රඹකැන්ඔය සංවර්ධනයට මුවා වී දැවැන්ත වන සංහාරයකට සැලසුම්..දැනටමත් අක්කර 250ක් එළි කරලා

0

මහඔය පොල්ලෙබැද්ද, රඹකැන්ඔය යෝජිත “කෘෂිකාර්මික හා පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය” සඳහා දැවැන්ත වන විනාශයක් සිදු කිරීමට සැලසුම් කිරීම සම්බන්ධව විරෝධය දක්වා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මහවැලි අධිකාරිය ඇතුළු ආයතන කීපයකට එන්තරවාසියක් යවා ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය,පරිසර අමාත්‍යාංශය යන ආයතනවලටද එම එන්තරවාසිය යවා තිබේ.

ජාතික පාරිසරික පනතට පටහැනි අයුරින් අදාළ කැලෑ ප්‍රදේශය එළිපෙහෙළිකර බඩ ඉරිඟු වගා කිරීම සඳහා විවිධ පුද්ගලයන්ට මධ්‍යම පරිසර අධිකාරිය අවසරය ලබාදී ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ අක්කර 5828 (හෙක්ටයාර 2359) ක බඩ ඉරිඟු වගා කිරීමට නියමිතය. දැනට අක්කර 250 ක පමණ භූමියක් එළිපෙහෙළි කර තිබේ. මේ අනුව මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්වලයාය රජයේ වනාන්තරයෙන් කොටසක්ද මෙලෙස එළිපෙහෙළි කිරීමේ සූදානමක්ද පවතී.

මෙම ඉඩම්වලින් අක්කර 500 බැගින් වෙන්කර බඩ ඉරිඟු වගා කිරීම සඳහා ව්‍යාපාරිකයන්ට ලබාදීමේ සූදානමක් පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවසුවේය. මෙම කැලෑ පසුගිය කාලයේදී දිගින් දිගටම පාලනය කරනු ලැබුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. නමුත්,මෙම ඉඩම් ප්‍රදේශ එළිපෙහෙළි කර බඩ ඉරිඟු වගා

කටයුතු සිදුකරගෙන යාමට බාධා නොකරන ලෙසට මහවැලි අධිකාරියේ ඉහළ නිලධාරියකු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කර ඇති බවද අනාවරණය වෙයි.

සංවර්ධන කටයුතු සඳහා මහවැලි අධිකාරියට අයත් ඉඩම් තිබේ නම් ඒවා පාරිසරික බලපෑම් තක්සේරුකරණ අනුමැතිය සඳහා සලකා බැලීම අවශ්‍ය නොවන බවට මධ්‍යම පරිසර අධිකාරිය විසින් මහවැලි අධිකාරියට මාර්ගෝපදේශ ලබාදී ඇති බවත්, පාරිසරික බලපෑම් තක්සේරුවක් නොමැතිව වනාන්තර එළිපෙහෙළි කිරීමට එරෙහිව පියවර ගැනීම වෙනුවට, මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙලෙස මාර්ගෝපදේශ

මාලාවක් නිකුත් කිරීම 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට පටහැනි බවද පරිසර යුක්ති කේන්ද්‍රය කියයි.

මෙම වගා කටයුතු සම්බන්ධව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා කියා සිටියේ අදාළ මහවැලි ප්‍රදේශයේ දැනටමත් බඩ ඉරිඟු වගාකර තිබෙන බවත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියෙන් පිටත මෙම වගා කටයුතු සිදු කෙරෙන බවත්ය. මෙහිදී ගස් කැපීමක් සිදුවී නොමැති බවද ඔහු පැවසුවේය.

මෙරට වන ගහනයට මෙම පරිසර පද්ධතියද අයත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති.

සාලිය කුමාර ගුණසේකර ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here