මැල්වත්ත ප්‍රොපටීස් මුතුරාජවෙල තෙත් බිමේ හදන්න යන රජ හෝටලේ.

0

විටින්විට කරළියට පැමිණෙන පරිසර මාතෘකා අතර මුතුරාජවෙල තෙත්බිම ඉහළින්ම තිබෙන මාතෘකාවකි. පසුගිය ආණ්ඩුව කාලයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පරිසර ඇමැතිවරයා වශයෙන් මුතුරාජවෙල අභය භූමියේ පරිසර හානිය දැකගෙන එය සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස නියෝග කළේය. අලුත් ආණ්ඩුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පසුගිය ඔක්තෝබර් 18දා මුතුරාජවෙල සංචාරය කළ අතර එහිදී තෙත් බිමට වන හානිය සියැසින් දැකගත්තේය. නීති විරෝධී අන්දමින් අභයභූමියේ පවත්වාගෙන යන ඌරු කොටු, අබලි ද්‍රව්‍යවලින් තඹ යකඩ, ඊයම් ඉවත් කර ගන්නා කම්හල්, ඇතුළු වීම තහනම් යැයි කොටු කර ඇති ඉඩම් ද ඇමැතිවරයා දුටුවේය.

මේ අතර මුතුරාජවෙල තෙත් බිම මැන හදිසි අවශ්‍යතාවක් සේ සලකා යළි අභය භූමියක් ලෙස ගැසට් කරන ලෙසද ඇමැතිවරයා උපදෙස් දුන්නේය. එම ඉඩම් ඉක්මනින්ම මැනීමට කටයුතු කරන ලෙස ද ගැසට් පත්‍රය නිකුත් වූ වහාම මුතුරාජවෙල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට කටයුතු කරන බවද පරිසර අමාත්‍ය අමරවීර පැවසුවේය. ඇමැතිවරයා පැවසුවේ මුතුරාජවෙල ගොඩ කිරීම පිටුපස රාජ්‍ය නිලධාරීන් ද සිටින බවත්, රාජකාරිය ඉටු නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්ය.

වනජීවී නිලධාරීන් රක්ෂිත වනාන්තර රුකගැනීමට ඇමැතිවරු සමඟ සටන් කරද්දී පරිසර නිලධාරීන් එහි අනෙක් පැත්ත බව පසුගිය කාලයේ වැඩ දෙස බලනවිට පෙනේ. ඒ බව හෙළිකරමින් මුතුරාජවෙල තෙත් බිම් කලාපය වටා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සියලුම පරිසර නිලධාරීන් මාරු කර යවා ඇති අතර ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඇමැතිවරයා උපදෙස් දී තිබේ. ඇමැතිවරයාගේ නියෝග පවා ගණන් නොගන්නා ව්‍යාපාරිකයන්ගේ අත යට ගනුදෙනුවලට වහ වැටුණු නිලධාරීන් සිටින බවකි ඉන් පෙනෙන්නේ.

මේ අතර වාර්තා වූයේ මුතුරාජවෙල තෙත්බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දී ඇති බවයි. ඒ සඳහා සලකා බැලිය යුතු කරුණු සහිත ලිපිය මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහගේ අත්සනින් යුතුව අදාළ ආයෝජකයා වන මැල්වත්ත ප්‍රොපටීස් සමාගම වෙත යවා තිබේ. ඒ සඳහා විරෝධතා නොමැති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මධ්‍යම පරිසර අධිකාරියට ලිපියක් යැවීමෙන් අනතුරුව මෙසේ අවසර ලබා දී තිබේ. මෙසේ අවසර ලබා දී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 10ක් මගින් කරන ලද පසුවිපරම්වලින් පසුව බව සඳහන්ය.

මැල්වත්ත ප්‍රොපටීස් සමාගමට හිමි සින්නක්කර ඉඩම් අක්කර 600ක් මේ ව්‍යාපෘතියට යොදාගන්නා බව පැවසෙන අතර ඊට යාබද මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම් කොටස් කිහිපයක් ද ඇතුළත් විය. මුතුරාජ‍වෙල රජ සමයේ කුඹුරු යායකි. එහි විවිධ ස්ථානවල පෞද්ගලික ඉඩම් ද පවතී. ඒ කුඩා ප්‍රමාණවලින් නොව අක්කර 100 – 200 වශයෙනි.

