ඔය මනුස්සයව ගමේ අය ආශ්‍රය කරන්නෙත් නෑ..බෙහෙත් ගන්නෙත් නෑ..නඩුවකුත් තියෙනව.ධම්මික බංඩාරගේ ගමේ අය කියන කතාව.

0

“ධම්මික බණ්ඩාර” මේ දිනවල ලංකාව පුරාම කතා කරන නමකි. කෑගල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර කොරෝනා සඳහා ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනය කර ඇති බව රටම දනියි. ඒ එම බෙහෙතට මාධ්‍ය මගින් ප්‍රචාරය වීම සහ රාජ්‍ය අනුග්‍රහය ලැබුණ බව ධම්මික බණ්ඩාර ප්‍රකාශ කිරීම හේතුවෙනි. මේ ‘‘ධම්මික බණ්ඩාර’’ යන නාමයෙන් තමාව හඳුන්වා ගන්නා නිෂ්පාදකයා සොයා පසුගිය සිකුරාදා (04දා) අපි කෑගල්ල උඩුවාගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූයෙමු.

එම ප්‍රදේශයේ කාලි මෑණියන්ගේ දේවාලයක් අසල අපි නතර වූයේ කථානායකයා සොයා ගැනීමේ අරමුණිනි. එහි වාහන රැසක්ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ පුද්ගලයෝද දේවාලය අසල පොරකමින් සිටියහ. ‘‘වෙද මහත්තයා ඉන්නවද’’ අපි විමසා සිටියේ දේවාලයේ සිටි පුද්ගලයෙකුගෙනි.

‘‘අද කාලි මෑණියෝ නැහැ’’ හදපු බෙහෙත් ඉවර වෙලා. හදන්න ගියා. ඇය අඟහරුවාදා තමයි බෙහෙත් දෙන්නේ’’ ඔහු පැවසුවේය. කථානායකයා දේවාලයේ නොසිටි නිසා ගම් පියසේ සැරි සැරූ අපට තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි විය.

‘‘ධම්මික බණ්ඩාරගේ’’ නියම නම ‘‘අප්පු කුට්ටි කංකානම්ලාගේ ධනපාලයි’’ කෑගල්ල මාතුර හෙට්ටිමුල්ලේ උපන් ඔහු මේ වන විට උඩුමාගම අඹවල ප්‍රදේශයේ පදිංචිවසිටියි. වසර 25ක කාලයක් මෙහි පදිංචිව සිටින ඔහු කලාකරුවෙකි. ගීත ගැයීමට, ඩොල්කි ගැසීමට රූකඩ නැටවීමට මෙන්ම කැටයම්වලටද රුසියෙකි. වඩු වැඩ කරමින් සිය ජීවිකාව ගෙන ගිය ධම්මික බණ්ඩාර දෙදරු පියෙකි. වඩු වැඩ කරමින් සිටි මොහුට කාලි මෑණියන්ගේ වරමක් ලැබුණු බව කියමින් දේවාලයක් ඉදි කළේ මීට වසර කිහිපයකට පෙරයි.

‘‘මහත්තයො මෙහේ මිනිස්සු නම් ඔය මනුස්සයා ආශ්‍රය කරන්නෙ නැහැ. බෙහෙත් ගන්න යන්නෙත් නැහැ. හැබැයි එයාගේ බෙහෙත් බීලා කොරෝනා රෝගීන් සුව වෙනවානම් අපිත් කැමැතියි’’

ගම්වැසියෝ අප හා පැවසූහ. ‘‘ගමේ වැඩවලට විහාරස්ථානයේ වැඩවලටත් ධම්මික දායක වෙනවා.’’ ගම් වැසියෝ තවදුරටත් පැවසූහ. භද්‍රකාලි මෑණියන්ගේ වරම් ලැබුවත් එම දේවාලයේ තිලෝගුරු බුදුපියාණන්ගේ දහම් ගුණ, සෙත් පිරිත් වැඩි වශයෙන් ඇසෙන බවද ගම්වාසීහු කියා සිටියහ. දකුණු පළාතේ භද්‍රකාලි මෑණියන් අදහන පිරිස් වැඩි වශයෙන් මෙම දේවාලයට පැමිණෙති. ඒ අතරේ ඔහු කොවිඩ් 19 සඳහා සකස් කළ බව කියන ආයුර්වේද ඖෂධය නොමිලේ දෙන අතර මුදල් අය නොකිරීමද විශේෂත්වයකි.

ධම්මික බණ්ඩාර හිටපු අමාත්‍යවරයකුද වන අතාවුද සෙනෙවිරත්න සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙකි. ඔහුගේ බෑණා කෙනකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය කාන්ත ගුණතිලක සමගද සමීපව කටයුතු කර ඇති මොහු තමන් සොයා ගත් ඖෂධය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයටද රැගෙන එන්නේ එම සබඳතා හරහාය. මොහුට විරුද්ධව කෑගල්ල පොලිසියෙ නඩුවක්ද පවරා තිබේ. ඒ ඉඩම් නඩුවකි. රිමාන්ඩ් භාරයේද සිටි ධම්මික බණ්ඩාර නඩුවෙන්ද සමථයකට පත්ව භද්‍රකාලි දේවාලය පවත්වා ගෙන යාමට සමතෙකි.

‘‘ඔය මනුස්සයාට කපු මහත්තයා කීවම හොඳටම තරහා යනවා. කාලි මෑණියෝ කියනවා නම් කැමැතියි’’ ගම්වැසියෝ ඔහුගේ පැටිකිරිය හෙළි කළහ. කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර යනු දේශීය වෛද්‍යවරයෙක් හෝ පාරම්පරික වෛද්‍යවරයෙක්ද නොවෙයි. තමන් නිෂ්පාදනය කළ බෙහෙත අවට පොලිස් ස්ථානවල නිලධාරීන්ටද පෙවීමට සමත් වූ පුද්ගලයෙකි. කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහටද මෙම නිෂ්පාදනය පෙවීමට ඔහු උත්සාහ කළත් ව්‍යාර්ථ විය. නමුත් මෙම නිෂ්පාදනයේ සත්‍ය අසත්‍යභාව සෙවීමට වෛද්‍යවරයාද සූදානමින් සිටියි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා පිළිබඳ ආයුර්වේද ​වෛද්‍ය සභාවටද පැමිණිල්ලක් ලැබී තිබේ.

( ARUNA )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here