රට පටවන්නට සැරසෙන ලංකාවේ පරණ වාහන..මේව අපේ අතීත මතකයන්

0

ශ්‍රී ලංකාව සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වූ පසු මෙරට ප්‍රවාහන ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ වූ බව නොරහසකි. ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා මෙරටට රැගෙන ආ රථවාහන, ඉදිකිරීම් කටයුතුවලට දායක වූ දොඹකර රථ හා දුම්රිය මෙම නව පරිච්ඡේදයේ ඇරඹුම සනිටුහන් කළ මූලිකාංග සේ හඳුනාගත හැකි ය. කාලයාගේ ඇවෑමෙන් එතෙක් ගැල්, කරත්ත, පාරු ආදියෙන් සංතෘප්ත වූ පොදු ජන ප්‍රවාහන අවශ්‍යතා රථවාහන හා දුම්රිය මගින් ඉටු කර ගැනීමට ජනයා හුරු පුරුදු විය.

ෆොක්ස් වැගන් කාමන්ගිනා

භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් ඇරඹුණු දුම්රිය සේවාව ඔස්සේ ඊට ම ආවේණික වූ සංස්කෘතියක් මෙරට තුළ බිහි විය. එනමුත් මෙරටට ආනයනය කරන ලද රථවාහන ඔස්සේ එබඳු සංස්කෘතියක්, සාහිත්‍යයක් බිහි වීද? එම පැනයට පිළිතුරු සෙවීමේදී මෙරට තුළ එදා භාවිත වූ වාහන මුල් කොට ගනිමින් එවැනි සංස්කෘතියක් හා සාහිත්‍යයක් බිහිවී ඇති වග හඳුනා ගත හැකි ය. එය මෙරට දුම්රිය සංස්කෘතිය තරම් ජනප්‍රිය නොවූ වග සැබවි. නමුත් ඒ ඔස්සේ ඉතා ඉහළ කෞතුකමය වටිනාකම් රැසක් සහ ”‍රිය සාහිත්‍යයක්”‍ මෙරට තුළ බිහිව ඇත.

 

ෆොක්ස් වැගන් බිට්ල්

අතීතයේ මෙරට ප්‍රවාහන අවශ්‍යතාව වෙනුවෙන් භාවිත වූ ගැල්, කරත්ත, පාරු පිළිබඳව සලකා බලන විට ඒ වටා සාහිත්‍යයක් ගොඩ නැගී ඇති බව කරත්ත කවි, පාරු කවි ආදිය පිළිබඳව විමසීමෙන් පැහැදිලි වේ. එමෙන් ම දුම්රිය වටා ද ජනශ්‍රැතීන් ආදී සාහිත්‍යමය සන්දර්භයන් රැසක් ඒකරාශී වී ඇත. මෙකී ක්ෂේත්‍රයන්ට ඇති පෙර සඳහන් කළ වටිනාකම තරමේ ම අගයක් මෙරට ඉපැරණි රථවාහන මුල් කොට ගෙන ද හඳුනා ගත හැකි ය.

මෙකී වටිනාකම් පිළිබඳව මෙහිලා සාකච්ඡාවට බඳුන් වන්නේ මෙරට වන ඉපැරණි රථවාහන විදේශයන්ට විකුණා දැමීමට අර අඳින මොහොතක දී ය.එදා CEYLON යන අක්ෂර මුල් කොට ගනිමින් අංකනය කරන ලද රථවාහන මෙහි ලා වැඩි වශයෙන් කරළියට පැමිණ තිබේ. ඒවා අපනයනය කිරීමෙන් ඉහළ මිලක ලබා ගත හැකි යැයි ඊට මුල් වූවන් විශ්වාස කරනවා විය හැකි ය.

