීම නිසා රට හාන්සිය. කිසිම විදේශ ආයතනයක් හෝ රටක් මින් ඉදිරියට අපේ රටට ණයක් දෙන්නට ඉදිරිපත් නොවනු ඇත. විදේශ ණය නොලැබීම නිසා ජනතාවට සිදුවනු ඇත්තේ හාමතේ මිය යන්නටය.

ආණ්ඩුව කියන්නේ විපක්ෂය කියන තරම් යකා කළු නොමැති බවය. අනෙක් අතට මූඩීස් ආයතනය මෙම ශ්‍රේණිගත කිරීම් කරන්නේ සැබෑ තත්ත්වය සැලකිල්ලට ගෙන නොවන බවද ආණ්ඩුවේ අදහසය. මූඩීස් ආයතනය ආර්ථිකයට අදාළ කරුණු ගැන නිර්ණායක හදන්නේ සත්‍ය සංඛ්‍යා නොව, දේශපාලන කාරණා, මත පදනම්ව බව ආණ්ඩුවේ අදහසය. විපක්ෂය කියන තරමට යකා කළු නොමැති බව සිහි බුද්ධිය ඇති කාටත් අමුතුවෙන් කියාදිය යුතු නැත. කෙසේ වෙතත් මේ මොහොතේ රට කිසියම් ආර්ථික අර්බුදයක සිටින බවද සත්‍යයකි.

ජනතාවට යම් යම් අසීරුතාවන්ට මුහුණ දීමට සිදුව ඇතත් විදෙස් ආනයන සීමා පැනවීමට සිදුව ඇත්තේ විදෙස් ණය ගෙවීම සඳහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කොට තිබේ. ශ්‍රී ලංකාව කිසිදු විටෙක විදේශ ණය වාරික ගෙවීම පැහැර හැර නැත. ඒ අනුව වර්තමානයේදී කුමන ආර්ථික අපහසුතා පැවතියද ණය ගෙවීම පැහැර නොහැරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

කොරෝනා ව්‍යසනය විසින් අප රටේ පමණක් නොව සංවර්ධිත රටවල පවා ආර්ථිකයන් අඩපණ කර ඇති බව කවුරුත් දන්නා කාරණයකි. එසේ වුවත් අපේ රට මේ මොහොතේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට එකම හේතුව කොරෝනා ව්‍යසනය යැයි ඍජුවම කිව නොහැකිය.

අපේ ආර්ථික අර්බුදයට මූලික හේතුව රට විසින් ලබාගෙන ඇති අති විශාල ණය කන්දරාවය. ණය බරකින් පෙළෙමින් සිටි අප වැනි ආර්ථිකයකට කොරෝනා නිසා සිදුව ඇත්තේ හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුණා වැනි සිද්ධියකි.

මේ වන විට අපේ දේශීය හා විදේශීය ණය ප්‍රමාණවලට අනුව රටේ සෑම කෙනකුම රුපියල් පන්ලක්ෂ පනස්පන් දහසක පමණ ණයගැතියකු බවට පත්ව සිටී. සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට අනූ එකක් පමණය. වෙනත් ආකාරයකට කියන්නේ නම් රට උපයන සෑම රුපියල් සියයකින් අනූඑකක් වැය වන්නේ ණය ගෙවීම සඳහාය. කෙසේ වෙතත් මේ අධික වැය බර සම්බන්ධයෙන් එක් ආණ්ඩුවකට හෝ එක් පක්ෂයකට චෝදනා කළ නොහැකිය. නිදහසින් පසු රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම සෑම පක්ෂයක්ම ඊට වගකිව යුතුය.

මීට වසර විස්සකට තිහකට ඉහතදී ගත් බොහෝ ණය කල් පිරීම සිදුවන්නේ මේ වසරේ හා ඉදිරි වසර දෙක තුන තුළය. ඒ අනුව අද දින පමණක් ස්වෛරී බැඳුම්කර සඳහා ඩොලර් බිලියනයක් ගෙවිය යුතුව ඇති අතර ඉදිරි වසරේ ණය වාරික වශයෙන් පමණක් ඩොලර් බිලියන පහක පමණ මුදලක් ගෙවීමට සිදුව තිබේ.

