අවුරුදු 104යි..ජීවත්වෙන්න කුරුඳු තළයි.

0

ඇය යකඩ ගැහැනිය යැයි නම් කළාට වරදක් නොපෙනේ. කොග්ගල ඔය අසල සිට ඇය පා ගමනින් එන්නේ පලා මිටියක් අත ඇතිවයි. කැරැන් කොළ ද ඒ පලා මිටියේ දැකිය හැකිය. කිරල ගෙඩි කිහිපයක්ද, උකුලේ ඉණේ දවටාගත් මල්ලක දවටාගෙන ඇය එන්නීය. අඩි හයකට අධික උස ඇති ඇය කුදුබවක් ද නැති හැඩි දැඩි දේහ විලාසයක් ඇතිව තවමත් කඩියෙක් මෙන් ඇවිද යන වැඩකරන හැටි අපූරුය.   

තිත්තගල්ල, පෑලස්සේ මිරිස්වත්ත ගම්මානයේ වෙසෙන අල්ගෙවත්තේ එන්සෝහාමි නම් වන ඇයගේ වයස අවුරුදු 104 කි. 1916.03.02 දින ඇය තිත්තගල්ල දංගල්ලෙගොඩ ගමෙහි උපත ලැබුවාය.

මම රස්සාව කරන්න තමයි තිත්තගල්ල මිරිස්වත්තේ, මගේ මනුස්සයගෙ ගෙදර මහ ගෙදර ඉඳලා පෑලැස්සේ ලොකු පුතාගේ ගෙදරට එන්නේ. කිලෝමීටර් දෙකක් හැමදාම උදේ සවස පයින්ම එනවා යනවා.

ඇය අප සමග දොඩමලු වූවාය. මම අකුරු සාස්තරේ නම් ඉගෙනගෙන නෑ. ඒ කාලයේ අපේ අම්මලා තාත්තලා මාව ඉස්කෝලෙ යැව්වේ නෑනේ. මොකද්ද රස්සාවක් කරනවාය කිව්වේ. මම ඇසුවෙමි.

ඇයි මගේ මිනිහගේ රස්සාව තමයි මම කරන්නේ..මොකද්ද මිනිහගේ රස්සාව? අපි ඇසුවෙමු..කුරුඳු තළන එක තමයි.

මේ ගමේ එදා අදත් වාගේ කුරුඳු තැළීම තමයි කරන්නේ. මම උදේ මගේ ලොකු පුතාගේ ගෙදරට පයින්ම ඇවිත් කුරුඳු තළනවා. පුතා පබාරිස්ගෙ ගෙදර තමයි මම කුරුඳු තළන්නේ. පබාරිස් පුතා කුරුඳු කපලා ගෙදර වාඩියට ගේනවා. පුතා එක්ක මම හරිහරියට වැඩ කරනවා. කුරුඳු පොතු ගාලා. පබාරිස් කුරුඳු පොතු ගහනවා. මම හන්දි කරනවා. කුරුඳු කෝටු සකස් කරනවා. මිම්මට කරන්න වෙනවා. ලීයක් උඩ තියලා කුරුඳු හන්දි කරනවා. කුරුඳු සකස් කරනවා.

දැන් කුරුඳු කිලෝවක් රුපියල් 2000 ක් වෙනවානේ. කහට කෝප්පයක් බීගෙන වැඩ කරනවා පුතා. මට එකදිගට බිම වාඩිවෙලා පැය ගණනාවක් නොවෙයි වරු ගණනාවක්ම කුරුඳු හන්දි කරන්න හැකියි. මගේ හන්දි රුදාව, කොන්දේ කැක්කුම අර මේ ලෙඩ කියාලා ලෙඩ අසනීප නම් නෑ. බුලත් විටත් සප්පායම් වෙනවා.
කොහොමද දරු මල්ලොකාරිය?

දැන් මගේ ලොකු පුතා පබාරිස්ට වයස හැත්තපහ (75) ක් වෙනවා. ලොකු දුව කුසුමාවතීට 74 ක් වෙනවා. දෙවැනි දුව අමරාවතීට මගේ හිතේ 68 යි.

ආහාර පානවලින් පරිස්සම් වෙනවාද?