මෙරට අදටත් ශේෂව ඇති ඉපැරණි රථ වාහන විදේශයන්ට විකුණා දැමීම යනු රන් බිජු ලෑ පාත්තයා මරා දැමීම වන් කටයුත්තකි. මෙම වාහන විදේශයන්ට විකුණා දැමීමට මෙපිටින් ඒවා භාවිත කර මුදල් ඉපයිය හැකි ක්‍රමෝපායන් රැසක් වෙයි. අතීත රථ වාහනවල වූ තාක්ෂණය හා සුවිශේෂීතාවයන් පිළිබඳව හැදෑරීම සඳහා ද මෙම රථවාහන සැබෑ නිදර්ශක සේ සුරක්ෂිත කර පවත්වා ගැනීම වැදගත් ය. එමෙන් ම මෙකී රථයන්හි බොහෝ විට ඇත්තේ ජ්‍යාමිතික නොවන සිත් ඇදගන්නා පෙනුමකි. එබැවින් ඒවායේ තාක්ෂණික කරුණු සහ හැඩය පිළිබඳව කෙරෙන හැදෑරීම් සඳහා මෙකී රථ වාහන ඔස්සේ ලැබෙන අනුග්‍රහය රුපියල් ශතවලට ලඝු කිරීම අනුවණකමකි.

බ්‍රිතාන්‍යයෝ මෙරටට රැගෙන ආ වාහන එදා ඔවුන්ගේ කටයුතු සඳහා භාවිත වුවත් පසු කලෙක ඒවා මුල් කර ගනිමින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් බිහි වනු දක්නට ලැබෙයි. මුල් යුගයේදී මෙරට වහල් සේවකයන් ප්‍රවාහනය කිරීම පිණිස රැගෙන ආ ‘ෆෝර්ඞ්‘ වර්ගට අයත් ලොරි රථ පසු කලෙක ලාංකීය ජනයාගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනිණ. ඒවා හැඳින්වූයේ ‘කාපිරි ෆෝර්ඞ්‘ යනුවෙනි. කාපිරි ෆෝර්ඞ් ලොරි රථ පසු කලෙක හම්බන්තොට, තිස්සමහාරාම ආදී දුෂ්කර ප්‍රදේශවල ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යෙදවිණ.නමුත් ඒ ලොරි රථයක ස්වරූපයෙන් ම නොව බඳ කොටසේ කරන ලද වෙනස්කම් ද සමගිනි. එබඳු ලොරි රථ ලාංකිකයින් හැඳින්වූයේ ‘පතෝල මැස්ස‘ යනුවෙනි.

අතීතයේදී මෙරටට රථ වාහන ආනයනය කළ ප්‍රමුඛ රටවල් වූයේ එංගලන්තය, ජර්මනිය හා ප්‍රංශය වන් රටවල් ය. ෆොර්ඩ්, වොක්ස්වැගන්, පර්ජෝ වැනි වාහන මාදිලි ඊට නිදසුන් වෙයි. නමුත් එම මව් රටවල නොවූ තරමේ රසයකින් යුතුව මෙම රථවාහන වැලඳගැනීමට ලාංකේය ජනයා හුරු පුරුදු විය. ‘ලෙඩ චවලට්‘, ‘තල්ලු‍ ෆෝර්ඩ්‘, ‘කහින මොරිස්‘, ‘මරු ඔස්ටින්‘ වැනි යෙදුම් ඊට දෙස් දෙයි. තමන්ට හුරු පුරුදු ගුණයක් හෝ හැඩයක් රථවාහන ඇසුරෙන් සොයා එයට අන්වර්ථ නාම යෙදීමට ලාංකිකයා තරම් සමතෙක් තවත් වේ දැයි යන්න සැක සහිත ය.

‘ඉබ්බා කාර්’, ‘වැට බෆර්’, ‘කනේ මයිල්’, ‘අත සිග්නල්’, ‘වඳුරු මූණ’, ‘හිල්මන් කුරුම්බැට්ටිය’, ‘මයිනර් බස්සා’, ‘දඬු ෆෝර්ඩ්’, ‘කේම්බ්රජ් තටු මොඩල්’, ‘මඩකලපු ඔක්ස්ෆර්ඩ්’, ‘කිචි කිචි ඩෙලිකා’, ‘ඇම්බියුලන්ස් මොඩ්ල්’, රූපවාහිනී මොඩල්‘ ආදී ලෙස රථවාහන මූලික කරගනිමින් විවිධ නාම නිර්මාණය වීමෙන් ඒ වග තහවුරු වේ.