කුඹුරු ඉඩම් මෙන්ම අත්හැර දැමූ පොල් වතු ද වන වදුලු ද ඒ අතර තිබේ. සමාගම මේ ඉඩම් හිමියන්ගෙන් සල්ලි දීලා ඉඩම් විශාල ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ගොල්ෆ් පිටියක් සහ හෝටල් සංකීර්ණයක් තැනීමටයි ඔවුන්ගේ සැලසුම. මේ සඳහා පරිසර ඇගැයීම් වාර්තාවක් සකස් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුලින්ම අවසර ලබාදුන්නේ නෑ. පරිසර ඇමැතිවරයා පසුගියදා ගොස් නිරීක්ෂණය කළවිට පැහැදිලි වුණා මුතුරාජවෙල වෙන විනාශය. ඒ අතර තමයි මධ්‍යම පරිසර අධිකාරිය පරිසර වාර්තාවක් සකස් කිරීමට සලකා බැලිය යුතු කරුණක් කියා අවසර ලබා දී තිබෙන්නේ. කවුරුවත් මිලියන ගණනක් වියදම් කර පරිසර වාර්තා හදන්නෙ නෑ පාස් නොවෙන්න බලාගෙන. අපටත් ගැටලුවක් මේකට අවසර දුන්නේ ඇයි කියලා. එලෙස අප සමඟ අදහස් දැක්වූයේ පරිසර යුක්ති ක්ෂේත්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේය.

මුතුරාජවෙල තෙත් බිම පිළිබඳව සැලසුමක් (Master plan) මහ කොළඹ ආර්ථික කොමිසම විසින් සකස් කළේ 1991දීය. එයට අනුව සංරක්ෂිත ප්‍රදේශ සහ සංවර්ධනය කළ යුතු ප්‍රදේශ සහ සංවර්ධනය කළ යුතු ප්‍රදේශ වෙන වෙනම හඳුනාගෙන ඇත. දැනට සංවර්ධනය කළ යුතු ප්‍රදේශ සියල්ල සංවර්ධනය කර අවසන් බව වාර්තා වේ. සංරක්ෂණය කිරීමේ කටයුතු පණ ගැන්වීමට 1996 ඔක්තෝබර් 31 දා අංක 947/13 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව හෙක්ටයාර් 1028.62 මුතුරාජවෙල අභය භූමිය ලෙස ප්‍රකාශ කෙරිණි. ඊට අමතරව ජාතික පාරිසරික පනතට අනුව ලංකාවේ ප්‍රථම පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ලෙස 2006 ඔක්තෝබර් 13 දින අංක 1466/26 දරණ ගැසට් නිවේදනය අනුව මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්‍රදේශය නම් කෙරිණි. එයට අයත් භූමි ප්‍රමාණය හෙක්ටයාර් 206-678කි. ඊට පසුව 2018 සැප්තැම්බර් 25 දා තවත් හෙක්ටයාර් 162.10ක් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයට එක්කර තිබේ.

මුතුරාජවෙල 1989දී සකස් කළ ආසියානු තෙත්බිම් නාමාවලියේ ජාත්‍යන්තරව වැදගත් වන ලංකාවේ තෙත්බිම් 41 අතරට ද ඇතුළත්ය. එය ලංකාවේ ප්‍රමුඛ තෙත්බිම් පද්ධති 12න් එකක් ලෙසද හඳුනාගෙන තිබේ.
මුතුරාජවෙල සුරුකීමේ සංවිධානයේ දිනූෂ නානායක්කාර පවසන්නේ මෙයට පරිසර ඇගැයීම් වාර්තා ලබාගැනීමට අවසර ලබාදීම ද නීති විරෝධී බවයි.

පරිසර වාර්තාවක් ලබාගැනීමට මූලික සුදුසුකම සපුරාගත්තේ කෙසේ ද කියන එකම අපට ගැටලුවක්. අපි මුතුරාජවෙල ආරක්ෂා කරගැනීම සඳහා එයට වගකිවයුතු රාජ්‍ය ආයතන 11කට එරෙහිව නඩුවක් දැම්මා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා. ඒ අනුව නඩුව අවසන් වනතෙක් නීත්‍යානුකූල නොවන කිසිම දෙයක් කළ නොහැකියි. නඩුවෙන් පැහැදිලිව කියලා තියෙනවා තෙත්බිම මනින්න කියලා. තවම මැනීම කරලත් නෑ. උසස් රජයේ නිලධාරීන්ගේ නිවට ක්‍රියාවලියක් තමයි මෙහිදී පේන්න තියෙන්නේ. අපි මේකට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා.

