“මට උනේ වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණා වගේ වැඩක්” මිනී පෙට්ටි නිකන් දෙන්න ගිය රිස්වාන් කියයි.

0

‘කොවිඩ් 19’ වෛරසය ආසාදනය වී මියගිය පුද්ගල මළසිරුරු පහක් දෙසතියක් පුරා කොළඹ පොලිස් මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබුණි. ඒ සියලුම මළසිරුරු ඉස්ලාම් ආගම ඇදහූවන්ගේය. නිරෝධායන පනත යටතේ ගැසට් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කොවිඩ් ආසාදනය වූ පුද්ගල මළසිරුරක් පැය විසි හතරක් ඇතුළත ආදාහනය කළ යුතුය. ඔවුන්ගේ මළසිරුරු බහාලීමට මිනී පෙට්ටි දෙන්නේ පවුලේ ඥාතීන්ය. ඒත්, මෙම මළසිරුරු ආදාහනය කිරීම සඳහා ඔවුන්ගේ ඥාතීන් මිනීපෙට්ටිදීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඊට හේතුව ලෙස බොහෝදෙනෙක් සිතා සිටියේ එම ඥාතින්ට මුදල් අපහසුතා ඇතැයි යනුවෙනි. නමුත්, පසුව දැන ගැනීමට ලැබුණේ ඔවුන් පෙට්ටි නොදෙන්නේ මුදල් අපහසුතාවයක් නොව ආගමික ප්‍රශ්නයක් අරඹයා බවය. ඉස්ලාම් භක්තිකයන් ඔවුන්ගේ මළසිරුරු ආදාහනය කරන්නේ නැත. මිනීපෙට්ටිවල බහාලන්නේද නැත. ඔවුහු එම මළසිරුරු සුදු රෙද්දක ඔතා භූමදානය කරති. එහෙත් ඉස්ලාම් පමණක් නොව කතෝලික, ක්‍රිස්තියානි, බෞද්ධ කොයිකාට වුවත් කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට ලංකාවේ දැනට අවසර නැත. ඊට එරෙහිව මුල්සිම් දේශපාලන පක්ෂ හා සංවිධාන කීපයක් පවරා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්ද ශ්‍රේෂ්ඨාධිකරණය ගිය සතියේ ප්‍රතික්ෂේප කළේය. මේ අතරේ තමන්ට භූමදානය කිරීමට නොදීම හේතුවෙන් ඥාතීන් පෙට්ටි මිලදී නොදීම හේතුවෙන් තැන්පත් කර තිබූ කොවිඩ් 19 ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කෙරුණි.

මෙවැනි පසුබිමක ‘ෂෙහාරා ජනාසා’ නම් සමාජ සේවා පදනම කීවේ ලංකාවේ සිටින ඕනෑම ජාතියක, ආගමක පුද්ගලයකු ‘කොවිඩ්’ වෛරසය නිසා මියගියහොත් එම මළසිරුරු ආදාහනය කිරීම සඳහා නොමිලේ මිනීපෙට්ටි දීමට තම සංවිධානය සූදානම් බවයි. කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තබා තිබූ මළසිරුරු පහ සඳහාත් තම සංවිධානය මගින් නොමිලේ මිනීපෙට්ටි දීමට කටයුතු කිරීමට කැමති බවත් කියා තිබුණි.

එත් ඔවුන්ට මේ කතාව කියා වැඩි දවසක් යහතින් සිටීමට ඉඩ ලැබුණේ නැත. ඔවුන්ට හතර වටින්ම මල් වෙනුවට ගල් මුල් එල්ල වන්නට විය. ඔවුන්ගේ දුරකථනවලට නොනවත්වාම විවිධ පුද්ගලයන්ගෙන් විවිධ බලපෑම් එල්ලවීමට පටන් ගත්තේය. එම ඇමතුම්වලට උදයක් දහවලක් හෝ රැයක් නොවීය.

ඒ නිසාම ඔවුන්ගේ සත්ක්‍රියාව පිළිබඳව රටට හඳුන්වා දුන් ‘අරුණ’ සොයා ‘ෂෙහාරා ජනාසා’ පදනමේ සභාපති එස්.එච්.එම්. රිස්වාන් පැමිණියේය. එත්, එදා මෙම සත්ක්‍රියාව පිළිබඳව රට දැනුවත් කළ සතුටු සිනහව අද ඔහුගේ මුහුණින් බොහෝ ඈතට ගොස් ඇති සෙයකි. ඒ ඇයි කියා අප අසන්නටත් කලින් ඔහු කීවේ, ‘‘අන්තිමට මට වුණේ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණා වගේ වැඩක්’’ කියාය.