එදා ලාංකේය ජනයාගේ රසඥතාවයේ ස්වරූපය මේ ඔස්සේ ඉදිරිපත් වෙයි. මෙම නාමකරණයන් හා ඉපැරණි රථවාහන වටා ගොඩ නැගී ඇති කතා පුවත් ඔස්සේ මෙරට ‘‘රිය සාහිත්‍යය”‍ ගොඩ නැගෙයි. පෝෂණය වෙයි. ඒ නිසාම මෙරට ශේෂව පවතින ඉපැරණි රථවාහන රිය සාහිත්‍යයේ ජීවනාලිය බවට පත් වෙයි.

මෙරට තුළ දැනට ඉතිරිව ඇති ඉපැරණි වාහන වැදගත් වන්නේ ඒ ඔස්සේ ගොඩ නැගෙන රිය සාහිත්‍ය පමණක් නිසා ම නොවේ. ඒවායෙහි අන්තර්ගත වන තාක්ෂණය ද මෙහි ලා වඩා වැදගත් වේ. ඇතැම් විට නූතනයේ භාවිත වන තාක්ෂණික ක්‍රමෝපායන් අභිබවා ගිය තාක්ෂණික ක්‍රමවේද මෙවන් රථ වාහන ඇසුරින් හඳුනාගත හැකි ය. එබඳු තාක්ෂණික ක්‍රමෝපායන් පිළිබඳව නූතන පරපුරට හැදෑරීමට ශේෂව ඇති එකම ඉගෙනුම් මෙවලම් වන්නේ මෙරට තුළ ශේෂව ඇති ඉපැරණි රථවාහනයි.

ෆොක්ස් වැගන් කොම්බි

සරලම උදාහරණයක් පිළිබඳව සලකා බැලු‍වහොත් ‘වායු සිසිලන පද්ධතියක්”‍(Water Cool System) සහිත මෝටර් රථයක් පිළිබඳව හැදෑරීම උදෙසා වොක්ස්වැගන් වාහන ඛාණ්ඩයේ බීට්ල්, කාර්මන්ගිහා සහ වේරියන්ට් යන මෝටර් රථමාදිලි දැක්විය හැකි ය. එමෙන් ම ස්වයං ගියර පද්ධති (auto gear system) පිළිබඳව නූතනයේ වැඩි වශයෙන් සාකච්ඡා වුව ද එකල වූ ලේලන්ඩ් PD2 මොඩලය තට්ටු දෙකේ බස් රථවල මෙකී තාක්ෂණය උපයුක්තව තිබේ.

තාක්ෂණවේදය මෙරට පාසල් අධ්‍යාපනයට එක් වූ නව විෂය ධාරාවකි. එම විෂය ධාරාව හැදෑරීම සඳහා මහින්ද්‍යෝදය තාක්ෂණික විද්‍යාගාර වැනි පහසුකම් ද ඇතැම් පාසල්වලට ලබා දී තිබේ. එවන් පහසුකම් යටතේ මෙබඳු රථවාහනවල උපයුක්ත තාක්ෂණික භාවිතයන් පිළිබඳව හැදෑරිය හැකි ය. එමෙන් ම ජර්මන් තාක්ෂණ ආයතනය, කාර්මික විද්‍යාල වැනි ව්‍යුහයන් දැයේ දූ දරුවන්ගේ තාක්ෂණික ඥානය වර්ධනය කිරීම පිණිස වර්තමානයේ පවා සිය දායකත්වය සපයයි.

මේ සියලු‍ තාක්ෂණික අධ්‍යාපන ආයතනවල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට දායක වන දැයේ දූ දරුවන්ගේ තාක්ෂණික ඥානය ගුණාත්මකව වර්ධනය කිරීම පිණිස මෙම ඉපැරණි වාහන ප්‍රායෝගිකව උපයුක්ත කොට ගත හැකි ය.