මම මස් මාළු කන්නේ නෑ. බිත්තර කන්නේවත් නෑ. කේක් වලට දමලාවත් කන්නේ නෑ. කොළ මාළුවක්, කොස් පොළොස්, අල, කැකුළු හාල් බත් තමයි කන්නේ. පන්සල් යනවා. මම බණ ඉවරවෙන කම් බිම වාඩිවෙලා බණ අහනවා. ගමේ පන්සලේ අපේ ලොකු හාමුදුරුවෝ කියනවා බනට මේ බලන්න වයස 104 යි එන්සෝහාමි අල්ගෙවත්ත උපාසිකාවට ඇඹරෙන්නේ නැතිව අතපය දිගහරින්නේ නැතුව බිම වාඩිවෙලා බණ අහනවා. අනෙක් සමහර උපාසක උපාසිකාවෝ සමහරු එහෙම පැයක් එක හමාරක් එක විදියට බිම වාඩිවෙලා ඉන්න බෑ කියාලා.

වැඩක් කරන්නම තමයි හිතෙන්නේ. නිකන් ඉන්න බෑ කම්මැළියි. එදත් මම උදෙන්ම අවදිවෙලා තමයි ගේදොර කටයුතු කළේ. අදත් මම උදේ තුන හතර වෙන කොට අවදිවෙනවා. කුරුඳු රස්සාව කරනවා. මක්කැටෙයි කාටවත් වදයක් වෙන්නේ.

ඔබ වගේම පවුලේ අයත් දිගුකලක් ජීවත් වෙනවාද?

අපේ පවුලේ 8 දෙනාගෙන් මමයි, තව නංගියෙකුයි, මල්ලිලා දෙන්නයි තවමත් මේ ගමේ ජීවත් වෙනවා. මගේ නංගිත් දැන් වයස එකසිය එකයි. මල්ලිලා දෙන්නටත් සීයට කිට්ටුයි වයස.

අද වගේ නොවෙයි එදා කොහොමද ජීවිතේ ලබපු අත්දැකීම්?

මම කෙල්ල කාලයේ ගැටිස්සි කාලයේ ඉඳන් කුරුඳු හේන් උදලු ගෑම සිදුකරා. පසුව ගෙදර මිනිහ එක්ක කසාදබැන්දට පස්සේ කුලී වැඩවලට ගියේ නෑ. එදා ඉඳන් මම මගේ මිනිහා එක්ක කුරුඳු තැළීමේ රස්සාව තමයි කෙරුවේ. දරුවෝ 10 ක් වැදුවා. ඒ කාලයේ ඉස්පිරිතාලේ ගියේ නෑ. වින්නඹු අම්මා ගෙදරට එනවා. මම දීග යන විට මගේ හිතේ යන්තම් වයස 16ක් වුණා විතරයි.

ඒ කාලයේ මේ වාගේ මේ ගමේ තිත්තගල්ලේ පාරවල් දියුණු වෙලා තිබුණේ නෑ. ගාලු‍ පාරේ තමයි බස් ගියේ. කෝච්චි ද අහංගම කතළුව හරහා යනවා මට මතකයි. මම ගෙදරට අවශ්‍ය තුනපහේ ගෙන එන්න ගියේ පෙට්ටිය අරගෙන. බඩු ටික අරගෙන මම පයින්ම තමයි අහංගම කඩ පොළේ ඉඳලා එන්නේ.

එදා මේ පාරවල්වල ඉඳහිට කරත්තයක් දෙකක් එන අවස්ථාද තියනවා. අපි පයින්ම එනවා. අපිට බඩු කර තියාගෙන පයින් හැතැම්ම හතක් අටක් ගාටන එක මහලොකු කජ්ජක් නෙවෙයි. බයිසිකල් තිබුණේ එකක් දෙකක්. පයින්ම තමයි අපි කඩපොළට සතියකට සැරයක් ගියේ ආවේ. අහල පහළ ගෑනු එක්ක අරවා මේවා දොඩ දොඩ (කතා බහ) එන කොට මහන්සියක් නෑ.