පරිසර ඇමැතිවරයත් අපගේ ඉල්ලීම මත පසුගිය දිනක විවිධ කර්මාන්තවලින් අනවසර කටයුතුවලින් වන විනාශය දැකගත්තා. ඒ විනාශය වැළැක්වීමට නියෝග දුන්නා. ඇමැතිවරයා නීති විරෝධී කටයුතු නවත්වන්න කියලා නියෝග දුන්නත් පොලීසිය ඒ නියෝග ක්‍රියාත්මක කරන බවක් පේන්නෙ නෑ. නඩු තීන්දුවක්වත් ක්‍රියාත්මක කරන්න බැරි පොලිස් නිලධාරීන් තමයි ඉන්නේ. දිනූෂ වැඩිදුරටත් දේශයට පැවසුවේය.

මේ වනවිට පරිසරය වැනසීමේ විවිධ ක්‍රියාකාරකම් ඇමැතිවරුන් සමහර රාජ්‍ය නිලධාරීනුත් මැදිහත් වෙමින් සිදුවන බව පෙනේ. සමහර ඇමැතිවරු ජාතික උද්‍යාන විනාශ කිරීමට නිලධාරීන්ට නියෝග දෙන තත්ත්වයට පත්ව ඇත.
මුතුරාජවෙල සංරක්ෂණ සැලසුමට අනුව එය කොටස් තුනකට වෙන් කෙරිණි. කොළඹ ආශ්‍රිත නාගරික සීමාවේ පිහිටි තෙත් බිම් ප්‍රදේශය උප කාර්මික කලාපය ලෙසත්, මීගමු කලපුව ආශ්‍රිතව පිහිටි කොටස් අභය භූමිය ලෙසත් ඒ අතර කොටස් ස්වාරක්ෂක කලාපය ලෙසත්ය. මෙලෙස නීතියෙන් කෙතරම් ආරක්ෂා කර තිබුණත් තෙත් බිමේ ආරක්ෂාව නම් බල්ලට ගොස් ඇත. ඉඩම් ගොඩ කිරීම, අබලි ද්‍රව්‍ය ගොස් දැමීම, අනවසර ක්‍රියාකාරකම් රුසකි. නීතිය ක්‍රියාත්මක කළ යුතු නිලධාරීන් නිවටයන්බවට පත්ව ඇත. අතීතය දෙස බලනවිට මෙම තෙත්බිම විනාශ කිරීමට දේශපාලකයන් හා නිලධාරීන් අවස්ථා රාශියකදී කටයුතු කර ඇති බව පෙනේ.

මෙයට පෙර තෙත්බිමේ විශාල භූමි ප්‍රදේශයක් ගොඩකර ගම්මානයක් බිහි කළේ දේශපාලනඥයකුගේ නමිනි. එම ගම්මානයම වර්ෂා කාලයට යට වේ. 2003 වර්ෂයේදී තවත් දේශපාලනඥයෙක් කිඳිගොඩ ප්‍රදේශයෙන් තෙත්බිමේ ඉඩම් අක්කර 100ක් බෙදා දුන්නේය. නමුත් පාරිසරික පදනම දැමූ නඩුව ජයග්‍රහණය කළ නිසා ඉඩම් ගත් අයට ඉන් ඉවත්වීමට සිදුවිය. 2009දී හිටපු ඇමැතිවරයකුගේ ඥාතියෙක් දඬුගම් ඔය මෝය ආශ්‍රිතව අක්කර 10ක කඩොලාන දූපතේ අක්කර පහක මහා පරිමාණ හෝටලයක් ඉදි කිරීමට ක්‍රියාත්මක වුවද පරිසර සංවිධානවල ක්‍රියාත්මක වීමෙන් එය අත්හිටවිණි. වර්ෂ 2012දී බෝපේ ප්‍රදේශයේ අක්කර 50ක් කුට්ටි කර විකිණීමට ගත් උත්සාහයක් ද අතරමග නතර වූයේ පරිසරවේදීන් නිසාය.

(කුසුම්සිරි විජයවර්ධන – දේශය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here