ඉපැරණි රථවාහන සැලකිය යුතු ප්‍රමාණයක් අදටත් මෙරට තුළ ශේෂව පවතී. ඒ ඔස්සේ ගොඩනැගෙන රැකී රක්ෂා ප්‍රමාණය ද සැලකිය යුතු අගයක පවතී. කාර්මිකයින්, පින්තාරුකරුවන්, ටින්කර්වරුන්, පට්ටල්කරුවන්, අමතර කොටස් විකුණන්නන් ආදී වශයෙනි. විශේෂයෙන් ඉපැරණි වාහන පිළිසකර කිරීමේදී නූතන වාහනවල කොටස් මෙන් ගලවා ඉවත් කොට ඒ වෙනුවට නව කොටසක් මිලදී ගෙන සවි කිරීම අනුදත් ක්‍රමවේදය නොවේ. ඒ සඳහා පළපුරුදු කාර්මිකයින් කිහිපදෙනෙකුගේ සහය අවැසි විය හැකි ය. ඒ ඔස්සේ මෙම ක්ෂේත්‍රය තුළින් රැකියා අවස්ථා ගොඩ නැගෙන වග නොකිව මනාය.

ඉපැරණි රථවාහන සඳහා අවැසි අමතර කොටස් යම් තරමකට හෝ මෙරට තුළ නිපදවිය හැකිනම් එය මෙරට මුදල් විදේශයන්ට ගලා යාම අවම කිරීමට හේතු වනවා මෙන් ම ඉපැරණි රථ පහසුවෙන් ධාවනයට එක් කිරීමට ද අනුබලයක් සපයනු ඇත. එමන් ම එබඳු අමතර කොටස් නිපදවීමට අවැසි තාක්ෂණික දැනුමැති පිරිස් මෙරට තුළ සිටිති. අවැසි වන්නේ ඔවුන් නිසි නියාමනයකින් යුතුව හැසිරවීමත් ඔවුන්ට මග පෙන්වීමක් ලබා දීමත් පමණි. එබඳු සාධනීය ප්‍රවේශයක් ගත හොත් කෞතුක ම ය අගයකින් යුතු වාහන සඳහා ලෝකයේ පවතින ඉහළ ඉල්ලු‍ම හමුවේ මෙරට තුළ නිපදවන ලද ඉපැරණි වාහන කොටස් අපනයනය කිරීමේ ඉඩ හසර ද පවතී.

මෙරටට විදේශ විනිමය උපයාගන්නා ප්‍රධානතම මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය හඳුන්වා දිය හැකි ය. එදා මෙදා තුර පැවති සෑම ආණ්ඩුවක් ම සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා විවිධ පිඹුරු පත් සැකසූ හ. වර්තමානයේහි පවා මෙහි වෙනසක් දක්නට නොලැබෙයි. එවැනි සැලසුමක් හමුවේ මෙරට තුළ වන ඉපැරණි රථවාහන මගින් ඊට ලදහැකි ආලෝකය අපමණ ය.

මනා ක්‍රියාකාරිත්වයෙන් යුතු ඉපැරණි වාහන සංචාරක ව්‍යාපාරය සඳහා හඳුන්වා දිය හැකි ය. වර්තමානයේ දී පෞද්ගලික අංශයේ මැදිහත් වීම මත සුළු වශයෙන් ක්‍රියාවට නැගෙන මේ කටයුත්තට සංචාරක ව්‍යාපාරය හා බැඳි රාජ‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනයන්ට යම් මැදිහත් වීමක් සිදු කළ හැකි ය.

තම මව් රටේ හෝ දක්නට නොලැබෙන එහි නිපැයූ රථයක නැගී යම් දුරක් සංචාරය කිරීමට විදෙස් සංචාරකයින් අකමැති නොවනු ඇත. හික්කඩුව, උණවටුන සහ ගාලු‍ කොටුව ආදී ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මේ සඳහා ප්‍රවේශයක් ලද හොත් ඉන් ලද හැකි පූර්වාදර්ශ බොහෝ ය.

එමෙන් ම මංගල උත්සව සඳහා ඉපැරණි මෝටර් රථ යොදා ගැනීම නවීන ප්‍රවණතාවක් වී හමාර ය. ඒ නිසා ද ව්‍යාපාරමය හා ආදායම් උපයුක්ත කොට ගත හැකි ක්‍රමවේදයක් සකසාගැනීමට ඉඩ හසර පවතී.