ඕනෑම පුද්ගලයකුට වේවා රටකට වේවා ණය නොවී සිටිය හැකි නම් ඉතාමත් අගනේය. එහෙත් අතීතයේ සිට මේ රට පාලනය කළ අයට පින් සිද්ධ වන්නට දැන් ඇත්තේ අපට ණය නොවී හුස්ම ගන්නට හෝ නොහැකි තත්ත්වයකි. මේ නිසා ඉදිරියේදී පත්වන කුමන ආණ්ඩුවකට හෝ ණය ලබා නොගෙන සිටීමේ හැකියාවක් නැත.

කෙසේ වෙතත් ලබා ගන්නා ණය ගෙවා ගන්නට නොහැකිව හිරවන්නේ ණය ලබා ගැනීමේ වරදට වඩා ලබා ගන්නා ණය නිසි කළමනාකරණයකින් තොරව භාවිත කිරීම නිසාය. මේ දක්වා අප රටක් ලෙස ලබාගෙන ඇති අති විශාල ණය කොයිතරම් දුරට අපේක්ෂිත අරමුණු සඳහා භාවිත කර තිබේද? ඒ ණයවලින් කොයිතරම් ප්‍රමාණයක් යටි මඩි ගසා ඇත්ද, කොයි තරම් ප්‍රමාණයක් නාස්ති කර තිබේද? එසේම ණය වී මඟුල් කන්නා සේ බොරු සෝබන සඳහා අප කොයිතරම් ණය ලබාගෙන තිබෙනවාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගත් විට රටක් ලෙස අප මුහුණ දී සිටින ණය අර්බුදය තේරුම්ගත හැකිවනු ඇත.

මේ නිසා අප දැන්වත් ණය ගැනීමට පෙර ණය ගන්නේ කුමක් සඳහාද? ඒ ණය අත්‍යවශ්‍යමද? යන්න කල්පනා කළ යුතුය. එසේම ණය ලබා ගැනීමෙන් පසු ඒ මුදල් යටිමඩි නොගසා නාස්ති නොකර අපේක්ෂිත අරමුණ සඳහාම භාවිත කිරීමට වගබලාගත යුතුය. වැදගත්ම කාරණය වන්නේ ණය ගැනීමට පෙර ඒ ණය ගෙවන්නේ කෙසේද යන්න ගැන කල්පනා කිරීමය. බලයේ සිටියදී ණය ගන්නා ආණ්ඩුව විපක්ෂයට ගිය විට කරන්නේ අලුත් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීමය. දේශපාලන පක්ෂවල මේ ‘කැත’ පුරුද්ද දැන්වත් අත්හල යුතුය. තමන් බලයේ සිටියදී ගන්නා ණය බලයට එන කණ්ඩායමේ වගකීම බවට පත් කිරීමේ අරමුණෙන් ණය ගන්නට කිසිවකු කල්පනා නොකළ යුතුය. කවුරු ගත්තත් කවුරු ගෙව්වත් අවසානයේ සියලු බර දරන්නට සිදුවන්නේ ජනතාවටය.

ණය ගැනීමේදී කල්පනා කළ යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. ණය ගන්නේ කුමන කොන්දේසි මතද යන්නය. නූතන යටත්විජිතවාදය ක්‍රියාත්මක වන්නේ ණය හා ආධාරවල නාමයෙන් බැවිනි. ණය ගැතිකම වැඩි වී අසරණ වන්නට වන්නට ණය හිමියාගේ ඕනෑම ‘බලු’ කොන්දේසියකට යටත් වනවා හැරෙන්නට කළ හැකි යමක් නැත. මේ නිසා බොහෝ ආණ්ඩු කරන්නේ හොර රහසේ ණය ගිවිසුම්වලට එළැඹීමය. ඒ වෙනුවෙන් ඇඳිවත පවා දෙන්නට සිදුවන බව ජනතාව දැනගන්නේ පසුවය. මේ නිසා ඉදිරියේදී කුමන ණය ගිවිසුමක් හෝ අත්සන් කිරීමට පෙර එහි කොන්දේසි, නියමයන් හා ආදීනව ගැන ජනතාව දැනුවත් කිරීම වැදගත් වනු ඇත. පාර්ලිමේන්තුව යනු එවැනි කරුණු සාකච්ඡා කිරීමට හොඳම ස්ථානයකි. එසේ කළහොත් පාර්ලිමේන්තුවට ඊට හිමි නිසි ගෞරවයද හිමිවනු ඇත.

අරුණ කතුවැකිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here