මොරගහකන්ද – ඇලහැර සුවිසල් වන විනාශයක්..ගිනි තැබීමෙන් අක්කර සිය ගණනක් විනාශයි

0

මොරගහකන්ද සහ ඇලහැර ප‍්‍රදේශයේ සුවිසල් වනගහනය ගිනි තබා විනාශ කිරීමේ සංවිධානාත්මක රැල්ලක් සිදුවන බව සොබාසර මගින් සිදුකරන ලද සොයා බැලීමකදී අනාවරණය වේ.

පසුගිය දිනවල අප විසින් ප‍්‍රදේශයේ සිදුකරන ලද සංචාරයකදී අනාවරණය කරගන්නට ලැබුණේ ඉතා හොඳින් නිල්ල වැටී තිබුණු මොරගහකන්ද ජල පෝෂක වනාන්තර ඊට දින කිහිපයකට පසු මෙසේ ගිනි තබා විනාශකර දමා ඇති බවයි.

මේ අනුව නාඋල – ඇලහැර වනාන්තරය මැදින් වැටී ඇති නව මාර්ගය දෙපස පිහිටි ගිරිතල – මින්නේරිය ස්වාභාවික රක්ෂිතයට අයත් වනාන්තර පද්ධතියේ අක්කර සිය ගණනක් මෙසේ විනාශකර දමා ඇත.

එසේම, මොරගහකන්ද – ඇලහැර අතර එම රක්ෂිතයටම අයත් තවත් වනාන්තර පද්ධතියක් ගිනි තබා විනාශ කර, එහි අක්කර 20 කට වැඩි භූමි ප‍්‍රදේශයක් දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි කියන එක්තරා පුද්ගලයකු විසින් අල්ලාගෙන වගා කටයුතු සිදුකරන බවට ගම්වැසියෝ චෝදනා කරති.

මෙම වනාන්තර ඉඩම් අල්ලාගැනීම සිදුකර ඇත්තේ ගිරිතලේ – මින්නේරිය ස්වභාව රක්ෂිතය ද ඇතුළු ප‍්‍රදේශයේ වනජීවී අපරාධ පාලනය කිරීම සඳහා පිහිටුවා තිබෙන ඇලහැර වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ සිට සැතපුමක් ඇතුළත වීමද විශේෂත්වයකි. මොරගහකන්ද විනාශයද එසේමය.

මේ අනුව ස්වභාව රක්ෂිතයේ වන ගහනය අක්කර 100 කට වඩා විනාශයට ලක්වී තිබුණද බලධාරීන් මේ සම්බන්ධයෙන් මෙතෙක් ගනු ලැබූ කිසිදු පියවරක් පිළිබඳව දැනගන්නට නැත. සිද්ධිය පිළිබඳව සොබාසර මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සහ වනජීවී ඇමැති සී. බී. රත්නායක මහතාගේ මාධ්‍ය ලේකම් සම්පත් ගුණරත්න යන මහත්වරුන්ට වට්ස්ඇප් පණිවිඩ මගින් සාක්ෂි සහිතව දැනුවත් කළද මේ දක්වා ඒ පිළිබඳව ගත් පියවරක් ගැන වාර්තා නොවේ. යහමින් වන අලින් හා තවත් වන සතුන් රැුසක් ගැවසෙන මෙම වනාන්තර පද්ධතිය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන අතර, මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩබිම් පිහිටි මෙහි පළමු කොටසේ (නාඋල –

මොරගහකන්ද අතර ප‍්‍රදේශය* වන විනාශයට මොරගහකන්ද ව්‍යාපෘතියටද විශාල වගකීමක් ඇති බව පරිසරවේදීන්ගේ මතයයි.

එබැවින් මොරගහකන්ද රක්ෂිත ප‍්‍රදේශයේ හා ඇලහැර ප‍්‍රදේශයේ වනාන්තර පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා ප‍්‍රදේශයේ පාරිසරික සංවිධාන හා සම්බන්ධ කරගනිමින් තිරසාර වැඩපිළිවෙළක් වහාම ක‍්‍රියාවට නගන ලෙස පරිසරවේදීහු වන ජීවී දෙපාර්තමේන්තුවෙන්, මහවැලි අධිකාරියෙන් හා රජයේ අනෙකුත් ආයතනවලින් ඉල්ලා සිටිති.

ජගත් කණහැරආරච්චි මොරගහකන්දේ සංචාරයකින් පසු(දිවයින)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here