මෙරට ඉපැරණි රථවාහන සුරැකීමට නම් ඒ සඳහා ගත යුතු පියවර බොහෝ වෙයි. එදා මෙරට භාවිත වූ ඇතැම් රථවාහනවල නිදර්ශකයක් හෝ අද දක්නට නොවීම අභාග්‍යයකි. නිදසුනක් ලෙස අතීතයේ මෙරට ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් භාවිත වූ ‘ට්‍රොලි බස්’ දැක්විය හැකි ය. එමෙන් ම මෙරට ශේෂව ඇති ඇතැම් ඉපැරණි රථවාහනවල උපයුක්ත තාක්ෂණික ක්‍රමෝපායන් විස්මය දනවන සුලුය.

නිදසුනක් ලෙස යුධ කටයුතු සඳහා භාවිත වූ ‘‘ලේලන්ඞ් මැටඩෝර්”‍ ලෙස හඳුන්වන ආපදා රථ දැක්විය හැකි ය. එ්වායෙහි උපයුක්ත තාක්ෂණික ක්‍රමවේද, නිෂ්පාදනය සඳහා යොදා ඇති ලෝහ විශේෂ සහ ඒවා යොදාගනීමට හේතු වූ සුවිශේෂී කාරණා ආදිය පිළිබඳව අවම වශයෙන් හෝ හැදෑරීමට නම මෙබඳු රථ සංරක්ෂණය කළ යුතු ය. ඒ සඳහා ‘ජාතික ප්‍රවාහන කෞතුකාගාරයක්‘ ස්ථාපිත කළ හැකි ය.
එවිට ඊට අවැසි කෞතුක ම ය වටිනාකම් ඇති රථවාහන මෙරටින් සොයාගැනීම තවමත් උගහට නොවේ. එවන් ක්‍රමවේදයක් යටතේ මෙකී රථ සංරක්ෂණය කළහොත් එය රථවාහන තාක්ෂණය පිළිබඳව යම් දිනෙක හදාරන මතු පරපුරේ දුවා දරුවනට නූතනයා විසින් දෙනු ලබන අමිල ත්‍යාගයක් ලෙස සැලකිය හැකිය.

වර්තමාන සමාජ රාමුව තුළ මෝටර් රථය හුදු රථයක් ම නොවේ. එය සමාජ තත්ත්වය විදහා පාන්නකි. සමාජ තත්ත්වය මැන බලන මෙවලමකි. එවන් සන්දර්භයක් තුළ මෙරට ඉපැරණි මෝටර් රථ පෞද්ගලික පරිහරණය සඳහා උපයුක්ත කර ගනීම පිණිස ජනයා උනන්දු කළ හැකි ය. ඒ ඔස්සේ රථවාහන ආනයනය පිණිස විදේශයට ගලා යන මුදල් කන්දරාව මෙරට තුළ ඉතිරි කර ගනීමේ අවස්ථාව උදා වේ.

ඉපැරණි වාහන සඳහා අමතර කොටස් ලබා ගැනීමට ඇති අපහසුව, ඒවා මනාව සැකසිය හැකි පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය ආදී කරුණු මුල් කොට ගනිමින් මෙරට ඉපැරණි වාහන සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයා තුළ වන්නේ උදාසීන හැඟු‍මකි. නමුත් මෙම වාහන සකසා යළි මං මාවත් වෙත මුදා හැරිය හැකි නම් ඒ ඔස්සේ සාමාන්‍ය ජනයාගේ වාහන සිහිනය සැබෑකොට ගත හැකි ය.

එමෙන් ම ඔවුනට ආරක්ෂිතව ගමනක් බිමනක් යාමේ අවස්ථාව හිමි වේ. ‘වොක්ස්වැගන්, මයිනර්, පියට්’ වැනි මාර්ගයේ අඩු ඉඩක ධාවනය කළ හැකි නඩත්තුව පහසු මෝටර් රථ මාදිලි වෙත මේ කටයුත්තේදී ප්‍රමුඛත්වය හිමි විය යුතු ය. එමෙන් ම එය මැදි ආදායම් සහිත පවුල් ඒකකයකට දරා ගත හැකි නඩත්තු පිරිවැයක් ද වනු ඇත.