වී හාල් ටික අපිම වංගෙඩියේ කොටා ගත්තා. දුරු තුනපහ, කරවල, මාළු වගේ දේ විතරයි අහංගම කඩපොළෙන් ගත්තේ. මගේ මිනිහා කුරුඳු වාඩියේ ඉන්න නිසා මමත් කුරුඳු වාඩියේ වැඩට යනවා. දරුවෝ බලාගන්න ගමන් මම කුරුඳු වාඩියේ වැඩකරනවා. මිනිහාගේ රස්සාව ඔන්න ඔහොම තමයි පුරුදු වුණේ. දරුවන්ට කන්න බොන්න උයන්න පිහින්න වැඩිවෙලාවක් ගත වුණා. දුසිමකට ආසන්න ඈයොන්ට (අපේ පිරිස) උයන්න එපා… යැ… අනෙක අහළ පහළ දරුවන්ද එනවා බත් ඩිංගිත්තක් කන්න. උන්ටත් බොක්ක පිරෙන්ම මම කන්න දෙනවා. වාඩි හොද්ද බත් එක්ක කෑවම බත් මරන්නම කන්න හැකියි.

අපි දරුවන්ට කන්න දුන්නා. ඒ කාලයේ පත්තර බලන්න රේඩියෝ අහන්න වෙලාවක් තිබුණේ නෑ. ගෙදර සුමේ (රාජකාරි) කරලා ඉවර වුණාම දවසම කම්මුතු (අවසන් වීම) වෙනවා.

කොස්, දෙල්, අල, බතල නම් ගෙදර බතට වරදින්නේම නෑ. එදත් හොඳට කෑවා. මට දැන් 104 යි. අදත් හොඳහැටි කනවා. දූ දරුවන් දීගතල දුන්නා. උන්ගේ දූ දරුවන්ගේ දරුවන්ද මට බලන්න හැකි වුණා. මගේ සහෝදරයන් සහෝදරියන්ද මේ ගමේම තමයි ජීවත් වෙලා ඉන්නේ. ඒ අයගේ දරුවන් මගේ දරුවන්ද සියලු‍ම දෙනා මාව බලන්න එනවා. කොරෝනාවලට පස්සේ තමයි පන්සල් යන ගමන නතර කළේ.

මම ගෙදරට වෙලා පෝයට සිල් ගන්නවා. ලෙඩක් දුකක් වුණාම ගන්නවයි කියලා බෙහෙත් ගන්නේ නෑ. ඉඳහිටලා ඇඟපත වේදනාවට බෙහෙත් ගන්නවා. මම වැඩකරනවා. ඇවිදිනවා. තිත්තගල්ලේ පෑලැස්සේ මිරිස්වත්තේ ආච්චි කීවාම මේ ගම් පළාතේ නොදන්න කෙනෙක් නෑ.

මේ පළාත්වලත් සුද්දෝ හිටියා. දුව ඇවිද ගම්වල යනවා. මම දැක්කා උන් හරියට යක්කු වගේ. අපි හැංගිලා බලාහිටියා මතකයි.අද වගේම මට මතකයි.ප්‍රථම නිදහස දිනයත් මට මතකයි. දෙවැනි ලෝක ලංකාව පැටළුණේ එවකට මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත රටක් ලෙස පැවැතීම නිසා නේ. ජර්මනිය, ජපානය හා ඉතාලියට එරෙහිව මිත්‍ර පාක්ෂික හමුදා විට ලංකාවද පැටළුණා කියලා මගේ මිනිහා කුරුඳු වාඩියේ කුරුඳු තළන කල්ලියේ ඈයෝ එක්ක කතා කරනවා මට මතකයි.

මම දරුවන් එක්ක කුරුඳු වාඩියේ ඉන්නවා. සුද්දෝ එන කොට අපි හැංගෙනවා. බවලත් ඇත්තෝ ඇහැට කනට පේන්න ඉන්න ගෑනු සුද්දන්ට පේන්න බෑ. පස්සෙන් එනවා. ඒ නිසා ගමේ ගෑනු හැංගිලා වගේ තමයි ඉන්නේ.
ගතකළ කාලය ගැන සතුටුද?

මම ආගම දහම අනුව ජීවත් වෙනවා. නිදහසේ වැඩිය කරදර ඔළුවට ගන්නේ නෑ. දූ දරුවන් මාගේ මුනුපුරු මිනිබිරියන් මට සලකනවා, බලනවා. මට සතුටුයි. මම කියන්නේ මට මගේ හතර වරිගයේම ඈයෝ සලකනවා. කාටත් උදව්වක් කරගෙන කාටවත් කරදරයක් නොකර මම ජීවත් වෙනවා. ඇය කීවාය.
ඇගේ දිවියට සුවබර දීර්ඝායු සහිත අනාගතයක් පතා අපි සමුගතිමු.

සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත( Lankadeepa )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here