ඇඟ ඇතුලේ කොරෝනා වෛරස් විනාශ කළ හැකි යන්ත‍්‍රයක් ලාංකික ඉන්ජිනේරුවෙක් නිපදවයි

0

කොරෝනා වෛරසය වැළඳුන රෝගියකුගේ ශරීරයේ පවතින විෂබිජ විනාශ කළ හැකි ‘කොරෝනා වෛරස් විනාශ කළ හැකි නව යන්ත‍්‍රයක්’ (CVDM) නිපදවාලීමට ඩුබායි රාජ්‍යයේ ගුවන් යානා හා විදුලි දුම්රිය ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන ශ‍්‍රී ලාංකික මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්ත ද සිල්වා මහතා සමත් වී තිබේ. මෙම නව යන්ත‍්‍රය වෛද්‍ය ආයතනයකට ඉදිරිපත් කර එහි සාර්ථකත්වය බලා අනුමැතිය ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර සිටින බවද ඒ මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ ශරීරයේ පවතින වෛරසය විනාඩි දහයක් (10) වැනි කෙටි කාලයකදී මෙම විද්‍යුත් උපකරණය යොදා ගෙන විනාශ කළ හැකිවීම මෙහි ඇති සුවිශේෂිත්වය වේ. ඒ අනුව මෙහි සාර්ථකත්වය බලා ගැනීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක් මැදිහත්ව කඩිනමින් ලබා දෙන ලෙසත් එසේ වුවහොත් ජිවිත දහස් ගණනක් බේරාගැනීමට හැකිවනු ඇතැයි ද ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජිවකාන්ත ද සිල්වා මහතා පවසා සිටී.

මේ වන තෙක් ශරීරය මතුපිටේ හා පරිසරයේ පවතින විෂබිජ විනාශ කළ හැකි දේ සොයා ගෙන තිබෙන අතර මෙතෙක් ශරීරයක් තුළ පවතින විෂබිජ විනාශ කරලීමට යන්ත‍්‍රයක් සොයා ගෙන නොමැති බවත් කොරෝනා වෛරසය චීනයේ ව්‍යාප්ත වීමට ආරම්භ වීමත් සමඟ මෙයට ඉංජිනේරු ක්‍ෂේත‍්‍රය පැත්තෙන් පිළියම් සෙවීම සඳහා මාස කිහිපයක් පුරා විශාල අධ්‍යනයක් සිදුකිරීමෙන් පසුව මෙම යන්ත‍්‍රය නිෂ්පාදනය කළ බව ද හෙතම පවසයි.

නාච්චාදුව – ප‍්‍රභාත් වනසිංහ
දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here