මෙලෙස ඉපැරණි රථ වාහන මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට සිය දායකත්වය සපයන්නේ නම් එමගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔස්සේ රජයට සැලකිය යුතු ආදායමක් ලැබීමේ ඉඩ හසර පවතී. නමුත් මෙහිලා යම් සහනදායී වැඩපිළිවෙළක අවශ්‍යතාවය පැන නැගී තිබේ.

නිදසුනක් ලෙස වසර විස්සකින් පමණ ධාවනය නොවූ හෝ ආදායම් බලපත්‍රය ලබා නොගෙන ඇති වාහනයක් පිළිබඳව සලකා බැලිය හැකිය. එවන් රථයක් යළි අලු‍ත්වැඩියා කොට ධාවනයට එක් කිරීමේදී එය ධාවනය නොවූ වසර විස්සට ම දඩ මුදල් ගෙවීමට සිදුවීම ප්‍රායෝගික නොවේ. එමෙන් ම ඒ ඔස්සේ සිදු වන්නේ පැරණි වාහනයක් යළි සකසා භාවිත කිරීමට සාමාන්‍ය ජනයා තුළ වන උනන්දුව හීනවීමයි.

කෞතුකමය අගයකින් යුතු වාහන රැකගැනීම පිණිස යම් සාධනීය වැඩසටහනක් ක්‍රියාවට නගන්නේ නම් ඒ තවත් ප්‍රමාදවීමකින් තොරව විය යුතු ය. ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුල් විම වඩා ප්‍රායෝගික ය. ඒ ඔස්සේ යම් ජාවරම්කරුවන්ට සහ කූඨ ව්‍යාපාරිකයින් හට යම් තරමකට හෝ වැට කඩුලු‍ බැඳීමේ අවස්ථාවක් උදා වනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන මූලිකම පියවර වන්නේ මෙකී ක්‍රියාවලිය වචනයේ පරිසමාප්ත අරුතින් ම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය හා බැඳි ඉපැරණි රථවාහන සුරක්ෂිත කර ගැනීම මුඛ්‍ය අරමුණ වූවක් වීම ය.

මෙවන් වැඩසටහනක් සැකසීමේදී හා එය ක්‍රියාවට නැගීමේදී වඩාම් පුළුල් ප්‍රවේශයකින් යුතුව එය ආරම්භ කළ යුතු ය. ඊට යම් යම් උපායමාර්ගික ප්‍රවේශයන් සහ අවශ්‍යතාව අනුව යළි යළිත් සකසා ගත හැකි විචල්‍යයන්ගෙන් යුතු වැඩසටහන් ව්‍යුහයක් සකසා ගැනීම ප්‍රායෝගික ය. එවන් ක්‍රමවේදයක් සැකසුවහොත් රථවාහන ක්ෂේත්‍රය හා බැඳි  ‘කළු සල්ලි‘වලට වැට බැඳීමටත් මෙරට ඇති වටිනා ඉපැරණි රථ වාහන සුරක්ෂිත කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.

බෙන්ස් බස් රථය

මේ කරුණු අනුව සලකා බලන විට මෙරට ශේෂව ඇති ඉපැරණි රථවාහන සුරැකිය යුතු සම්පතක් වග අවිවාදයෙන් යුතුව පිළිගත යුතු ය. එමෙන් ම ඒවා සංරක්ෂණයට ආකල්පමය, උපායමාර්ගික හා ව්‍යුහාත්මක සන්දර්භයන්ගෙන් යුතු ප්‍රායෝහික වැඩපිළිවෙළක් සැකසිය යුතුය.

එකී වැඩ පිළිවෙළ හමස් පෙට්ටියේ නොලෑ යුතු සේම ඊට සාමාන්‍ය ජනයා සක්‍රීයව දායකවන්නක් විය යුතු ය. මේ කිසිත් නොසලකා මෙරට ශේෂව ඇති ඉපැරණි රථවාහන විදේශයන්ට විකු ණා දැමීමිරන් බිජු ලෑ පාත්තයා මරා දැමීමක්’ බඳුය යනු මෙරට සැබෑ ඉපැරණි වාහන ලෝලීන්ගේ අදහසයි.

සටහන හා සේයා
දුමින්ද ජයවර්ධන ( ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here