දැන් නම් අපිට එපා වෙලා තියෙන්නේ. මුලින්ම අපි මේ වැඩේ පටන් ගත්තේ මිනිස්සුන්ගේ යහපත ගැන හිතලයි. ඒත් අන්තිමට වුණේ හොඳ වෙනුවට මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නයි. ඒ විතරක් නෙවෙයි, එක එක කට්ටිය කෝල් කරලා හිතුනු හිතුනු දේවල් කියලා අපිට බනිනවා. අන්තිමට කරන්න දෙයක් නැති තැන තමයි පෑලියගොඩ පොලිසියට ගිහිල්ලා මම මේ ගැන පැමිණිලි කළේ. ඇත්තටම මම දුක් වෙනවා මගේම ජාතියේ අය මට මේ විදිහට සලකන එක ගැන.”

රිස්වාන් ඇතුළු ‘ෂෙහාරා ජනාසා’ පදනමේ සාමාජිකයන් මේ වැඩේට අතගැහුවේ මුස්ලිම්වරු නොව ශ්‍රී ලාංකිකයන් ලෙස සිතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශය මත පදනම්ව සමාජ සත්කාරයක් වශයෙනි.

‘‘ඇත්තටම මට කොවිඩ් ආසාධිත මුස්ලිම් මරණ ආදාහනය කරනවාද නැත්නම් භූමදානය කරනවාද කියලා තීරණය කරන්න බැහැ. ඒවට අධිකරණය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් ඉන්නවා. එයාලා තමයි තීරණය කරන්නේ අපිට වගේම රටට ගැළපෙන දේ මොකක්ද කියලා. මම ඒ නිර්දේශය මත ඉඳලා තමයි කිසිම ආගම් භේදයක්, ජාති භේදයක් නැතුව සමාජයේ ඉන්න දුප්පත් මනුස්සයාට උදව්වක් කරන්න බැලුවේ. එත් මගේ මේ සමාජ සත්කාරය මුස්ලිම් ජනතාව පළිහක් කරගත්ත. දේශපාලනයට සම්බන්ධයක් තියෙන මුස්ලිම්වරු කිහිපදෙනක් තමයි මට මේ විදිහට බලපෑම් කරලා ඒ වැඩේ කඩාකප්පල් කරන්න යන්නේ.”

මේ ආකාරයට නොමිලේ දෙන මිනී පෙට්ටි ඔහු හදවන්නේ ලීවලට ප්‍රසිද්ධ මොරටුවේදීය. ඒ සඳහා යන සම්පූර්ණ වියදම දෙන්නේ රිස්වාන්ගේ පර්ස් එකෙනි.

තමන්ගේ ජාතියේ, තමන්ගේ ආගමේ ඇතැමුන් තමන්ට මෙතරම්ම පහර පිට පහර එල්ල කරද්දීත් ‘ෂෙහාරා ජනාසා‘ පදනමේ සභාපතිවරයා ‘කොවිඩ් 19’ වයිරසය නිසා මියගිය අයට නොමිලේ මිනී පෙට්ටිදීම පිටුපස ඇත්තේ දුක්බර කතාවකි. එය අප ‘දරු දුක’ යැයි පැවසුවාට කම් නැත. ඔහු මෙතරම් බලපෑම් එල්ලවෙද්දිත් දුප්පත් අසරණ පුද්ගලයන්ට උදව් උපකාර කරන්නේ සිය වැඩිමහල් දියණිය වූ ෂෙහාරා බේගම් දියණියගේ අකල් වියෝව වෙනුවෙනි. මීට වසර දහඅටකට පෙර මෙලොව උපත ලැබූ ෂෙහාරා බේගම්, ෂාබිරා බේගම්ගේ සහ හලාල්ජීන් මොහොමඩ් රිස්වාන්ගේ කුළුඳුල් දරුවාය. මේ කාලයේදී හලාල්ජීන් මොහොමඩ් රිස්වාන් වත්තල ප්‍රදේශයේ ප්ලාස්ටික් භාණ්ඩ නිමැවුම් කර්මාන්තශාලාවක් ආරම්භ කර එහි කළමනාකරුවා ලෙස වැඩකටයුතු කරගෙන ගියේය.

මෙසේ කාලය ගෙවී යද්දී 2011 වසරේ ජූලි මාසය පැමිණියේය. වෙනදා දඟකාර දැරියක ලෙස කෙළිදෙලෙන් සිටි ෂෙහාරා බේගම් හිටිහැටියේ අසනීප විය. බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ පසු ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ දුවට ඩෙංගු රෝගය වැලඳී ඇති බවයි. ඒ වනවිටත් ෂෙහාරාට වයස අවුරුදු නමය ලැබුවා පමණකි.

2011 වසරේ ජූලි විසි අටවැනිදා ඩෙංගු රෝගය උත්සන්න වීමෙන් ඈ මියගියාය. වසර නමයක් තමන්ගේ ඇස් දෙක මෙන් සිටි දියණිය තමන්ව හැරදා යන ශෝකය රිස්වාන්ට සේම ඔහුගේ බිරිඳටත් දරාගැනීමට නොහැකි විය. එපමණක් නොව, සෑම දිනකම උදේ සවස කියා වෙනසක් නොමැතිව ෂෙහාරාගේ සිඟිති කටහඬ ඔවුන්ගේ නිවසේ ඇසෙන්නාක් මෙනි. ඒ වේදනාව අදටත් තම සිත තුළ දෝංකාර දෙන බව රිස්වාන් අප සමග කීවේ දෙකොපුල් දිගේ රූටා හැලෙන කඳුළු පිසලමිනි.

