ජාතික භෞතික සැලැස්මෙන් සිංහරාජය ඇතුළු වනාන්තර 39ක් අනතුරේ

0

මෙරට පරිසර පද්ධතියට දිනෙන් දින එල්ල වන බලපෑම් සුළුකොට තැකිය නොහැකිය. රක්ෂිත ප්‍රදේශයන් පමණක් නොව අවශේෂ වනාන්තර පද්ධතීන්ද විවිධ සංවර්ධන කටයුතුවලට යොදා ගැනීම නිසා මෙරට වනාන්තර පද්ධතිය වසර 2030 වන විටදී සියයට 10 ක් දක්වා අඩුවන බවට පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය අනතුරු හඟවයි. මෙලෙස සිදුවන දැවැන්ත වන සංහාරය නිසා මෙරට ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ලවීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වන බවද එම මධ්‍යස්ථානය කියයි.

රජයේ ප්‍රතිපත්තිය අනුව මෙරට වනගහනය සියයට 30 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වූවද, තිරසාර නොවන සංවර්ධන කටයුතු හේතුවෙන් විනාශ වී යන ජෛව විවිධත්ව උණුසුම් කලාප 34 න් එක කලාපයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ. මෙම සංවර්ධන කටයුතු නිසා වනාන්තර පද්ධතිය ආශ්‍රිත භූගත ජල මට්ටමද පහළ බැසීමට ලක්වේ.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි 1881 වසරේදී මෙරට වනාන්තර ප්‍රතිශතය සියයට 82 කි.1900 වන විටදී වනාන්තර ප්‍රතිශතය සියයට 70 ක් දක්වා අඩුවිය. 2016 වන විටදී මෙරට වනාන්තර ප්‍රතිශතය සියයට 16 ක් විය. ඒ අනුව 2030 වසර වනවිටදී මෙරට වනාන්තර ප්‍රතිශතය සියයට 10 ක් දක්වා අඩුවන බව එම මධ්‍යස්ථානය පවසයි.

“කොළඹ-මාතර අධිවේගී මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ගය නිසා මුතුරාජවෙල ඇතුළු පරිසර පද්ධතිවලට දැඩි බලපෑමක් එල්ල වුණා. අද වෙද්දී මේ ප්‍රදේශ ගංවතුර තර්ජනයන්ට පවා ලක්වී තිබෙනවා. 2011 වසරේ ආරම්භයේ සිට 2050 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික භෞතික සැලසුම නිසා සිංහරාජය ඇතුළු වනාන්තර පද්ධති 39ක් විනාශ වීමේ අවදානමට ලක්ව තිබෙනවා” යැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් සඳහන් කළේය. යෝජිත රක්ෂිත ප්‍රදේශවලින් අක්කර 65,600 ක භූමි ප්‍රදේශයක් කෙසෙල් වගාව සඳහා මේ වනවිට ප්‍රධාන සමාගම් දෙකකට ලබාදී තිබීමද මෙම ඛේදවාචකයේ එක් පැතිකඩකි.

වර්ග කිලෝමීටර් 65,525ක් වන මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 83.5ක් මේ වනවිට විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන ඇතැයි පරිසරවේදීහු පවසති.

දිනෙන් දින සිදුවන පරිසර විනාශය නිසා මෙරට ගංගා 103න් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉදිරියේදී මළ ගංගා බවට පත්වීමේ අවදානමක් පවතින බවත්, මේ වනවිට මගුරු ඔය මළ ගංගාවක් බවට පත්ව ඇතැයිද පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසීය.

භූමි කළමනාකරණය නිසියාකාරව සිදු නොකිරීම නිසා කුඩා වැව් විශාල සංඛ්‍යාවක් ඉදිරියේදී සිඳීයෑමේ තර්ජනයට ලක්වනු නොඅනුමානය.

අවශේෂ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා පැවති 5/2001,5/1998,2/2006 දරන චක්‍රලේඛන අහෝසි කර 01/2020 චක්‍රලේඛනය නිකුත් කිරීම නිසා මෙරට පරිසර පද්ධතියට විශාල බලපෑමක් එල්ල වී තිබේ. මේ නිසා අවශේෂ වනාන්තර පද්ධතිවල ජීවත්වන සත්ත්ව ප්‍රජාව විනාශ වී යෑමේ අවදානමක්ද මතුව ඇත.

( සාලිය කුමාර ගුණසේකර – ARUNA )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here