මියගිය දියණිය වෙනුවෙන් ඉස්ලාම් ධර්මයෙන් මහගු පිංකමක් ලෙස සලකන පරිත්‍යාග කිරීම්, දන්දීම් වැනි පුණ්‍ය කටයුතුවල ඔහු නිරන්තරයෙන් නිරත විය.

ඒ ධන පරිත්‍යාගයේ ආරම්භයක් ලෙස ඔහු ‘ෂෙහාරා ජනාසා’ පදනම ආරම්භ කරන ලදී. එහි ෂෙහාරා යනු රිස්වාන්ගේ වැඩිමහල් දියණියගේ නමයි. එමෙන්ම, ‘ජනාසා’ යනු අරාබි භාෂාවෙන් අවමංගල්‍ය යන තේරුමයි. මෙලෙස අඩු ආදායම්ලාභින්ට ශක්තියක් වීමට ඔහු ආරම්භ කළ ‘ෂෙහාරා අවමංගල්‍ය පදනම’ පසුගියදා ලංකාව වෙලාගත් ‘කොවිඩ්’ දෙවැනි රැල්ලෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යොදා ගැනීමට රිස්වාන්ට හැකි විය.

‘කොවිඩ් 19’ වෛරසය වැලඳී මියගිය පුද්ගලයන් විසි හතරදෙනෙකුට අවශ්‍ය මිනී පෙට්ටි තම පදනම මගින් ඔහු මිලදීගෙන දුන්නේය. මේ පින්කම් ප්‍රසිද්ධ කිරීමට ඔහු වගබලා නොගත්තේ කිසිවෙකුගෙන් ලකුණු ඔහුට ඕනෑ නැති බැවිනි. ඒත් ඔහු පෙට්ටි අරන් දුන් විසිහතර දෙනාම මුස්ලිම් ජාතිකයන්ය. ඉස්ලාම් භක්තිකයන්ය. මේ අතර ‘කොවිඩ් මරණ සඳහා මිනී පෙට්ටි ලබා නෙදෙන්නැයි’ කියමින් සමාජයේ වැදගත් යැයි පැවසෙන වෛද්‍යවරුන්, නීතිඥයින් ඇතුළු සමාජයේ ඉහළම තරාතිරම්වල සිටින පිරිස් දිගින් දිගටම රිස්වාන්ට බලපෑම් කරන්නට විය.

නමුත්, මුස්ලිම් සමාජය පළිහක් කරගනිමින් සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් යැයි ලේබල් ගසාගෙන සිටින කණ්ඩායමක් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් වසංගතයක් පවා තමන්ගේ වාසියට හරවා ගැනීම ගැන තමන් මුසල්මානුවකු ලෙස කනගාටුවන බව ඔහු කීවේය.

‘‘මේ විදිහට කෑගහන මිනිස්සුන්ට ඕන ජනතාව අවුලවන ආකාරයේ වැඩ කරවන්නයි. මම මේ පරිත්‍යාග කළේ ඒ අයට ඕන විදිහට හෝ වෙනත් කාටවත් ඕන විදිහට නෙවෙයි. මම පිරිසුදු චේතනාවකිනුයි මේ පරිත්‍යාගයන් කළේ. අනික මේ රටේ ජාතික එකමුතුවකින් ජීවත් වෙනවා වෙනුවට භේද බින්න වෙලා වැඩ කරන්න බැහැ. ඇත්තටම මේ විදිහට තැන තැන කෑගහන අයගේ බලපෑම මත කොවිඩ් වෛරසය ආසාදනය වුණු මුස්ලිම් ජාතිකයන්ගේ මරණ කිහිපයක්ම කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයෙන් බාරගෙන නැහැ. ඒ නිසා, මම දෙයක් අහනවා මේ කෑමොර දෙන අයගෙන් ඇයි ඕගොල්ලෝ අයි.ඩී.එච්. රෝහලේදී මියගිය මුස්ලිම් කොවිඩ් මරණ වෙනුවෙන්, කෑගැහුවේ බාධා කළේ නැත්තේ ඇයි කියලා, අනික එයාලගේ පවුලේ කවුරු හරි කොවිඩ් හැදිල මැරුණ නම් මෙහෙම මරණ හිරකරන් ඉඳීයිද? මේ අයගේ එක එක පටු වැඩවලට අපේ අසරණ මුස්ලිම් මිනිසුන්ව පාවිච්චි කරන එක මට නම් ඇත්තටම අප්‍රසන්නයි” යැයි ඔහු කීවේය.

එෆ්. අස්ලම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here